ඇමති රුවන්ගේ රථගාය සහ ආණ්ඩුවේ ආරක්ෂාව

ඇමති රුවන්ගේ රථගාය සහ ආණ්ඩුවේ ආරක්ෂාව

16 May 2019 05:27 am

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඊයේ (15) මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන ආකාරය දක්නට ලැබිණි. එහිදී අමාත්‍යවරයා පැමිණ සිටියේ ඩිෆෙන්ඩර් රථ, ජීප් රථ සහ කමාන්ඩෝ සෙබළුන් සහිත යතුරුපැදි ගණනාවක් පිරිවරාගෙන යුධ බිමකට ඇතුළුවන සෙයියාවකිනි.

 

පසෙකින් ආරක්ෂාව තහවුරු කර ඇතැයි කියන ආරක්ෂක ප්‍රධානීන්ය. පසෙකින් දරුවන් පාසල් එවන්නැයි කියන අධ්‍යාපන ඇමතිය. තවත් පසෙකින් සාමාන්‍ය ජන ජීවිතයට පිවිසෙන්නැයි ජනතාවට ආරාධනා කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ය. සියල්ල මැද සිය ගණනින් ආරක්ෂකයින් පිරිවරා මහ දවල් විදුලි එළි දල්වාගෙන විදුලි වේගයෙන් පියාඹන ආරක්ෂක රාජ්‍ය ඇමතිය.

රුවන් විජේවර්ධන මහතා ද ගම්පහ දිස්ත්‍රික්කයම නියෝජනය කරන ඇමතිවරයෙකි. ඔහුට තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කය තුළ මෙතරම් දැවැන්ත ආරක්ෂාවකින් තොරව ගමන් බිමන් යාමේ හැකියාවක් නොමැති නම්, තම ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ඒ මහතා ඔතරම් බියෙන් පසුවන්නේ නම් සාමාන්‍ය ජනතාව බියෙන් සැකෙන් තොරව එදිනදා කටයුතු කරගන්නේ කෙසේද යන අතිශයින් සාධාරණ ප්‍රශ්නය මෙහිදී පැන නඟී.

ඇමතිවරුන්ට තමන් ඉදිරියෙන් සහ පසුපසින් ආරක්ෂකයින් පිරිවරාගත් රථ පෙළපාලියකින් ගමන් බිමන් යන්නට ඇති රථගාය සම්බන්ධයෙන් දශක ගණනාවක අත්දැකීම් ශ්‍රී ලාංකික අපට තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති තුනක් ගත වූ පසුවත් තවමත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගත නොහැකිව තටමන ආණ්ඩුවේ ඇමතිවරුන් මෙසේ රථ පෙළපාලිවලින් නගර අතර සැරිසරන විට සාමාන්‍ය ජනතාව ඒ දෙස බලන්නේ දැඩි පිළිකුලෙන් යුතුව රුවන් විජේවර්ධන නොදන්නවා වන්නට බැරිය.

ආරක්ෂාව තහවුරු කිරීමට අසමත්වීම තුළ ජනතාවගේ කෝපයට ලක්ව සිටින ආණ්ඩුවක ඇමතිවරුන් ජනතාවට පම්පෝරිය පෙන්වමින් රිය පෙළපාලිවලින් ඉගිළීම එම ආණ්ඩුවේ ආයුෂ කෙටිවීමට සෘජුවම බලපාන බව රුවන් විජේවර්ධන නොදන්නේ නම් ඔහු දේශපාලනයට සුදුසුත් නැත.

මෙය රුවන්ගේ පමණක් වන ප්‍රශ්නයකුත් නොවේ. තමන් බරපතළ ආරක්ෂක තර්ජන ඇති මහා වැදගත් පොරක් බව සිය ආරක්ෂක බල ඇණිය හරහා ජනතාවට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමේ ළදරු මානසිකත්වයක් බොහෝ දේශපාලනඥයින් සතුව පවතින බව රහසක් නොවේ. අනෙක් අතින් රටට පෙනෙන්නට ඇමතිකම් භාරගත්තාට තමන්ව මාස පහකින් ආරක්ෂක මණ්ඩලට වද්දාගෙන නොමැති බවක් රට හමුවේ කීවේද මේ ඇමතිවරුන්මය.

ආරක්ෂාව පිළිබඳ තක්සේරු කර, ඊට අදාළ විධිවිධාන යොදන්නේ තමන් විසින් නොව ප්‍රභූ ආරක්ෂක අංශය විසින් බව කියන්නටත් ඇමතිවරුන්ට හැකිය. එහෙත් ආරක්ෂාව ගැන ඔතරම් බිය නම් එම ඇමතිවරුන් ජනතා බදු මුදලින් වාහන, ආරක්ෂකයින් සිය ගණනින් තමන් වෙනුවෙන් යොදවා නොගෙන දේශපාලනයෙන් ඉවත්වී තමන්ගේ වැඩක් බලාගෙන ගෙදර ගියත් ජනතාව කොහෙත්ම එය පාඩුවක් ලෙස නොදකින බව ඔවුන් උගත යුතුව ඇත.

ඇත්තටම බය වුණත් නමට හෝ බය නැති වගක් මවා පෙන්වන්නටවත් බැරි ආණ්ඩුවක් ජනතාවට කොහෙත්ම ඕනෑ නැති බව රුවන්ලාට තේරෙන විට කෝච්චිය මඟහැරී බොහෝ කල්ගතවී තිබෙන්නටත් පුළුවන. තවත් සරලව කිවහොත් රුවන්ලාගේ පුද්ගලික ආරක්ෂක සංදර්ශන ආණ්ඩුවේ දිගුකාලීන ආරක්ෂාවට තදින් හරහට සිටිනු ඇත.

RN