ජාතික ගීය දෙමළෙන් ගැයීම හා වෙඩිවර්ධනගේ කිඹුල් කඳුළු

ජාතික ගීය දෙමළෙන් ගැයීම හා වෙඩිවර්ධනගේ කිඹුල් කඳුළු

6 February 2016 11:45 pm

ජාතික කොඩිය, ජාතික ගීය පමණක් නො ව ශ්‍රී ලාංකික ජාතිය ද යනු මිනිස් සමාජයට එතරම් වැදගත් සාධක නො වේ යයි කියන්නට පුළුවන. මන්ද, ශ්‍රී ලාංකික ජාතිය යනු අහෝසි වී යා යුතු දෙයකි. ලෝකයේ පැවතිය යුත්තේ ජාතිවාදයන්ගෙන් තොර එක් මිනිස් සමාජයකි. සමාජවාදීන්ගේ ස්ථාවරය විය යුත්තේ එයයි.

එහෙත්, එය තව බොහෝ දුරස්තර ය. මන්ද, මිනිස් සමාජය තුළ බෙදීම සාමාන්‍යකරණය වී තිබේ. මාක්ස්වාදීන්, වාමාංශිකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා අයටවත් ජාතිවාදයෙන් පිටට පැමිණ ලෝකය දෙස බලන්නට හැකියාවක් නැත. ඔවුන්ට තවමත් වැදගත් වන්නේ ශ්රී ලංකාව හා ඊලමයි. අපි ගොවිගම, අපි කරාව යයි කියන්නට ලැජ්ජාව තිබුණත්, අපි දකුණෙ, අපි ආනන්දෙ, අපි පිරිමි, අපි ගෑනු එක්ක විතරක් සංසර්ගයෙ යෙදෙන අය ආදී වශයෙන් තමන් හඳුන්වා ගන්නට නම් සමාජවාදීහු පවා පෙළඹෙති. මේවා සිංහල, දෙමළ වර්ගවාදයන්ටත් වඩා පසුගාමී බව ඔවුන්ට තේරෙන්නේ නැත. මිනිසා තුළ ඇති රළවැසි හැඟීම් නිසා එවැනි ගොනුවීම් සිදු විය හැකි ය. එහෙත්, වාමාංශිකයන් ඒවා ප්‍රවර්ධනය නො කළ යුතු ය.

මංජුල වෙඩිවර්ධනට ඇති ප්‍රශ්නය වනාහි ශ්‍රී ලාංකික ජාතිය යනු සිංහල මූලික එකක් වීමයි. එය ඇත්තකි. එහෙයින් ශ්‍රී ලංකා මාතා ගීය දෙමළෙන් ගැයීම ඔහුට ජාතික හෘදය සාක්ෂියක් නැති තැනක සිදු වන වැඩක් නැති වැඩකි.

මේ ‘ජාතික' හෘදය සාක්ෂිය කුමක් ද යන්න ඔහු එම ලිපියේ පැහැදිලි කර නැත. ඔහු බලාපොරොත්තු වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා දෙමළෙන් තමන්ගේ ජාතික ගීයක් ගයාගෙන වෙනම රාජ්‍යයක් හදාගෙන සිටීම විය හැකි ය. ඔහු අපෙන් බලාපොරොත්තු වන ජාතික හෘදය සාක්ෂිය යනු එයට උපකාර කිරීම යයි මම සිතමි. මෙය මගේ හිතලුවක් නො ව මංජුල වෙඩිවර්ධනගේ ගුරුවරයා වන රෝහිත භාෂණ සමග අතිශය දීර්ඝ දේශපාලන සංවාද ක්‍රියාවලියක් ඔස්සේ අවබෝධ කර ගත් දෙයකි. එම දුෂ්කර වකවානුවේ මංජුල වෙඩිවර්ධන එම සංවාදය තුළ සිටියේ නැත. ඔහු කොහි සිටියේදැයි නො ලියන්නේ වීරයකු වන්නට ඔහුට ඇති බොළඳ ආසාවට ඉඩ දෙනු පිණිස ය. (අප තවමත් ඉදිරියට ගෙන යමින් සිටින්නේ එම දේශපාලන සංවාදය ම බව ද කිව යුතු ය.)

දෙමළ ජනයා වෙනුවෙන් අපේක්ෂා කරන නිදහස ම මුස්ලිම් ජනයාටත් දෙන්නට මංජුල, භාෂණ හෝ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය සූදානම්දැයි මම නො දනිමි. එහෙත්, දෙමළ ජාතිවාදයේ පීතෘවරුන් වන කොටි සංවිධානය නම් එයට කැමති නැත. ඊලාම් රාජ්‍යයක් තුළ මුස්ලිම් ජාතියක් පිළිගන්නට ඊලාම් ජාතිවාදීන් අකැමැති වන්නේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජාතිය පිළි ගැනීමට සිංහල ජාතිකයන් අකැමැති වන ආකාරයට ම ය.

මාක්ස්වාදීන් බොහෝ දෙනෙකුගේ ජාත්‍යන්තරවාදයේ සීමාව ඉන්දියන් සාගරයෙන් සමාප්ත වේ. ආර්ථික ජාතිවාදය පියමං කර ඉන්දියාව සමග එක් වීමේ අභියෝගයට මුහුණ දිය යුතු බව ද, එය කරන්නට ලෝකය සමාජවාදී වන තුරු බලා නො සිටිය යුතු බව ද අපි කීවෙමු. ඒ ගැන බොහෝ වාමාංශිකයන්ගේ කටේ පිට්ටු ය.

සමාජවාදීන්ගේ දේශපාලනය විය යුත්තේ ජාතිවාදයන් ප්‍රවර්ධනය කරන එක නො වේ. ඊනියා ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ද නො වේ. සමාජවාදීන් කටයුතු කළ යුත්තේ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනගන්නට ය.

ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගුවේ සිංහල මූලිකව ය. 1948දී නිදහස ලැබුණේ එසේ ගොඩනගන ලද සිංහල මූලික ශ්‍රී ලාංකික ජාතියකට ය. සිංහල ජාතිය ද උඩරට, පහතරට, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් එක්සේසත් කර ගනිමින් ගොඩනැගුණේ ශ්‍රී ලංකා රාජ්‍යයත් සමගයි. ඒ වන විට දෙමළ ජනයා ජාතියක් ලෙස සංවිධානය වී නො සිටිය හ. ඔවුන් යාපනය, මඩකලපුව, මන්නාරම, වන්නි හා ඉන්දියානු දෙමළ ලෙස ද කුල පදනමින් ද දැඩි ලෙස බෙදී සිටිය හ. දෙමළ ජාතිය ගොඩනැගීමෙහිදී තීරණාත්මක වැඩ කොටස කළේ කොටි සංවිධානයයි. ප්‍රාදේශීයවාදයන් අතික්‍රමණය කරමින් එක් දෙමළ ජාතියක් සංවිධානය වූයේ දෙමළ අරගලය තුළයි. එහෙත්, සිංහල දේශපාලන නායකයන් අද දක්වා ම උත්සාහ කරන්නේ එහි සිංහල මූලික ස්වභාවය රැක ගන්නට ය. දෙමළ ජාතිවාදය විසින් පවා මුස්ලිම් ජනයාට පිරිනමනු ලැබුවේ යටත් කර ගැනීමයි. වතුකරයේ ජනයා දෙමළ ජාතිවාදයෙන් ද පිටමං කර දමා ඇත.

සිංහල ජනයාට තවමත් උවමනා ශ්රී ලාංකික රාජ්‍යයේ සිංහල මූලිකත්වය තුළ දෙමළ ජනයා යටත් කර ගන්නට ය. දෙමළ ජාතිවාදී කැරැල්ල එයට එරෙහිව ගසන ලද එකකි.

මංජුල වෙඩිවර්ධන හා ඔහුගේ ගුරුවරයා වන රෝහිත භාෂණ දෙමළ ජාතිවාදය ආදරෙන් වැළඳ ගන්නේ එය පීඩිත ජාතිවාදයක් ය යන පදනමේ සිට ය. එහෙත්, සමාන පීඩිත ජාතිවාදයක් වන මුස්ලිම් ජාතිවාදය ගැන ඔවුන් නිහඬ ය. හේතුව, ඒ ගැන කතා කළහොත් ඔවුන්ගේ ඊලාම්වාදී අනුග්රාහකයන් අමනාප වන නිසා ය. (ජීවන මාර්ග හා දේශපාලනය පටලවා නො ගත යුතු ය.)

මෙම සියලු සංදර්භයන් තුළ ජාතික ප්‍රශ්නයට ඔවුන් දන්නා විසඳුම දෙමළ ඊලමයි. එහෙත්, දෙමළ ඊලම යනු විසඳුමක් නො ව ප්‍රශ්නය ම විස්තාරණය කිරීමකි.

ජාතික ප්‍රශ්නය සම්බන්ධ භාෂණවාදය හෙවත්, සිංහල වාමාංශිකයන් දෙමළ ජාතිවාදයේ සරණ යාම පිටු දැකිය යුතු තත්වයකි.

වාමාංශිකයන්, මාක්ස්වාදීන් දෙමළ ජාතිවාදය සරණ යාමෙන් කිසිවක් සිදු වන්නේ නැත. සමාජවාදීන් වැඩ කළ යුත්තේ ජාතිවාදයන් මත පදනම්ව නො ව, වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම වෙනුවෙනි.

වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් යනු මොනවා ද යන්න නො අසන්න. මන්ද, ඒවා වනාහි පුද්ගලයන් විසින් කරනු ලබන පරිකල්පනයන් නොව, ජනතාව හා ඉතිහාසය විසින් ගොඩනගනු ලබන ඒවා ය. ඉතිහාසය පුරා එය සිදු වී තිබේ. ඇතැම් විට එය සිදු වී තිබෙන්නේ ප්‍රචණ්ඩව ය. අපට කළ හැකි එක ම දෙය මෙම කාර්යයට මැදිහත් වීම පමණි.

ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ලෙස හඳුන්වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකව තිබේ. එහි අරමුණ වන්නේ පවත්නා ශ්‍රී ලංකාවේ සිංහල මූලිකත්වය පිටු දැක දෙමළ, මුස්ලිම් ජනයාට සාධාරණ, සමාන අවස්ථා ලබා දීමයි. ජාතික ගීය දෙමළෙන් ගැයීම නම් අභියෝගාත්මක කාර්යයට ආණ්ඩුව අත ගසන්නේ මෙම ව්‍යාපෘතිය තුළයි.

ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම කෙසේ වෙතත්, ලාංකික ජාතිය නැවත හැඩගැසීම යනු වාමාංශිකයන්ට ප්‍රතික්ෂේප කළ හැකි තත්වයක් නො වේ. එහෙත්, එම කාර්යය ඉහත කී ව්‍යාපෘතියත් සමග යම් ආකාරවලින් මිශ්‍ර වී තිබේ. කුමන සංදර්භය තුළ වුව ශ්‍රී ලාංකික ජාතිය නැවත හැඩගැසීමට ඉවහල් වන කතිකාවන් ඉතා වැදගත් ය. මේ මොහොතේ සිදු වෙමින් පවතිනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාව වැදගත් සංසිද්ධියක් වන්නේ එහෙයිනි.

රෝහිත භාෂණලා සිංහල ජාතිවාදීන් විසින් ඝාතනය කරන ලද දෙමළ ජාතිවාදය වෙනුවෙන් කුලියට ඇඬීම අතහැර අධ්‍යතන දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු ය. අවසන් ජාතිවාදී දෙමළ ඊලාම් යුද්ධය යනු සිංහල මෙන් ම දෙමළ ජාතිවාදීන් ද හවුලේ තෝරා ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බව අපි මීට පෙර බොහෝ වර පැහැදිලි කළෙමු. එහි ජයගත් පාර්ශ්වය උදාන ගී ගැයීම හා පරාජිත මංජුල වෙඩිවර්ධනලා ඉච්ඡා භංගත්වය කවියට නැගීම යනු එක ම කාසියේ දෙපැත්ත ය. රතිඤ්ඤා පත්තු කිරීම මෙන් ම කිඹුල් කඳුළු බීමත් එක හා සමාන ප්‍රචණ්ඩ දේශපාලනයන් දෙකක පැතිකඩ බව අප තේරුම් ගත යුතු ය.

ආනන්ද සමරකෝන් විසින් ලියා, නක්ෂත්‍රකාරයන් විසින් සංශෝධනය කරන ලද නමෝ නමෝ මාතා නම් සාමාන්‍ය අහිංසක සිංදුව දෙමළෙන් ගැයීම පරාජිත ඊලාම් යුද්ධයේ ඉච්ඡා භංගත්වය ගැන කවි ලියනවාට වඩා දේශපාලනික වශයෙන් ඉදිරිගාමී වන්නේ මෙම සංදර්භය තුළ ය. මන්ද, එමගින් එම ගීය සිංහල ජාතිවාදී පදනමින් අර්ථකථනය කළවුන්ට අභියෝග කරන හෙයිනි.

 

-http://www.w3lanka.com/2016/02/blog-post_5.html