පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් සඳහා කථානායකගෙන් යෝජනාවක්! - Lanka News Web (LNW)

පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් සඳහා කථානායකගෙන් යෝජනාවක්!

ජාතිවාදී ගැටුම් ඉදිරියට සිදුනොවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමේ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

 අසූව දශකයේ අසහනය පැවැති අවස්ථාවලදී පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ අයුරින්ම, සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් මෙන්ම ඉදිරියේදී ජාතිවාදි අර්බුද නිර්මාණය නොවීමට කරුණු පරික්ෂා කිරීම සඳහා මෙම කොමිසම පත් කිරීම වැදගත් යැයි ජනාධිපතිවරයා දැනුවත් කරන බව අද (15) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායකවරයා ප්‍රකාශ කළේය.

රට තුළ පවතින වාතවරණය සහ ඉදිරියේදී වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය,වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, සහ අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරු මහනුවරට පැමිණියහ.

අස්ගිරි මහා විහාරයට පැමිණි එම පිරිස අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමග සාකච්ඡාවක නිරත වූහ.

අනතුරුව එම පිරිස මල්වතු මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවය මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූහ.

ඉන්පසු මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමග සාකච්ඡාවක නිරත වූහ.

කළු ජූලියේ අනිසි ප්‍රතිඵල නිසා තවමත් ජනතාව විවිධාකාරයෙන් වන්දි ගෙවමින් සිටින බව කී කථානායක කරූ ජයසූරිය මහතා තවදුරටත් මෙසේ සඳහන් කළේය.

"ඉදිරියට එළඹීමට නියමිත වෙසක් උත්සවය කඩාකප්පල් නොකර සාමකාමීව බුදුරජාණන් වහන්සේගේ සැමරුම තෙමගුල සිහිපත් කළ යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විශාල වශයෙන් කටකථා ව්‍යාප්ත වුවත් ඒ කිසිවක් ඔප්පු වුණේ නැහැ.

මුස්ලිම් ජනතාවගේ දේපළ විනාශ වීම සිදු නොවිය යුතුයි. එය සිංහල බෞද්ධයන්ට උචිත වන්නේ නැහැ.

කළු ජූලිය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තිබුණේ තමිල්නාඩුව සමඟ පමණයි. නමුත් වර්තමානයේ දී වෙනත් ජාතියක් සමඟ ගැටුම් ඇතිකර ගැනීම මගින් ලෝකය හමුවේ අපට ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

මෙවර වෙසක් උත්සවය පවත්වන්නේ නැහැ යැයි බැනර් ප්‍රචාරය කරමින් ඇතැම් පිරිස් ජනතාව උසිගැන්වීම සඳහා කටයුතු කරන බව පෙනෙනවා. වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමේ අදෘෂ්‍යමාන හස්තයක් දැන් ක්‍රියාත්මක වෙනවා.

පොලිසිය, බුද්ධි අංශ, යුද හමුදාව ඇතුළු සමස්ථ ආරක්ෂක අංශය මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන ආකාරය බෙහෙවින්ම සතුටු දායකයි. ගැටළු ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කරනවා. ඒ සඳහා යෝජනාවක් මට ලැබුණා, යෝජනාව මා පිළිගත්තා. ඉදිරි දින කිහිපය තුළදී එම තේරීම් කාරක සභාව නම් කරන බව කතානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

ජනමාධ්‍ය සහ වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

 karu 01

වර්තමානයේ දී ජනමාධ්‍යයට අප කිසිම තහංචියක්, කිසිම බාධාවක් කරලා නැහැ. පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර වගකීමෙන් යුතුව රාජකාරි කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ විකෘති වී ප්‍රචාරය වුණා. ඒ නිසා ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා සහ ජාතීන් අතර භේද භින්න ඇති නොවන ලෙස රාජකාරි කරන්න කියා අපි විශේෂ ඉල්ලීමක් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කල්ලියේ 97% ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන හමාරයි. දැන් ඉන්නේ ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. ඔවුන් පිළිබඳ ද සොයාගෙන විමර්ශන කටයුතු කරගෙන යනවා. එම කල්ලි සම්බන්ධයෙන් සුළුවෙන් හෝ සහයෝගය දුන් අය ත්‍රස්තවාදීන් වශයෙන් අත්අඩංගුවට ගන්නවා. රාජකාරි කරන ලෙස ආරක්ෂක අංශ සඳහා අපි පූර් ණ නිදහස, පූර් ණ බලතල ලබා දී තිබෙනවා. ඒ සඳහා කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් කරන්නේ නැහැ.

නාමල් කුමාර, අමිත් වීරසිංහ වැනි අය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධතා තිබෙනවාද යන්න පරීක්ෂා කිරීම සඳහාය. ඉදිරියේදී ඒ සම්බන්ධ විධිමත් ප්‍රකාශයක් සිදු කෙරෙයි. තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ. ඔවුන් සම්බන්ධයෙන් තවමත් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

එල්ටීටීඊ ත්‍රස්තවාදය භූමියක් වෙනුවෙන් සටන් කළ පිරිසක්. ඔවුන් සමග ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණට මුහුණ ගැටුණා. නමුත් මෙතැන තිබෙන්නේ වෙනම ත්‍රස්තවාදයක්. ඒක ආගමික අන්තවාදී ත්‍රස්තවාදයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලට පවා මේ ත්‍රස්තවාදී ප්‍රතිඵල අත්විදින්න සිදුව තිබෙනවා. ආගමික අන්තවාදය අනුව ක්‍රියාකරන අය පිළිබදව විමර්ශනය කෙරෙනවා. ත්‍රස්තවාදී වැඩ කරනවා නම් බුද්ධි අංශ මේ පිළිබඳව අවධානය යොමු කරමිනුයි සිටින්නේ. අන්තවාදී කණ්ඩායම් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.

කුලියාපිටිය, නාත්තන්ඩිය, මිනුවන්ගොඩ වැනි ප්‍රදේශවල ඇති වූ සිදුවීම් රජයක් ලෙස අපි හෙළා දකිනවා. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවලට තිත තැබීම සඳහා ආරක්ෂක අංශය පුළුල්ව මෙහෙයුම් දියත් කරමින් සිටිනවා. අහිංසක මුස්ලිම් ජනතාවට හිංසා කරන්න එපා. රටේ ප්‍රධාන වැටලීම් කරන කොට ඒ සඳහා තොරතුරු ලබා දුන්නේ මුස්ලිම් ජනතාවයි. අන්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් අප සමඟ ජීවත් වෙනවා. මේ වගේ වැඩ සිදු වෙනකොට මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව අන්තවාදය කරා යොමුවිය හැකියි.

මේක පිටුපස යම් යම් බලවේග තිබෙනවා. ඒ කණ්ඩායමක් තමයි කුලියාපිටිය නාත්තන්ඩිය, මිනුවන්ගොඩ වැනි ප්‍රදේශවල ගැටුම් ආරම්භ කළේ. ඒ පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කරනවා. ඉදිරියේදී ඒ පිළිබද හෙළි දරව්වක් සිදුවීමට නියමිත යැයි අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

karu 02

 

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb