සමහරු ත්‍රස්තවාදයේ කසකාරයෝ වෙලා - අකිලගෙන් විමල්ට පිළිතුරු

සමහරු ත්‍රස්තවාදයේ කසකාරයෝ වෙලා - අකිලගෙන් විමල්ට පිළිතුරු

15 May 2019 04:58 am

විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මෙරට ජන ජීවිතය අවුල් වියවුල් කිරීමේ ත්‍රස්තවාදීන්ගේ වුවමනාවට උඩගෙඩි දෙමින් ත්‍රස්තවාදීන්ගේ කසකරුවන් මෙන් හැසිරීම කණගාටුදායක කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදුවූ සිදුවීම්වලට තමන් වගකිව යුතුයැයි හැඟවෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

සියලු ජාතීන් ට නිදහසේ හුස්ම ගත හැකි පරිසරයක් නිර්මාණය කරමින් බුදු දහමින් පෝෂණය වූ ද, සෙසු ආගම්වල ඉගැන්වෙන යහපත් චින්තාවන්ගෙන් ද පොහොසත් වූ ආකල්පයන්ගෙන් යුත් විවිධාංගීකරණය වූ ජන සමාජයක් තුළ සියල්ලන්ට ම එක්ව සිටින්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත් සැමවිටම ඒ වෙනුවෙන් කටයුතු කරනු විනා ජාතිවාදය , ආගම්වාදය , අන්තවාදය පොහොසත් කිරීම වෙනුවෙන් හෝ එවැනි කරුණු දඩමීමා කර ගනිමින් දේශපාලන වාසි පසුපස හඹා යමින් දේශපාලනයේ නිරත වීම තමන්ගේ හෝ තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එහෙත් තමන්ට චෝදනා නඟන විමල් වීරවංශ වැනි දේශපාලන‍ඥයින් ඔවුන්ගේ අතීත දේශපාලන භාවිතය තුළ පටු ජාති හා ආගම්වාදී අදහස් මෙන්ම රාජ්‍ය විරෝධී අදහස් ද ක්‍රියාත්මක කොට ජනජීවිතය අඩපණ කිරීමට දැක්වූ දායකත්වය පිළිබඳ ජනතාවට අවබෝධයක් ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ ද පවසයි.

"මැයි 13 වන දින රට තුළ විශාල කළබලයක් සිදු වෙතැයි කටකතා පතුරුවමින් ජන ජීවිතය අඩාල කොට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් කර රටේ පැවැත්ම අස්ථාවර කිරිමට උත්සාහ දැරූ අවස්ථාවාදීන්ගේ අරමුණු මේ වනවිට බිඳ වැටී තිබේ.

එම අරමුණු බිඳ වැටුණු පසු තවදුරටත් සාමාකාමී ජනතාව තුළ කලහකාරි අදහස් පතුරුවා භේද බින්න කොට ජන ජීවිතය අස්ථාවර කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වන බව මේ වනවිට සිදුවන පොලිස් පරීක්ෂණ හමුවේ ද අනාවරණය වෙමින් තිබේ. එම අන්තවාදීන් ගමින් ගමට යමින් කලකෝලාහල ඇති කරමින්, දේපළ විනාශ කරමින් ජනතාව ගැටුමකට පටලවා ගැනීමට උත්සාහ දරණ අයුරු පසුගිය දිනවල සිදු වූ අවාසනාවන්ත සිදුවිම් වලින් ද පෙනෙන්නට තිබේ.

එවැනි තත්ත්වයක් තුලදී වුවද බොර දියේ මාලු බාමින් ක්‍රියාකරන විපක්ෂ දේශපාලනඥයින් ජාතිවාදී අරගලයන් හි කසකරුවන් බවට පත් වෙමින් අප වෙත අභූත චෝදනා එල්ල කරමින් මේ සිදු කරමින් සිටින්නේ මෙරට ජන සමාජය අවුල් වියවුල් කිරීමේ ත්‍රස්තවාදින්ගේ වුවමනාවට උඩ ගෙඩි දීමකි. එමෙන්ම ඔවුන් මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයින් පවා නොමඟ යවන සුඵ ප්‍රකාශ සිදු කරමින් සිටියි.

එබැවින් මෙවැනි දේශපාලන හැසිරීම්, භාවිතයන් හා ප්‍රකාශයන් පිළිකුලෙන් සහ කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරමි.

නිදහසින් පසු සාඩම්බර රාජ්‍යයක් ලෙස ආකල්ප හා ක්‍රියාවන්ගෙන් තවදුරටත් පොහොසත් වෙමින් සියලු ජාතීන් සමඟ අත්වැල් බැඳ ගනිමින් එක් ජාතියක් ලෙස අපට ඉදිරියට යාමට නොහැකි වූයේ මෙවැනි අවස්ථාවාදී දේශපාලනඥයින්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් බව ද මෙරට බුද්ධිමත් ජනතාව මේ වනවිට අවබෝධ කර ගෙන ඇතැයි මම විශ්වාස කරමි.

විපක්ෂයේ කාර්ය භාරය සැමවිටම විවේචනය කිරීම, කුමන්ත්‍රණ කිරිම, නොවන බවත්, ජාතිවාදය, ආගම්වාදය වැනි සංවේදී කරුණු සමඟ දේශපාලන දාදු ක්‍රීඩාවේ නියැලෙමින් ජන ජීවිත ව්‍යාකූල කිරීම මෙවැනි තීරණාත්මක අවස්ථාවක නොකළ යුත්තක් බවත් අවධාරණය කරමි.


මේ මොහොතේ කළයුතු වැදගත්ම කාර්යය වන්නේ සියල්ලන්ම එක්වී රට තුළ සාමයත්, ජන ජීවිතයේ අඛණ්ඩ භාවයත් වෙනුවෙන් කටයුතු කරමින් ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා කැපවීම පමණක් බව ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි."

RN