යුධ අපරාධ ගැන මහින්දගෙන් යළි තහවුරුවක්

යුධ අපරාධ ගැන මහින්දගෙන් යළි තහවුරුවක්

19 May 2019 10:34 am

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කිසිදු යුද අපරාධයක් සිදු නොවුන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (19) LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේ දසවන සංවත්සරය වෙනුවෙන් විජේරාම නිල නිවසේ දී පැවති විශේෂ දේශනයේදීය.

ලෝකයේ සන්නද්ධ ගැටුම්වලට බලපාන නීතිය සකස්කර තිබෙන්නේ යුද්ධ කිරීමට නොහැකි වන ආකාරයට නොව බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ. යුධ නීතිය ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වන අතර
එම බටහිර රටවල් පිළිගන්නා යුධ නීතියට අනුව ලංකාවේ කිසිදු යුධ අපරාධයක් සිදු නොවුනු බව හෙතෙම ප්‍රකාශ කළේය.

"ලෝකයේ යුද නීතිය හා භාවිතය පිළිබඳව ප්‍රමුඛතම විශේෂඥයන් වන මහාචාර්ය මයිකල් නිවුටන්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රැජිනගේ නීතීඥ රොඩ්නි ඩික්සන්, මේජර් ජනරාල් ජෝන් හෝම්ස් වැනි විශේෂඥයන් ඒ කාලයේදී මේ බව ලිඛිතවම ලංකා ආණ්ඩුවට දන්වල තිබුණා. ලංකාවේ සන්නද්ධ හමුදා යුද අපරාධ කළ බවට කෙරෙන මේ චෝදනාව හුදෙක්ම දේශපාලන කාරණයක්. අපිට ඒකට ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙන්නෙත් දේශපාලනිකවයි."

එමෙන්ම මේ වන විට අපි දැන් තවත් ත්‍රස්තවාදයකට මුහුණ දී සිටින අතර එය ගෝලීය ත්‍රස්තවාදය එක්ක කටයුතු කරන දේශීය ත්‍රස්තවාදයක් බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

පසුගිය දිනවල සාකච්ජාවට බඳුන් වූ ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව ද විපක්ෂනායකවරයා සිය දේශනයේදී අවධානය යොමුකර තිබුණි.

"අපේ ආණ්ඩුව දැන් ගේන්න හදන ප්‍රති ත්‍රස්ත පනතින් කරන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට ලබාදෙන දඩුවම් වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමයි. ඒ ලිහිල් දඩුවම් වුනත් නොවිඳ සිටීමට ත්‍රස්තවාදී චූදිතයෙකුට නීතියෙන් ඉඩකඩ හදල දීලා තියෙන්නෙ. ත්‍රස්තවාදීන්ට උපරිම බුරුලක් ලබා දෙන අතරම රජයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් දඩයම් කරන ආණ්ඩුවක් තමයි අපිට ඉන්නෙ."

ASK

Sinhala 19 May 2019 1

Sinhala 19 May 2019 2

Sinhala 19 May 2019 3

Sinhala 19 May 2019 4

Sinhala 19 May 2019 5

Sinhala 19 May 2019 6