දිගන සිද්ධියට ඇල්ලුවේ අහිංසකයෝ. මංගලට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා - ගම්මන්පිල

දිගන සිද්ධියට ඇල්ලුවේ අහිංසකයෝ. මංගලට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා - ගම්මන්පිල

17 May 2019 02:00 am

මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවත් එම පැමිණිල්ල විභාග කර නීතිය ක්‍රියාත්මක නොවුණහොත් ඉන් පෙනීයනු ඇත්තේ ඔහු අමාත්‍ය ධුරයක් දැරීම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන ආකාරයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

 

එසේම පසුගිය වසරේ දිගන ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් දේශපාලන සහ සිවිල් පුරවැසි අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ අත් අඩංගුවට ගත්තේ අහිංසක පුරවැසියන් බවත් පැවසූ ඒ මහතා අමිත් වීරසිංහ නමැත්තාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 2015 වසරේදී ඔහු අන්තර්ජාලයට එක්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මංගල සමරවීර මහතා ද මේ මොහොතේ සිටිය යුත්තේ රක්ෂිත බන්ධනාගාරයේ බව කී ගම්මන්පිල මහතා ඔහු එළියේ සිටින්නේ ඔහුගේ ඇමති ධුරය නිසාය යන පණිවිඩය පොලිස් විමර්ශන හරහා තමන්ට ලැබුණහොත් ඔහුට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවත් පැවසීය.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (16) රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කථානායකවරයාට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් දිගන ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් පිරිස අතර ගම්මන්පිල මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද විය. පසුගිය 13 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයින්ට අයත් වෙළඳසැල්වලට ප්‍රහාර එල්ල වෙද්දී ගම්මන්පිල මහතාගේම පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඒ අසල ගැවසෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

RN