මධුමාදවගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙනවත් නෑ. ඇඟිලි දික් කරන අයට නීතිමය පියවර ගන්නවාලු

මධුමාදවගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙනවත් නෑ. ඇඟිලි දික් කරන අයට නීතිමය පියවර ගන්නවාලු

16 May 2019 01:06 am

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා ඊයේ (15) මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට කැඳවා තිබුණ ද ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති බව වාර්තා වේ.

 

තමන් පොලිස් ස්ථානයට පැමිණ පැය තුනක් බලා සිටියත් ස්ථානාධිපතිවරයා කාර්යබහුල බැවින් ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදු නොවුණු බව පැවසූ මධුමාදව මහතා නැවත දිනයකදී කැඳවීමක් සිදු කෙරුණහොත් නැවත පැමිණෙන බවයි පොලිස් ස්ථානයෙන් නික්ම යද්දී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් ඒ මහතා පොලිස් ස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී යම් පිරිසක් පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව ඔහුට විරෝධය පළ කරන ආකාරය ද දක්නට ලැබිණි.

එම විරෝධතාකරුවන්ට එරෙහිව අදහස් දක්වමින් මධුමාදව මහතා මාධ්‍ය වෙත පැවසුවේ තමන් නිහඬව සිටින්නේ රට ගිනිතැබීමට වුවමනාවක් නැති නිසා බවත් මිනුවන්ගොඩ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ඇඟිලි දිගු කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.

පසුගිය 13 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳසැල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාර අතරතුර මධුමාදව අරවින්ද මහතා ද එම ස්ථානයේ සිට ආපසු පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබුණු අතර ප්‍රහාර සඳහා ජනතාව උසිගැන්වීම පිළිබඳව මධුමාදව අරවින්දට එරෙහිව සමාජය තුළ දැඩි විරෝධයක් ද නිර්මාණය වී ඇත.

RN