අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

19 May 2019 04:08 pm

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ගැටුම්වල දී මිය යෑම තුළ මේ රටේ ස්ථිර සාමයක් පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකි තත්ත්වයක් ඇති වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල මහතා පැවසුවේය.

 ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ අද (19) අද පස්වරුවේ පැවති “රණවිරු උත්තම ප‍්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම“, උත්සවය අමතමිනි.

අපට වඩා ලෝකයේ ප‍්‍රබල බලවත් රාජ්‍යයන්හි ප‍්‍රබල නායකයන් වගේම යුද විශේෂඥයන් ප‍්‍රකාශ කරන ආකාරයට ආගමික අන්තවාදය, ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය මෙන්ම රටවල ඇතිවන්නා වූ ත‍්‍රස්තවාදී ව්‍යාපාර තුළ ඇති වන සිදුවීම් කොයි වේලේ කොයි මොහොතක කොතනක කුමන ආකාරයෙන් සිදුවේද යන්න ලෝකයේ කිසිම පාලකයෙකුට බලවතෙකුට හෝ යුද විශේෂඥයෙකුට හෝ යුද බුද්ධි විශේෂඥයෙකුට කීමට හැකියාවක් නැති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

කෙසේවෙතත් වසර 30 ක යුධ අත්දැකීම් සමඟ ප‍්‍රධාන වශයෙන්ම මේ ප‍්‍රශ්නයට මුහුණ දී ජයග‍්‍රහණය කර රටට ස්ථිර සාමයක් ළඟා කර දීමේ හැකියාව රජයටත් ආරක්ෂක අංශවලටත් පැවරී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"අපි දැක්කා පසුගිය මාර්තු මාසයේ ප‍්‍රංශයේ පැරිස් නගරයේ තිබූ වසර 800 ක ඉතාමත් ශ්‍රේෂ්ඨ උතුම් කතෝලික පූජනීය ස්ථානයක් ගිනි ගත්තා. අපේ‍්‍රල් 21 වෙනිදා අපේ සිදුවීමෙන් පසුව තවත් ලෝකයේ රටවල් කිහිපයක මේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය විසින් පිපිරීම් සහ ඝාතන සිදුකරනු ලැබුවා. ඒ නිසා අපි රටක් විදියට ලෝකය සමඟ අත්වැල් බැඳගත යුතු වෙනවා අපේ රට තුළින් මේ නව ම්ලේච්ඡ ජාත්‍යන්තර අන්තවාදී ත‍්‍රස්තවාදය විනාශ කිරීමටත් ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් අප විසින් ලබා ගත යුතු සහයෝගය අවශ්‍ය පරිදි ලබා ගැනීමත් මේ කියන කරුණු මුල් කරගෙන."

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

වසර 30ක ම්ලේච්ජ ත‍්‍රස්තවාදයට එරෙහි යුද ජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන අවස්ථාවේ ඊට හාත්පසින්ම වෙනස් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සිදුවීමකට නොසිතු අයුරින් අපට මුහුණදීමට සිදුව ඇති නමුත් ඒ හමුවේ මෙරට ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ සහ සියලූ ආරක්ෂක අංශවල විශේෂඥයන් ඇතුළු සියලූදෙනාට නව වගකීමක් පැවරී ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ASK