හෝමෝ සේපියන් සහ ගෑස්

හෝමෝ සේපියන් සහ ගෑස්

8 March 2016 03:58 am

හුදී ජනතාව වන අපේ දවස ගෙවෙන්නේ උදේ ඉඳන් රෑ වෙනතුරු කාගේ හරි ගෑස් බලමිනි. බස් එකට නැග්ගොත් රියැදුරු මහතාගේ කොන්දොස්තර මහතාගේත් සද්ද ය. පාක් එකට ගියාම පොදු තැන් වලට ගියාම සෙකියුරිටි ගාඩ් මහතාගේ සද්ද ය. බොහොමයක් කන්තෝරු වලට ගියාම ඒ මහතුන් හා නෝනලාගේ සද්ද ය. හේතුව එයාලාට බලය පෙන්විය හැකි එකම කට්ටිය අපි වීමය. එයාලගේ බල සීමාව තුළ සිංහනාද කිරීම ඒ අයගේ අයිතියක් ලෙස සැලකෙයි.

නිදහස් චතුරශ්‍රය තියා දියත උයනේ දී ත් බෑග් චෙක් කරන්නට එන ආරක්ෂක නිළධාරී මහත්ම මහත්මීන් සිටී.එය දැනුත් මේ මොහොතේත් සිද්ධ වේ. හුදී ජනතාව වන අපට සිකියුරුටි මහත්වරුන් හෝ ෆෝසස්වල විරුවන් ‘තග දමන‘ විට කරන්නට හැකි උපරිමය විනාඩියක් දෙකක් තර්ක කිරීම ය. ඊට පසු කළ හැක්කේ අන්තර්ජාලයේ හෝ පත්තරයකට ලියා බැණ වැදීම ය.නැත්නම් විරෝධතා පැවැත්වීමය. ඒ පාර්ලිමන්ට් එකේ ප්‍රශ්න කරන්නට හෝ අමාත්‍යංශ ලේකම්ලාට කෝල් කරන්නට අපට බැරි නිසාය. ඒ මට්ටමට යාමට හුදී ජනයාට ඇක්සස් නැති නිසාය.
ජනතාව මහජන නියෝජිතයින් පත් කරන්නේ ඒකට ය. අපට යන්න බැරි තැනට ගොස් අපි වෙනුවෙන් ‘පොලිසි ඩිසිෂන්ස් ‘ ගන්නය. ඒත් ඒ අයටත් කරන්න පුලුවන් එකම දෙය අපේ පන්තියේ සිකියුරිටි ගාඩ් මහත්වරුන් සමග තර්ක කිරීම සහ ඒ අය රස්සාවෙන් පහ කිරීම නම් එය හරිම කණගාටුදායක තත්ත්වයකි. හර්ෂ ඇමතිතුමා අපි කරන ඒවා කරන්න ඕනෑ නැත. එයාලට ඇත්තේ මේ ප්‍රශ්න අදාළ තැන්වල මතු කොට ඉහළ මට්ටමින් කතා කර විසඳා දීම ය. ඒ වෙනුවට එයා අපි කරන විදිහට ම ගාඩ්ලා සමග කෑ ගසාගෙන අන්තමේදී බලය යොදා උන් ගෙදර යවයි. බලය අවශ්‍ය එතන දී නොවන බව පමණක් පැහැදිළිය.

කොහොමත් පොදු තැන් යනු ගෙදර නොවේ. ඒවායේ යම් පිළිවෙලක් තිබිය යුතුය. ප්‍රශ්නය බලය ක්‍රියාත්මක කරන අය ඒ පිළිවෙලේ සීමාව ලකුණු කරන විදිහයි. බලය ක්‍රියාවේ යොදවන්නන්ට විනීත බව අවිනීත බවට හැරවීම ඇරඹෙන්නේ දෙන්නෙක් ළඟ පාතින් ඇවිදගෙන යන තැනිනි. ප්‍රශ්නය එතනය. හෝමෝ සේපියන් යනු සහජයෙන් සාමාජයීය සත්ත්වයෙකි. ඌ රංචු ගැසීම සෙකියුරිටි ෆර්ම්ස් දමා හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත වැනි ඒවා දමා වැළැක්විය නොහැකිය.

අමතක නොකළ යුතු දෙය නම්, පුරවැසියන් සිටිය යුතු රටක් රැඳවියන් සිටින එළිමහන් කඳවුරක් බවට රූපාන්තරණය කිරීමේ ප්‍රථිඵල එක රැයෙන් අවලංගු වන්නේ නැති බවයි.  මේ තැනින් තැන ලාවා ගලන්නේ අප පය ගසා සිටින අයිතිවාසිතම් අහෝසි කළ  අවනීතියේ ගිනිකන්දෙන් ය.
~ උපුටා ගැනීම මාලතී කල්පනා අම්බ්‍රෝස්ගේ ෆේස්බුක් බිත්තියෙනි.