ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කරන හැටි ජනාධිපති චීනයේදී කියයි

ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කරන හැටි ජනාධිපති චීනයේදී කියයි

15 May 2019 05:54 pm

ආගමික අන්තවාදයෙන් බිහිවන ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ අද (15) චීනයේ බීජිං අගනුවර ආරම්භ වූ ආසියානු ශිෂ්ටාචාර පිලිබඳ සමුළුව අමතමිනි.

මෙම සමුළුව ප්‍රථම සංවිධානය කෙරුණු අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහි ප්‍රධාන ආරාධිතයෙක් විය.

ආසියාතික ශිෂ්ටාචාර පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඬ සහ චීන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු මිත්‍රශීලි සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා පත්කර යුතු බව ජනාධිපතිවරයා කියා තිබේ.

ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්,ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැගී ඇත්තේ වසර 2600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයකඅනන්‍ය වූ පදනමක් මත වන අතර සිංහල, දෙමළ,මුස්ලිම්,මැලේ,බර්ගර් කොටස් එහි ජීවත් වන අතර එම ජනතාව බෞද්ධ,හින්දු,ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම්වලට අයත් බවයි.

මෙම සමුළුව එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයින් දෙදහසකට වැඩි පිරිසක් සහභාගී වී සිටියි.

ASK