ඔව්, බදියුදීන් ඇමතිවරයා මට කතා කළා. බලපෑමක් නෙවෙයි ඉල්ලීමක් (VIDEO)

ඔව්, බදියුදීන් ඇමතිවරයා මට කතා කළා. බලපෑමක් නෙවෙයි ඉල්ලීමක් (VIDEO)

16 May 2019 07:48 pm

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය.

එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස හැඳින්වීමට තමන් කැමති බව සඳහන් කළ හමුදාපතිවරයා ඇතැම් මාධ්‍ය එය බලපෑමක් ලෙස අර්ථකතනය කර තිබුණු බවත් ප්‍රකාශ කළේය. 

හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

අද දින රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දුන් අතර එහිද සඳහන් වූ ප්‍රධාන කාරණයක් වූයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීම සඳහා යුධ හමුදාපතිට බලපෑම් කළ බවට පසුගිය 05 වැනිදා සිළුමිණ පුවත් පතට යුධ හමුදාපතිවරයා කර තිබූ ප්‍රකාශයයි.

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යුධ හමුදාපතිවරයාගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් මහේෂ් සේනානායක මහතා පැවසුවේ පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත් දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බවත් තුන්වෙනි වාරයේදී ඒ කතා කිරීමට වසර එක හමාරකට පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලෙසත් කියා සිටි බවයි. එසේ පැවසුවේ සැකකරුවකුව වසර එකහමාරක් රඳවා ගැනීමට තමන්ට බලය ඇති නිසා බවත් ඒ මහතා සඳහන් කළේය. 

එම සැකකරු දෙහිවලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් බවත් යුධ හමුදාපතිවරයා කියාසිටියේය.

එමෙන්ම සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත්වන දේවල් සම්බන්ධයෙන් ප්‍රචාරය කිරීමේදී මාධ්‍යයට වාරණයක් පැනවීම පිළිබඳවද යුධ හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් මහේෂ් සේනානායක මහතා පැවසුවේ තමන් මාධ්‍ය වාරණයක් ගැන කතා නොකළ නමුත් මාධ්‍ය රඟපෑම නතර කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බවයි.

ASK