මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

21 May 2019 05:35 am

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ නැති බව තව තවත් ප්‍රත්‍යක්ෂ කරමින් මැයි 13 වනදා රාත්‍රී වන විට මුළු රටටම බලපවත්නා පරිදි නැවතත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේය. ඒ වන විට වයඹ පළාතේ ස්ථාන කීපයකින් ඇරඹි කෝලාහලය මිනුවන්ගොඩ දක්වා පැතිර තිබිණ. මැයි 13 දා සිදුවූ ප්‍රහාරවල වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවලට ද මුසුවෙද්දී කුලියාපිටිය ප්‍රදේශයේ එක් අයෙක් මියගිය බව ද වාර්තා විය. ඒ අතර කටකතාවලට ද රට පුරා තටු ලැබී තිබුණි. මැයි 14 වන දින අප මිනුවන්ගොඩ ප්‍රදේශයට යන්නේ සිදුවූයේ කුමක්දැයි නිවැරදිව දැන ගත හැකි මාර්ග ඇහිරෙද්දීය.

 

මිනුවන්ගොඩ විශාල කණ්ඩායමක් එකවිට පැමිණ පහරදීම අරඹා තිබුණේ ගුවන්තොටුපොළ පාරේ පිහිටි ෆවුස් හෝටලයෙනි. “පළමු පහරදීම වුණේ හවස 6.15 විතර, අපි නෝම්බි අරින්න කලියෙන්. දහ දෙනෙක් විතර මූණු වැහෙන හෙල්මට් දාගෙන ඇවිත් වීදුරු තුන හතරකට ගහලා ගිහින් තිබුණා. අපි ඒ වෙලාවේම කඬේට ඇවිත් බැලුවා. පොලිසියත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එඞ්වඞ් ගුණසේකර, චමින්ද සිල්වා, තවත් ගොඩක් පිරිසක් ඒ වෙලාවේ මෙතැනට ආවා. ඒත් ඒ වෙලාවේ කිසිම කලබලයක් තිබුණේ නැහැ. පස්සේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, හමුදා නිලධාරීන් දෙදෙනෙක් විතරක් මෙතැන ඉඳලා අනෙක් අය ගියා. මෙතන මිනිස්සු ගොඩක් බලන් හිටියා. පන්සීයක් විතර කට්ටිය. පස්සේ දන්නේ ඒ බලන්න ආව අය නෙමෙයි, ගහන්න ආව අයමයි කියලා. ඒ අය එක පාරට හැමෝම කඩාවැදිලා කෑ ගසමින් හූ කියමින් ගල්වලින් ගහන්න පටන් ගත්තා. අපිටත් වැදුණා, අපි දිවුවා. ඒ අය එලවගෙන එද්දී අපි පිටිපස්සේ වැටෙන් පැනලා වෙලට පැනලා ගිහින් එහා පැත්තේ සිංහල ගෙදරකට ගිහින් හිටියා.” ඒ එම වෙළෙඳසැල හිමි ටී.අයි. ඉෂාම්ය.

එසේ කඩා වැදෙන විශාල පිරිස දිගින් දිගටම වෙළෙඳ සැලට ගල් ප්‍රහාර එල්ල කරන අයුරු වීඩියෝ දර්ශනවලද පැහැදිලිය. වෙළෙඳසැල ගල් ගසා විනාශ කරන එම පිරිස ඉෂාම්ලා පැමිණි ජීප් රථයට ද පූර්ණ හානි කර තිබුණි. ඒ අතර වෙළෙඳසැල තුළ තිබූ මුදල්ද කොල්ලකාගෙන ගොස් බව ඉෂාම් පවසන්නේය. “පඩි ගෙවන්න, බිල් ගෙවන්න වෙන වෙනම බෑග්වල දාලා කඬේ ලාච්චුවේ තිබුණු ලක්ෂ තුනකට ආසන්න මුදලක් අරගෙන තිබුණා. ඒ අය ඇතුළට එනවා සීසීටීවී කැමරාවේ තියනවා. ඊට පස්සේ ඒකේ වයර් එක ගලවලා මුදල් අරගෙන තිබුණා. ජීප් එකේ ලක්ෂ තුනක් පමණ රට සල්ලි තිබුණා, ජීප් එක කඩලා පර්ස් එකත් එක්කම ඒ සල්ලිත් අරගෙන ගිහින් තිබුණා. විනාඩි හතළිස් පහක් විතර එක දිගට කඩයට ගැහුවා. ඒ අයගේ ප්‍රධාන ඉලක්කය වුණේ මේ කඬේ. ඊට පස්සේ තමයි ටවුන් එකට ගිහින් ගහලා තිබුණේ.”

ඔවුන් පරම්පරා ගණනක සිට ජීවත්ව තිබුණේ මිනුවන්ගොඩ වන අතර පාරම්පරිකව පවත්වාගෙන ආ ව්‍යාපාරයක හිමිකරුවෝ වූහ. මිනුවන්ගොඩ වෙළෙඳ සංගමයේ උප සභාපති වූයේද ඉෂාම්ගේ සොයුරාය. ඔවුහු ගමේ සියලුදෙනා සහයෝගයෙන් ජීවත් වූ අයුරු ඔවුන් පමණක් නොව තවත් බොහෝ අය අප සමගද පැවසූහ. ගමේ පෙරහැර, තොරණ ආදී සියල්ල ද පවත්වා තිබුණේ මේ සියලුදෙනාගේ සහයෝගය සහිතවය. එබැවින් ඉෂාම්ලාට තවමත් මේ සිදුවීම පිළිබද සිතා ගැනීමට නොහැකි වූයේය. “කොල්ලො සෙට් එකක් එකතු කරගෙන මේක කරලා තියෙන්නේ මංකොල්ලයටම බව පේනවා. දන්න සමහර අයත් ඇවිත් තිබුණා. ජාති භේදයකට නෙමෙයි. මොකද මේ ගමේ එවැනි දේ තිබුණේ නැහැ. මෙහේ මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. මේක එහෙම නගරයක් නෙමෙයි.” ඒ ඉෂාම් ය.

එම හෝටලයට පහරදෙන පිරිසගේ ඊළඟ ඉලක්කය බවට පත්ව තිබුණේ මිනුවන්ගොඩ නගර මධ්‍යයේ වූ ජුම්මා දේවස්ථානය සහ තෝරාගත් වෙළෙඳසැල්ය. පොලීසිය පැවසුවේ විනාශයට ලක්වූ වෙළෙඳසැල් ගණන 41ක් බවය. අප එහි යන විටත් ඒ සීමාවේ මාර්ගය වසා දමා යුද හමුදා ආරක්ෂාව තර කර තිබුණි. නගර මධ්‍යයේ දැවී අළුවූ කඩ පේළි තවමත් දුම් නගයි. ඒ බොහෝ වෙළෙඳසැල්වල ඉතිරිව පැවතුණේ අඟුරු ගොඩවල් පමණි. බිත්ති පවා ගින්නෙන් පිළිස්සී පුපුරා කඩා වැටීය. වෙළෙඳසැල්වලට දමා ගැසූ විශාල ගල් කැබලි සහ කැඩී විසිවුණු වීදුරු කැබලි පාර දෙපස විසිරී තිබුණි. ඒ අතර ගල් ප්‍රහාරයෙන් විනාශ කළ පසු ගිනි තැබූවත් ගිනි ඇවිල නොයාම නිසා දැවැන්ත හානියක් නොවී ඉතිරිව පැවති වෙළෙඳසැල් කීපයක්ද වීය. පිරිස ගල් ගසා විනාශ කර තිබුණේ තෝරාගත් වෙළෙඳ සැල්වලටය. ජයන්ති, ආසිරි, නිමාලි වැනි නාමපුවරු සහිත වෙළෙඳසැල් ඉතිරි වෙද්දී ගිනිතබා තිබුණේ මොහිදීන් වැනි නාමපුවරු සහිත වෙළෙඳ සැල්වලටය. එක් තැනක දෙපස වෙළෙඳසැල් දෙකටම ගිනි තබා මැද වූ චතුර නම් වෙළෙඳසැලට හානි කර නොතිබුණත් දෙපස වෙළෙඳසැල් දෙක ගිනි ගනිද්දී මධ්‍යයේ වූ එම වෙළෙඳ සැලටද ගිනි ඇවිලී තිබුණි. ප්‍රහාරයට ලක් නොවූ බව පෙනුණු එක් වෙළෙඳසැලක කීපදෙනෙකු සිටිනු පෙනුණෙන් අපි ඒ වෙත ගියෙමු. ඒ මිනුවන්ගොඩ නගරයේ විශාලම රෙදිපිළි වෙළෙඳසැලක් ය. එහි හිමිකාරිය වූ චන්දිමා ඊට පෙර දින සිට වූ සිදුවීම් අප සමග පැවසුවාය.

“හයහමාර විතර වෙද්දී ආරංචි වුණා ෆවුස් එකට ගහනවා කියලා. ඒ වෙද්දී ටවුන් එකේ ගොඩක් මුස්ලිම් අයගේ කඩවල් වහලා තිබුණේ. නෝම්බි අරින්න ඕන නිසා ඒ අය හයට කඩවල් වහලා ගිහින් තිබුණා. පස්සේ මහා සෙනඟක් ඇවිත් ටවුන් එකේ කඩවල්වලට ගහන්න පටන් ගත්තා. අපි කඬේ වහලා ඇතුළට වෙලා හිටියා. ඔක්කොම දාහක විතර පිරිසක් එන්න ඇති කියලා හිතනවා. ඒ අය දිගටම කඩවල් කඩාගෙන කඩාගෙන ගියා. හැබැයි අපිට මොනවත් කළේ නැහැ. අපිට ඉවත්වෙන්න කීවා. ඒත් අපි කඬේ දාලා ගියේ නැහැ. පස්සේ කට්ටිය දිගටම කඩවල් කඩ කඩ ගියා. ඒ වෙලාවේ ගින්නක් ඇවිලිලා තිබුණේ නැහැ. ඒ අය ගියාට පස්සේ කඩවල් ගිනි ගන්න පටන් අරගෙන තිබුණා. අපේ කඬේට ගිනි තියලා තිබුණේ නැහැ. ඒත් කඬේට පිටිපස්සේ තියන කඩ පේළියටම ගිනි තියලා තිබුණා. ඒ ගින්න අපේ එකටත් පැතිරිලා තිබුණා. අපේ කඬේ උඩ තට්ටුවේ ගබඩාවේ සේරම පිච්චුණා. අගෝස්තු වෙනකම් කොළඹට බඩු එන්නේ නැති නිසා අපි බඩු ගෙනල්ලා ස්ටොක් කරලා තිබුණා. කෝටි තුනහමාරක විතර බඩු පිච්චිලා ගියා. කඬේ හදලාත් අවුරුද්දක් ගියේ නැහැ. ගිනි නිවන හමුදාවෙන් එද්දී රෑ දහය විතර වුණා. ඒත් ටික වෙලාවකින් වතුර ඉවර වුණා. පස්සේ ගුවන් හමුදාවෙන් ඇවිත් පාන්දර හතරහමාර වෙනකම් ගින්න නිවන්න උත්සාහ කළා. ඒ කැපවීම නිසා මගේ තට්ටු දෙකක් බේරා ගන්න පුළුවන් වුණා.” ඇය පවසන්නීය. ඇය පැවසුවේ මුහුණු ආවරණය වන හෙල්මට් දැමූ විශාල පිරිසක් පැමිණ වෙළෙඳසැල් වලට පහර දෙද්දී ඔවුන් බියෙන් වෙළෙඳසැල තුළට වී සිටි බවය. එම නගරයේ ජාතිවාදී ප්‍රශ්න කිසිදිනක නොතිබුණු බවත් සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කළ අය වූ බවත් ඇය පැවසුවාය. සිදුවීම වූ අවස්ථාවේ වෙළෙඳසැල් හිමියන් සියලුදෙනාටම එතැනට පැමිණීමට ඉඩ දුන්නා නම් සියලුදෙනාටම එක්ව ගින්න නිවා දැමීමට ඉඩ තිබූ බවත් එසේ වූවා නම් මෙතරම් හානියක් නොවනු ඇතැයි ද ඇය කීවාය.

ඒ අතර මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ තිබූ මෙරට විශාලතම පැස්ටා කර්මාන්තශාලාව වන ඩයමන්ඞ් පුද්ගලික සමාගමටද හානි කරන පිරිස ඊටද ගිනි තබා ගොස් තිබුණි. ඒ මොහොතේද කර්මාන්තශාලාව තුළ සේවකයන් 07 දෙනකු සේවයේ යෙදී සිට ඇති අතර, ඔවුහු දිවි ගලවාගෙන තිබුණි. කර්මාන්තශාලාවේ සේවකයන් බහුතරය සිංහල ජාතීන් බව එතැනට පැමිණ සිටි එක් සේවකයෙක් පැවසුයේය. ඔවුහු සිදුවීමෙන් දැඩි ශෝකයට පත්ව සිටියහ. බවුසර් හතරක ආධාරයෙන් එම ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කළ බව පොලීසිය සඳහන් කළේය. එහෙත් අප එහි යන විටත් කර්මාන්තශාලාව තුළ ගිනි දැල්වෙමින් තිබුණි. එහි සියලු බිත්තිද පුපුරා ඉරිතලා කඩා වැටීමට පෙර ලකුණු කියමින් සිටියේය. ඊට මොහොතකට පෙර එහි පිටුපස බිත්තිය පුපුරා කඩා වැටුණු බව පොලිස් නිලධාරීහු පැවසූහ. එම කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් විනාශව තිබුණි. සිදුවූ අලාභය රුපියල් බිලියන 700ක් බව වාර්තා වේ.

13 වන දා රාත්‍රියේම කුලියාපිටි ගල්ලොලුව ගම්මානයේ ද නිවාස හතරකට පමණ පිරිසක් පැමිණ පහර දී තිබුණි. ඒ ගම්මානයේ මිනිසුන් තවමත් සිටියේ දැඩි බියකින් හා අවිනිශ්චිත බවකිනි. නිවාසවලට පිටතින් පහරදුන් බවට ලකුණු තිබුණත් ඔවුහු ඒවා පිළිබඳ පැවසීමට ද බිය වූයෙන් එක් නිවසක පියෙක් පමණක් නිවසේ ගේට්ටුව විවර නොකරම ඇතුළේ සිට සිදුවීම විස්තර කළේය. ඔහු මොහොමඞ් නිජාබ්දීන්ය. “අපි අවුරුදු හතළිහක ඉඳලා මේ ගමේ පදිංචියි. මමයි, බිරිදයි, දියණියි, බෑණායි, එයාලාගේ දරු දෙන්නයි තමයි ගෙදර හිටියේ. ඊයේ හවස 5.45ට විතර මම කඬේ වහලා ගේ ඇතුළට ඇවිත් නෝම්බි අරින්න කෑම තියලා තිබුණු පැදුරේ අපි ඔක්කෝම වාඩි වුණා. ඒ වෙලාවේ කට්ටියක් ඇවිත් කලබලයක් ඇහුණා, අපි දොරවල් වහ ගත්තා. ඉස්සෙල්ලා එහා පැත්තේ ගෙදරක ත්‍රීවීල් එකකට ගහලා කඩලා තිබුණා. ඊට පස්සේ අපේ ගේට්ටුවලට කඩුවලින් ගහන සද්දේ ඇහුණා, ගල්වලිනුත් ගැහුවා. අපි බයට බැලුවේවත් නැහැ. මගේ කඬේ තහඩු දොරටත් කඩුවලින් ඇනලා ඇතුළේ තිබුණු වීදුරු ෆ්‍රිජ් එකත් කැඩිලා තිබුණා. මම මේ කඬේ දාලා මාසයයි.” ඔහු තම නිවසට යාබද කුඩා කඩය දක්වමින් පැවසුවේ දැඩි කනස්සල්ලකිනි. පැමිණි පිරිස නිවාසවලට පහරදෙමින් ගිය බවත් තමා හරි හැටි නොදැක්කත් ඒ විස්සක තිහක පමණ කණ්ඩායමක් විය යුතු බවද ඔහු පවසන්නේය. පසුව පොලීසියට දැන්වූ පසු පොලීසියෙන් සහ හමුදාවෙන් පැමිණි බවත් පෙර පැමිණි කණ්ඩායම නැවත ඒමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ ඔවුන් හරවා යවා ඇති බවත් ඔහු සඳහන් කළේය. ඔවුහු පසුව වෙනත් නිවසකට ගොස් රෑ පහන් කළ අයුරුත් අවට නිවෙස්වල අය ද වෙනත් ස්ථාන කරා ගිය අයුරුත් විස්තර කළෝය. “අද පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කටඋත්තර අරගෙන ගියා. වාර කීපයකින් වන්දි ගෙවනවා කියලා කීවා. අවුරුදු දහයක්ම රැකියාවකට ගියා. යන්න එන්න අමාරු නිසායි මේ කඬේ දාගත්තේ. දැන් අපේ ආදායම් ඔක්කෝම නැතිවුණා. අපි ණය වගයක් අරගෙන තියනවා. ඒකවත් ගෙවාගන්න බැරිවෙයි දැන්.” ඔහුගේ හඬ වියැකී ගියේ එය හැඬුමකට පෙරළෙමිනි. කුලියාපිටිය නගරයේ පිහිටි ඔහුගේ පුතාගේ රෙදිපිළි වෙළෙඳසැලද ගිනි තබා තිබෙන බව ඔහු පැවසුවේය.

එලෙස ගල්ලොලුව ගම්මානයේ බොහෝ අයට තම සුපුරුදු ජීවිතය හදිසියේම අහිමිව ගොස් තිබුණි. නිවෙස්වල ගැහැනු, පිරිමි, දරුවන් ඇතැම් ස්ථානවල නිවෙස්වලින් එළියේ කණ්ඩායම් ලෙස සිටිනු දැකිය හැකිවිය. ප්‍රදේශයට පිටස්තරයන් පැමිණෙන විට ඔවුහු නොසන්සුන් වූහ. ඒ බොහෝ දෙනාගේ දෑස්වල පෙනුණේ බිය සහ අවිනිශ්චිත බවය. ඒ ඇතැම් අය පැවසුවේ තමන් සිටින ප්‍රදේශයේ කිසිදු කලබලයක් ඇති නොවුණ ද හමුදා නිලධාරීන් තමන්ට ජාතිය පිළිබඳ පවසමින් බැණ වැදුණු බවය. එක් තරුණයෙකු පැවසුවේ එසේ බැණ වැදී තමන්ට හමුදා නිලධාරීන් තිදෙනෙකු පහරදුන් බවය. “උඹලා වැරදි මිනිස්සු අවුස්ස ගත්තේ” යනුවෙන්ද ජාතිය සම්බන්ධකර ගනිමින් පහත් ලෙස තර්ජනය කළ බව ද තවත් තරුණයෙකු පැවසුවේය. ඔවුහු ඒ සියල්ල හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පෙනෙන්නට තිබුණි. “අපිට යමක් සිදුවුවොත් ආරක්ෂාවක් ලැබෙන්නේ කාගෙන්ද කියලා අපිට ලොකු බයක් දැන් තියනවා. ඒ අතරේ ටීවී එකේ ප්‍රවෘත්තිවල කියනවා දෙපිරිසක් අතර ගැටුමක් වුණා කියලා. ඒත් දෙපිරිසක් හිටියේ නැහැ. අපි කොහේවත් ගියේ නැහැ, කාටවත් ගැහුවේ නැහැ, අපි ගෙවල්වල හිටියේ, ගැටුම් ඇති කළේ එක පිරිසක් විතරයි.” එක් අයෙක් පැවසුවේය.

මිනුවන්ගොඩ නගරයේ ජුම්මා පල්ලිය තුළත් ඉන් පිටතත් කැඩී විසිරුණු වීදුරු කැබලිවලින් පිරී තිබුණි. විදුලි ලාම්පු කෑලි වී පල්ලිය තුළ බිම පතිතව තිබුණි. යාඥා කිරීම් සිදුවන ශාලාවේ බුමුතුරුණු වැසී තිබුණේ ද කෑලිවී විසිරුණු ලොකු කුඩා වීදුරු කැබැලි සහ පහරදුන් අය දමා ගැසූ විශාල ගල්, ගඩොල් කැබලි වලිනි. “මම හැමදාම හවස 6.20ට වන්දනාවට පල්ලියට එනවා. ඊයේ නෝම්බි ඇරෙන වෙලාව වෙද්දී මට දුරකථන ඇමතුමක් ලැබුණා, පල්ලියට එන්න එපා ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා කියලා. ඒ වෙද්දී 6.15ට විතර ෆවුස් හෝටලයට ගහන්න පටන් අරන් තිබුණා. ඒ නිසා මම ටිකක් වෙලා ගෙදර රැඳිලා සිටියා. එහෙම ඉන්නකොට 6.45ට විතර ආරංචි වුණා ගල්ලොලුව පැත්තටත් කට්ටියක් ඇවිත් ගහනවා කියලා. 7 පහුවෙද්දීම පල්ලියටත් ගහන්න පටන් අරගෙන තිබුණා. විනාඩි දහයක් විතර පල්ලියට ගහමින් ඉඳලා තිබුණා. අපි ඒ වෙද්දී ආරක්ෂක අංශ හැම එකකටම වගේ කතා කරමින් ඒ ගැන කීවා. ඊට පස්සේ හමුදාවේ අය ඇවිත් පල්ලිය බේර ගත්තා. කණ්ඩායම වෙන තැන්වලට ගිහිල්ලා විනාඩි විසිපහකින් විතර ආපහු ඇවිත් පල්ලියට ගහන්න පටන් අරගෙන තිබුණා. ඒ ගහන වෙලාවේ හමුදාවේ නිලධාරීන් එතැන හිටියා. ඒ අය හිටියත් ගල්වලින් ගහලා පල්ලියට හානි කරලා තිබුණා. පස්සේ එතැනින් එහා තියන කඩවල්වලට ගිනි තියලා විශාල හානි කරලා තියනවා.” ඒ ජුම්මා දේවස්ථානයේ මවුලවිය.

තමන්ට වඩා කනගාටුවට කාරණය නම් පල්ලියට ආරක්ෂාව ලබාදෙන ලෙස සති තුනක් තිස්සේ පොලීසියෙන් ඉල්ලා තිබුණත් එසේ ආරක්ෂාව සැපයීමට කටයුතු නොකිරීම බව මවුලවිවරයා පවසයි. උපදෙස් කමිටු රැස්වීම්වලදීත් තමා පමණක් නොව කතෝලික පල්ලියේ පියතුමාද මෙම පල්ලියට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලුවත් එය ඉටු නොවූ බව ඔහු පවසන්නේ කනගාටුවෙනි. ප්‍රධාන පාරේ නොව පල්ලිවලටත් ආරක්ෂාව ලබා දුන්නද නගරයේ ප්‍රධාන මාර්ගයට යාබදව තිබෙන මෙම පල්ලියට ආරක්ෂාව නොදුන් බවත් ඔහු පැවසුවේය.


“ලංකාවේ එක්තරා සංවිධානයක නියෝජ්‍ය නායකයෙකු වන සිංදු කියන අයෙකුගේ මුහුණක් සීසීටී කැමරාවලින් වගේම තවත් වීඩියෝවල තියනවා. ඒවා අපි පරීක්ෂණ සඳහා ලබා දී තිබෙනවා. ආව සමහර අය මේ ප්‍රදේශයේම අය කියලා ප්‍රදේශවාසීන් කීවා. මෙතැනට විතරක් හාරසීයක විතර පිරිසක් ඇවිත් තිබුණා. දාහකට ආසන්න පිරිසක් නගරයේ මේ විධියට විනාශ කරමින් සැරිසැරූ බවයි කියන්නේ. දැන් මේවා සිදුවෙන්නේ ජාතිවාදී අදහස් අහිංසක මිනිස්සුන්ගේ ඔළුවලට දාලා දේශපාලන වාසි ලබා ගැනීමටයි. පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු කළ ත්‍රස්ත කල්ලිය මුස්ලිම් මිනිසුන්ගේ ඉතා කුඩා කොටසක් විතරයි. ඒක ලංකාවට පැහැදිලි කරලා දීලා තියනවා. එහෙම පැහැදිලි කරලා දීලා තිබියදීත් මේවා තවත් ඉදිරියට යනවා නම් ඒවා සිදුවෙන්නේ තම තමන්ගේ වාසි සඳහා බවයි පෙනෙන්නට තිබෙන්නේ. ලාංකිකයෝ ලෙස සියලුදෙනාටම එකතුවීමට සිදුවෙනවා. මේවා මේ විධියට දිගින් දිගටම සිදුවුවහොත් ලංකාවේ තත්ත්වය මොනවා වේවිද කියලා කියන්න බැහැ. ඒ නිසා ජාති භේද නොබලා සියල්ලෝ එකතු වී ලාංකිකයෝ ලෙස ජීවත්විය යුතුයි.” ඒ මිනුවන්ගොඩ ජුම්මා පල්ලි මවුලවිවරයාය.


පල්ලියට සිදුවූ විනාශයේ ශෝකය බෙදා ගැනීමට ප්‍රදේශයේ ආගමික පූජකවරුද පල්ලිය වෙත පැමිණ මවුලවිවරයා හමුවූහ. බදියුදීන් ඇමතිවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද එහි පැමිණ තොරතුරු විමසා ගියෝය. මිනුවන්ගොඩ බුරුලපිටිය ශාන්ත ඌගෝ මුනිදුන්ගේ දේවස්ථානයේ ඩඞ්ලි සපරමාදු පියතුමා තම අදහස් අප හමුවේ තැබුවේය. “මිනුවන්ගොඩ නගරය කියන්නේ අපි සියලුදෙනා එක්ව ජීවත්වූ ප්‍රදේශයක්. මේ සිදුවීම නිසා අපි තුළ සිත් වේදනාවක් ඇති වුණා. එනිසා ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි දේ මින් මතු සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. අපි සිංහල, මුස්ලිම්, දෙමළ හෝ බර්ගර් වුවත් අපි සියලුදෙනාම එකට ජීවත් වෙන්න ඕනෑ. මේ දේශය අපේ දේශයක් ලෙස සිතා රණ්ඩු සරුවල්වලින් ඈත්ව අපි එකා වගේ ජීවත් වෙමු. මෙවැනි පටු දේශපාලන අදහස් තුළ හිර නොවී අපි සාමකාමී ජනතාවක් ලෙස ජීවත්වීමට වෙර වෑයම් දරමු. එයට සමස්ත ශ්‍රී ලංකා ජනතාවක් ලෙස සියලුදෙනාගේම දායකත්වය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.”

ප.ව. 1.30 පමණ වන විට මිනුවන්ගොඩ නගරය දෙසට නැවතත් කණ්ඩායමක් පැමිණෙන බව හදිසියේම දැනගැනීමට ලැබූ අතර සැණෙකින් යුධ හමුදා සෙබළුන් රැගත් බෆල් රථ පැමිණ පල්ලිය ඉදිරිපිට නතර වූයේය. හමුදා සෙබළු විශාල කණ්ඩායම් ඒ අවට දැඩි රැකවල් දැමූහ. ඒ අතරම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් ද පැමිණ පල්ලියට ඉහළ අහසේ රවුම් ගැසුවේය. එවැනි සූදානමක පසුවන විට කිසිවකු එහි පැමිණියේද නැත. වයඹ පළාතේ ස්ථාන කීපයක සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවී මෙම සිද්ධිවලට සම්බන්ධව මැයි 14 වන විට 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර, මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ, නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් යන අය ද එදින අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් පෙනී යන්නේ මේ වන විට රටේ ඇති වී තිබෙන තත්ත්වයට ගතයුතු සෘජු තීරණ ගැනීමට වගකිවයුතු පාර්ශ්වයන් මැදිහත් නොවන බවය. කොටින්ම දැන් රටේ ආණ්ඩුවක් නැති ගාණය. අගමැති සහ ජනපති දෙපැත්තක කඹ අදිමින් සිටින්නෝය. මේ සිදුවීම් වන විට ජනපති රටේත් නැත. සිටියත් සිදුවන සෙතක් පෙනෙන්නට ද නැත. මේ අතර රටේ සියලුම අංශ පාහේ දැන් තිබෙන්නේ අඩාල තත්ත්වයකය. ආරක්ෂාව තහවුරු කළ නොහැකි තත්ත්වයක අධ්‍යාපනය ද එසේය. එහෙත් රට තිබෙන බැරෑරුම් තත්ත්වයෙහි වගකීම භාර ගෙන ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් ඇත්තේම නැති ගාණය. ඇතැම් දේශපාලනඥයන් සිදුකරන බව පෙනෙන්නේ ද තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීම සහ අත්අඩංගුවට පත්වන්නන් මුදා ගැනීමට කටයුතු සැලසීමය. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂාව තිබෙන්නේ අස්ථාවර අඩියක වුවත් ඒ ත්‍රස්ත ක්‍රියා නිසා නොව ඉන් පසු රට තුළ ඇවිලෙමින් හා අවුලවමින් තිබෙන ජාතිවාදී ගිනි දැල් නිසාය. එහෙත් එම ගිනිදැල් ඇවිලවීමේ පිටුපසද විවිධ අරමුණු තිබෙන බව පෙනුණත් අතීතයේ සිදුවූවක් මෙන්ම දැන් ඊට බිලිවෙමින් සිටින්නේ මේ රටේ අහිංසක මිනිසුන් බව නම් පැහැදිලිය.

- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ( රාවය )