විවාහය - ගෝත්‍රවාදයෙන් ඔබ්බට - Lanka News Web (LNW)

විවාහය - ගෝත්‍රවාදයෙන් ඔබ්බට

ලංකාව කියන දූපත ඇතුළේ සිංහල කතා කරන සමාජය තුළ විවාහය පිළිබඳ කුමක් කතා කළත් එය පිළුණු වුණු මාතෘකාවක්. ඇයි තාමත් විවාහයේදී කුලය බලන්නේ? කේන්දර ගළපන්නේ මොකටද? ආදරය කර විවාහ වීම හොඳද නැතිනම් යෝජිත විවාහ සාර්ථකද? සමලිංගික විවාහවලට අනුමැතිය දීම හොඳද? මේ ආදි වශයෙන් අනේකප්‍රකාර මාතෘකා ඕනෑ තරම් සයිබර් අවකාශයේ කතා කර ඇති. මේ මොහොතේත් කතා කෙරෙනවා ඇති. හැබැයි මේ මාතෘකා පිළුණු වුණත් නැවත නැවත කරළියට ගෙන ආ යුතුයි කියායි මා සිතන්නේ. ඇයිද යත්, අදටත් ග්‍රහයන්ට බයේ විවාහ නවත්වන, කුලයෙන් අඩුයි කියා විවාහ යෝජනා ප්‍රතික්ෂේප වන, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන රටක් මෙය. මෑතකදී සිදු වුණු හදකම්පා කරන අත්දැකීම් කීපයක් නිසා මේ ‘විවාහය’ කියන මාතෘකාව නැවත ඇද ගන්න ඕනෑ කියන හැඟීම සෑහෙන කාලයක් මගේ හිතේ තිබුණා. මේ ලියන්නේ ඒ නිසා. මං ඇත්තටම අද කතා කරන්නේ, සිංහල කතා කරන ලාංකේය සමාජය තුළ, ‘විවාහ වන්නේ ඇයිද’ යන ප්‍රශ්නය ගැනයි.

 

ඇත්තටම ඇයි අප විවාහ වෙන්නේ? මං දන්නවා, බොහෝ අයට බොහෝ පිළිතුරු තියෙනවා. ආදරය, කැපවීම, ළෙන්ගතු බව, රැක වරණය, ඒ වගේ තව ගොඩක් පිළිතුරු කල් තියා ලැයිස්තු ගත කරලා තියෙනවා, මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. මේ ලිපිය කියවන අය අතරත් මං වගේ කට කැඩිච්චි එකෙක් හිටියොත්, පැනපු ගමන් කියාවි ‘මං නං විවාහ වෙන්නේ අහවල් වැඩේ කරන්න’ කියලා. ඒ මොන වැඩේද කියලා මං අටුවා ටීකා සපයන්න ‍ඕනේ නැහැනේ. හොඳයි, මේ කල්තියා සූදානම් කළ පිළිතුරුයි, කට කැඩිච්ච පිළිතුරුයි මොහොතකට පසෙකින් තබමු. මං ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරන්නම්. අපි මොහොතකට හිතමු, පෝරුවේ නග්ගලා හෝ පල්ලියේදී හෝ සිදු කරන විවාහ සම්මතයන්වත් පොතේ අත්සන් කරන නීතිමය රාමුවක් ඇති විවාහ ක්‍රමයක්වත් නැහැයි කියා. දැන් මොකද හිතන්නේ, ගෑනුන් මිනිසුන් එකට ජීවත් වෙන්නේ නැතිද? අර මුලින් කී, ආදරය, කැපවීම, රැකවරණය වගේ දේවල් ඇති වෙන්නේ නැතිද? ලිංගික ජීවිතයක් ගත කරන්නේ නැතිද? ඉතින් දැන් මං ආයෙත් අහනවා, ‘විවාහය’ යන සාධකය ඇතත් නැතත් මෙබඳු සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් සියල්ල සිදු වෙනවා නම්, මොකටද මේ විවාහ වෙන්නේ? හරි එහෙනම් දැන් පොර ටෝක්ස් දෙන්නේ නැතිව අපි ඇත්ත කතා කරමු. 

ලංකාව කියන රට ඇතුළේ දූපත ඇතුළේ අදටත් අවු. 35ක 40ක කන්‍යාවක් සොයා ගන්න බැරි නැහැනේ. ඇත්ත ඒකනේ. අදටත් මේ ‘රටේ’ අතිමහත් බහුතරයක් තමන්ගේ පළමු ලිංගික අත්දැකීම විඳ ගන්නේ විවාහයෙන් පසුව. වසය අවු. 12-14දී පමණ මුල් වතාවට ස්වයං වින්දනයේ යෙදුණ තැන පටන් දිගටම ඔය දවස එනකම් ඇඟිලි ගණින එක නෙවෙයිද බහුතරක් දෙනා ජීවත් කරවන සාධකය? ඉතින් මේ අවශ්‍යතාව ඉටු කර ගන්න ‘සමාජ සම්මතයට’ පිටින් ක්‍රියා කරන්න තියෙන බය නිසා තමයි, බොහෝ දෙනා විවාහ වෙන්නේ. කොටින්ම, විවාහය කියන්නේ සමාජ සම්මතයට යටත්ව ලිංගික ජීවිතයක් ගත කරන්න දරන වෑයමක්. ඉතින් එහි ප්‍රතිඵලය කුමක්ද? තමන් අවුරුදු ගාණක් තිස්සේ ෆැන්ටසියක් කර ගෙන සිටි ලිංගික වින්දනය තමන්ට ලැබුණාම, ‘අයියෝ..’ මේකද මං මෙච්චර කාලයක් ෆැන්ටසික් කර ගෙන හිටියේ කියා හිතෙනවා. නැහැ ඒක නෙවේ, වෙන එකක් වෙන්න ඇති කියා නැවතත් හොයනවා, ලැකාන්ගේ ‘පොඩි එක’ වගේ. තමන්ට සෑහෙන පමණට එය ලැබුණාමත් දැන් මේ ඇති, වෙන එකක් දිහා බලමු කියා ආයෙත් හොයනවා. මේ නිසා ගොඩාත් පවුල් දෙදරා යනවා. මේ තත්වය නිසා බොහෝ විට බැට කන්නේ, කාන්තා පාර්ශ්වය. විවාහය කැඩී ගෙදර ආ ගැහැනියක් ලෙස සමාජය ඇය දෙස අවඥාවෙන් බලනවා. බොහෝ විට දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු සමග තරුණ වයසේදීම තනි වෙනවා. දික්කසාද නීතිය කෙතරම් දැඩි වුවත්, සමාජ සම්මතයන් කොතරම් බලපෑමක් එල්ල කළත් අදටත් පවුල් අවුල් වී දෙදරා යාම්, තරුණ ගෑනු ළමයින්ගේ ජීවිත විනාශ වීම්, දරුවන් අනාථ වීම් ඉවරයක් නැහැ. මේ සියල්ලට හේතුව, ‘විවාහය’ යනු ලිංගික ජීවිතයක් ගත කිරීමට ලැබෙන නීතිමය අනුබලයක්ය යන ගෝත්‍රවාදී හැඟීම. 

ආදරය 

අපි මේ ප්‍රශ්නය වෙනස් විදිහකට බලමු. හිතන්න සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් ගැන. මං මේ කියන්නේ, හදවතින් දික්කසාද වෙලා ලෝකෙට පේන්න ‘අපි හරිම ෂෝක්’ කියන පවුල් ගැන නෙවේ. ඇත්තටම ඔවුනොවුන් දැන හඳුනා ගෙන, එකෙකා වෙනුවෙන් කැප වීම් කරන, තුන් හිතින්ම එකෙක් නැතිනම් අනෙකාටත් ජීවත් වෙන්න බැහැ කියා හිතෙන පවුල් ජීවිත ගැන. ඇත්තටම එහෙම ජීවිතයක් ගත කරන දෙන්නෙක් එම ජීවිතය ගත කරන්නේ විවාහය කියන සමාජ සම්මතයට බයේද එහෙම නැතිනම් නීතියට බයේද? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. ඇත්තටම, එවැනි සැබෑ ආදරයක් ඇතිව ජීවත් වන දෙන්නෙකු අතරට නීතිය මැදිහත් වී ‘ඔබ දෙදෙනා විවාහ වී ඇති බව නීතිය පිළිගන්නේ නැහැ, අද සිට ඔබ දෙදෙනා වෙනම සිටිය යුතුයි’ කියා කීවත් එම ආදරණීය යුවල වෙන් වෙලා ජීවත් වෙයි කියා සිතන්න අමාරුයි. එහෙනම් කතා දෙකක් නැහැ, සැබෑ ආදරය කරන දෙදෙනෙකුට ජීවිත කාලය පුරා එකට ජීවත් වීමට, ‘විවාහය’ කියන සාධකය අවශ්‍ය නැහැ. නීති ‍පොතක අත්සන් කර විවාහ වීම සුද්දා හඳුන්වා දෙන්නට පෙරත් ඉන් පසුව මෑතක් වන තුරුත් පෝරුවේ නැඟලා අෂ්ටක කියාලාත් නැති ගෑනුන් මිනිසුන් කී දාහක මේ එටේ එකට අඹුසැමියන් සේ ජීවත් වෙලා තියෙනවාද? ඒ අය බැඳුණේ ‘ආදරයෙන්’ මිස සමාජ සම්මත විවාහයෙන් හෝ නීත්‍යනුකූල විවාහයෙන් නෙවේ. ආදරය කරන අයට විවාහය අවශ්‍ය නැතිනම් කාටද විවාහය ඕනේ? 

ලිංගික අධ්‍යාපනය 

මේ ප්‍රශ්නයට ලැබෙන සරලම පිළිතුරු මෙහෙමයි. නිදහස් ලිංගික ජීවිත ගත කරන්න අවකාශ සලසා දුන්නහොත් ‘ගෑනුන්ව බඩ කරල’ පිරිමි පැනලා යත්. නීතියක් තිබ්බොත් මේ තත්වය පාලනය වෙයි. මේකට උත්තර දෙන්න කලින් මං පුංචි කතාවක් කියන්නම්. 

ඉනෝකා සත්‍යාංගනී, ‘සුළං කිරිල්ලී’ හදාපු වෙලාවේ ලංකාවේ දේශප්‍රේමීන් නැට්ට *කේ ගහගෙන කෑගහුවා, මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ලංකාවේ හමුදාව ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත් කරන්නයි කියා. (දූපත් වැසියන් ‘ජාත්‍යන්තරය’ වටහා ගන්න ආකාරය ගැන මට පොඩි විසංවාදයකුත් තියෙන නමුත් දැනට එය පසෙකින් තබමු). මේ චිත්‍රපටය බැලූ කාලෝ ෆොන්සේකා පැහැදිලි විචාරයක් කරමින් කියා සිටියේ මේ චිත්‍රපටයෙන් පෙනෙන්නේ ලංකාවේ ‘ගාමන්ට්’ කෙල්ලන් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා තිබුණා නම් අවශ්‍ය අවස්ථාවලදී උපත් පාලනක්‍රම භාවිතය ගැන දැන සිටියා නම් මේ චිත්‍රපටයෙන් පෙන්වන්නාවූ ගැටලුකාරී සමාජ අර්බුධය ඇති නොවන බවයි. සරලවම කිව්වොත් එදා කොණ්ඩමයක් භාවිත කරන්න පෙලඹුණා නම් ඉනෝකාට හදන්න චිත්‍රපට කතාවක් නැතිව යනවා. ඒ විතරක් නෙවේ අශෝක හඳගමට ‘විදූ’ හදන්නත් බැරි වෙනවා. ඇත්තටම ‘කොණ්ඩමය’ කියන්නේ මහ බලවත් සම්පතක්‍. ඒකට පුළුවන් ලංකාවේ ප්‍රතිභාපූර්ණ කලාකරුන් චිත්‍රපටවේදීන් ගණනාවකගේම ප්‍රතිභාව බිමට පාත්කරන්න. 

නිදහස් ලිංගික ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් දීම නොයෙකුත් අර්බුධ ඇති කරන බව පෙන්වමින් සයිබර් අවකාශයේ තප්පුලන බොහෝ තර්කවලටත් උපත් පාලනක්‍රම කියන්නේ හොඳ විසඳුමක්. 

ලිංගික නිදහස 

ඇත්තටම ආදරය කරන ගැහැනුමිනිසුන්ට මැරෙන කල් සතුටින් එකට ජීවත් වෙන්න විවාහයක් අවශ්‍ය නැහැ. විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා ඇති සමාජයක නිදහස් ලිංගික ජීවිතයකට බාදාවකුත් නැහැ. එහෙම වුණත් අපේ රටේ නිදහස් ලිංගික ජීවිතයකට මඟ හෙළි වෙනවා යන කරුණ ඇහෙන කොටම ඇඟ මස සලිත වෙලා, කකුල් හිරි වැටිලා, පොඩි කලන්තේ ගතියකුත් ඇති වන පිරිසක් ඉන්නවා. එසේ වන්නේ අන් කිසිවක් නිසා නොවේ, යම් පුද්ගලයෙකුගේ ‘ලිංගික ජීවිතය’ ඇයගේ හෝ ඔහුගේ හෝ චරිත ස්වභාවය මැන බලන නිර්ණායකයක් ලෙස මේ අය පිළිගන්න නිසා. 

අපි නිකමට හිතමු, එක්තරා කාන්තාවක් තීරණය කරනවා, විවාහ නොවී ජීවිත කාලයම තනිකඩව සිටීමට. ඇයට ගෙවල්දොරවල් ආදි උපභෝගපරිභෝග සම්පත් තියෙන බවත් හිතන්න. ඉතින් ඇයට කිසිදු අවශ්‍යතාවක් නැහැ පිරිමියෙකුගේ රැකවරණය. අනෙක් අතට, ඇය විවාහ නොවී සිටීමෙන් කිසිසේත්ම ඇය බ්‍රහ්මචාරී විය යුතු බව කියැවෙන්නේ නැහැ. මේ නිසා, ඇය තීරණය කරනවා, තමන්ට ඉතා හිතවත් විශ්වාසවන්ත පිරිමි එක් අයෙකු හෝ කීප දෙනෙකු සමග ලිංගික ඇසුරක් පවත්වා ගෙන යන්න. ඇයට මෙම ජීවිතය සමාජය ඉදිරියේ විවෘතව පවත්වා ගෙන යා හැකිද? ඇය එබඳු කාන්තාවක් බව දැන ගත්තාම ලංකාවේ සමාජය ඇයව පිළිගන්නේ කෙසේද? මෙය තමා ගෝත්‍රවාදයේ ඇති ප්‍රධානම ගැටලුව. ‘හරිය, හොඳය’ ආදි වශයෙන් සකස් කර ගන්නා කිසියම් රාමුවක් තුළ සියලු දෙනාම ජීවත්විය යුතුයි යන හැඟීම මිනිසුන් විසින් නිර්මාණය කර ගත් අතාර්කික සංකල්පයක්. 

මේ ලියන මා එක් බිරිඳක් පමණක් ඇසුරු කරන අයෙක්. එය එසේ වූ පමණින් ලෝකයේ ඇති හොඳම ලිංගික චර්යාව එය බවත් සියලු දෙනාම එය අනුගමනය කළ යුතු බවත් කියන්න ඇත්තටම මට අයිතියක් නැහැ. මෙය අනෙක් අතටත් එහෙමම තමයි. කිසියම් ගැහැනියක විසින් පිරිමින් කීපදෙනෙකු සමග ලිංගික ඇසුරක් පවත්වාගෙන යමින් එය තමයි හොඳම ලිංගික ජීවිතය කියා අනෙක් අයව එතැනට පොලඹවන්න ඇයට අයිතියක් නැහැ. කොටින්ම, තම තමන්ගේ ලිංගික ජීවිතය කියන්නේ තමන් ඉතා බුද්ධිමත්ව, සාධාරණ හේතූන් මත ගත් පෞද්ගලික තීරණයක් මිසක විශ්වව්‍යාපී නීතියක් නොවේ. එය එසේ විය යුතුද නැත. මේ නිසා, අසවලා එක් බිරිඳක් ඇසුරු කරන අයෙකුය අසවලා බිරින්දෑවරුන් තුන් දෙනෙකු සිටින අයෙකුය ආදි වශයෙන් ඇගයීම් ලබා දීම කිසිදු පදනමක් නැති කිසිදු වැදැගැම්මකට නැති කටයුත්තක්. 

නිදහස් ලිංගික ජීවිතයකට අත උස්සන්න නොකැමැති තවත් පිරිමි කොට්ටාසයක් ඉන්නවා. ඒ තමයි කන්‍යපටල භීතිකාවෙන් පෙළෙන අය. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න තරම් ලංකාවේ ගැහුනු තවමත් ශක්තිමත් නැහැ. ඔවුන් එකට එකතු වී මෙයට හොඳ පිළිතුරක් නුදුරේදීම ලබා දිය යුතු වෙනවා. එහෙත් මෙතනදී මෙපමණක් කීම සෑහේ යයි සිතෙනවා. සැමියා මිය යාම නිසා හෝ අතහැරදැමීම නිසා හෝ දරුවෙකු හෝ කීපදෙනෙකු සමග තනි වී සිටින කාන්තාවක විවාහ කර ගෙන අර දරුවාටත්/දරුවන්ටත් ආදරණීය තාත්තා කෙනෙකු වී ඒ ගැහැනියවත් ආදරයෙන් බලා ගන්නා පිරිමින්ව මං දැක තිබෙනවා. කන්‍යාපටල භීතිකාවෙන් පෙළෙන පිරි‍මියෙකුට දෙන්න පුළුවන් හොඳම උත්තරය එබඳු පිරිමියෙකුව පෙන්වා දීමයි. 

නිදහස් ලිංගික ජීවිතය හා වනචාරී බව 

මා මෙතෙක් කී කරුණු ලේ කෝප කරගෙන කියවූවා නම් අනිවාර්යයෙන්ම මට ප්‍රතිචාර දැක්වීමේදී නිදහස් ලිංගික ජීවිතය මඟින් වනචාරී බවට අත වනන බව කීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳවත් ලියන්නට ඕනෑ. නිදහස් ලිංගික ජීවිතය යනු බුද්ධිමත්ව ගන්නා තීරණයක් මිසක කිසිසේත්ම වනචාරී බව නොවේ. 

අපි මෙහෙම හිතමු. කිසියම් පිරිමියෙකු, දේශපාලන බලය උපයෝගී කරගෙන, තමන්ගේ නිලය, තනතුර උපයෝගී කරගෙන ගැහැනියකට අයතා බලපෑම් එල්ල කරමින් ලිංගික ඇසුරක් ලබන්නට හිතනවා කියා, එතැන ඇත්තේ බලාත්කාරයක්. උපාධිය ගොඩ දාලා දෙන්න ශිෂ්‍යාවට කාමරයට කතා කරන ලේක්චරයාද පඩි වැඩි කරන්න හෝ වෙනත් වරප්‍රසාදයක් දෙන්න සේවිකාව ඇඳට ගන්න හදන සේවායෝජකයාද උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ‘මේ මගේ නීත්‍යනුකූල බිරිඳ’ කියමින් තමන්ගේ බිරිඳගේ නොකැමැත්තෙන්ම තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගන්න හදන සැමියා කරන්නේත් බලාත්කාරයක්. වනචාරී බව කියන්නේ මේවා. බසයේදී මුක්කු ගහන තැන සිට, ශරීරයේ විවිධ තැන් අතපත ගෑම, නොකැමත්තෙන් සිප ගැනීම ආදි සියලු ආකාරයේ අතවර කිරීම්ද වනචාරී බවට සාධක. 

බලාත්කාරය, අතවරය පමණක් නෙවේ, තවත් පැති තියෙනවා. හිතන්න කිසියම් ගැහැනියක හිතනවා තමන්ගේ ශරීරය ලබා දී හෝ තනතුරු වරප්‍රසාද අරං ඉදිරියට යා යුතුයි, උපාධිය ගොඩ දා ගත යුතුයි ආදි වශයෙන්. ඇය ක්‍රියාත්මක කරන්නේත් මේ වනචාරී බවේම තවත් පැතිකඩක්. 

බලාත්කාරකම්, ලිංගික අල්ලස්, කායිකව හෝ මානසිකව සිදු කරන ලිංගික බලපෑම්, ළමා අපචාර ආදි මෙකී නොකී සියල්ල වනචාරී බවේ ලක්ෂණ. මේ කිසිවක් ‘නිදහස් ලිංගික ජීවිතය’ සමග සම්බන්ධයක් නැහැ. නිදහස් ලිංගික ජීවිතයකට අවශ්‍ය සාධක නැති දැඩි නීති ඇති වර්තමාන සමාජයේ මේ දේවල් නැතිද? මේ දේවල් වළක්වාගන්න පොදුවේ ගැහැනුමිනිසුන් දැනුම්වත් වී ශක්තිමත් වැඩ පිළිවෙළකට මුල පිරීමේ කාලය අද එලඹ ඇති බව මගේ විශ්වාසයයි. එහෙත් මේ කිසිම දෙයක් නිදහස් ලිංගික ජීවිතයක් ඇති කළ හොත් මතු විය හැකි අතුරු පල ලෙස පෙන්වා දෙන්න බැහැ. 

වනචාරී බව ගැන කතා කිරීමේදී තවත් එක් පැතිකඩක් ගැන පෙන්වා දිය යුතු වෙනවා. අපේ ඇතැම් පිරිමි, ‘ලිංගික ජීවිතය’ තමන්ගේ පිරිමිකම පෙන්වන සාධකයක් ලෙස සලකා ගෙන සිටිනවා. ඒ මෙහෙමයි. තමන් ගැහැනු කීප දෙනෙකු සමග හැසිරී එය තමන්ගේ යහළුවන් ඉදිරියේ පුරාජේරුවට කියවනවා. තවත් සමහරු කන්‍යාවක් විවාහ කර ගෙන තමන් ඇයගේ කන්‍යාභාවය නැති කළ බව කියමින් උදම් අනනවා. මේකත් වනචාරී බවම තමා. අම්මා කෙනෙකු දස මාසක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා, අවුරුදු ගාණක් කිරිපොවලා ඉතා ආදරයෙන් තමා අප ජාතියේ දූවරුන්ව හදලා තියෙන්නේ. තාත්තා කෙනෙකු පුදුමාකාර ආදරයකින් කැපකිරීම් ගණනාවක් කර තමා තමන්ගේ දුවව හදන්නේ. අම්මා, තාත්තා දෙන්නා හරිම ආදරයෙන් ඇහේ තියා‍ගෙන හදන මේ ගෑනු ළමයි කවදා හරි දවසක පිරිමියෙකු ඉදිරියේ තම නිරුවත පෙන්වා ඔහු සමග ලිංගිකව එකතු වන්නේ ඒ පිරිමියා කෙරෙහි ඇති අසීමිත ආදරයත් විශ්වාසයත් නිසායි. මේ නිසා ඒ පිරිමියා තම යහළුවන් සමග පුරාජේරුවට කතා කරන්නේ ඔහුගේ පිරිමිකම නොවේ ඇය ඔහු කෙරෙහි තැබූ විශ්වාසයි. මේ නිසයි මෙම ක්‍රියාවත් වනචාරී වන්නේ. 

සමලිංගික විවාහ 

ගැහැනු දෙදෙනෙකු හෝ පිරිමි දෙදෙනෙකු හෝ ආදරය කරමින් එකට ජීවත් වීමට කල්පනා කරනවා නම් මුලින් විරුද්ධ ලිංගිකයන් ගැන කීවාක් මෙන් ආදරය කරන අයට විවාහය අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. ඔවුන් විවාහ විය යුතුයි කියා කියන්නේ හෝ ඉල්ලන්නේ හෝ ඇයි ද යන්න ඇත්තටම ගැටලුවක්. 


කොටින්ම, මා යෝජනා කරන්නේ සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ලිංගික ජීවිතය කුමක්ද යන්න තීරණය කිරීමට අයිතියක් තිබිය යුතු බවයි. තමන් ජීවත් වන්නේ එක් සහකාරියක/සහකරුවෙකු සමගද එය සමලිංගිකද විරුද්ධ ලිංගිකද එසේත් නැතිනම් බහුපුරුෂ/බහුස්ත්‍රී ඇසුර තම ජීවිතය කර ගන්නේද යනාදි වශයෙන් තීරණය කිරීමේ අයිතියත් ඒ අනුව ජීවත් වීමේ අයිතියත් පුද්ගලයාට තිබිය යුතුය. මෙතැනදී ‘විවාහය’ යන අනවශ්‍ය බැඳීමක් මැද්දට දමා මිනිස් ජීවිත අවුල් කරන්න අවශ්‍ය නැහැ. අනෙක් අතට තමන් තොරා ගත් ජීවිතයට අනුව නිදහසේ ජීවත් වෙනවා කියන්නේ අනෙක් අයගේ භාර්යාවන් සමග, සමියන් සමග අනියම් ඇසුරක් පවත්වා ගැනීම නෙවේ. තමන් ගත කරන්න බලාපොරොත්තු වන ලිංගික ජීවිතයේ හැඩරුව පිළිබඳව පූර්ණ සහ බුද්ධිමත් සාකච්ඡාවක් කොට ඔවුනොවුන්ගේ අනුමැතිය ඇතිව එය පවත්වා ගෙන යා යුතුයි. ඒක මොන තරම් අස්වාභාවික මෙන් පෙනුනත් එය ඔවුන්ගේ ජීවිතය. 

මේක තවත් පැහැදිලි කරනවා නම් මෙහෙමයි. හිතන්න කිසියම් යුවලක් සිටිනවා (මට අනුව පෙම්වතුන් - විවාහය නැති නිසා) ඔවුන් තවත් යුවලක් සමග තමන්ගේ සහකරුවන්ව සහකාරියන්ව කාලයෙන් කාලයට හුවමාරු කර ගනිමින් ජීවත් වෙනවා. ඉතින් අපට මොකද? එය ඒ අය තෝරා ගත් ජීවිතයයි‍. කිසියම් ගැහැනියක් සිටිනවා, ඇය විවාහ වෙන්නේ නැහැ, පිරිමි කීප දෙනෙකු සමග ලිංගික ඇසුරක් පවත්වා ගෙන යනවා. ඉතින් අපට මොකද? ඒ ඇය තොරා ගත් ජීවිතයයි. කිසියම් ගැහැනියක් සිටිනවා, ඇය කැමති තවත් ගැහැනියක් සමග ජීවත් වීමට. එබඳුම ගැහැනියක් සමග ඇය ජීවත් වෙනවා. ඉතින් අපට මොකද? ඒ ඇය තෝරා ගත් ජීවිතයයි. මේ අතර කිසියම් පිරිමියෙකු හෝ ගැහැනියක සිටිනවා තමන් මුළු ජීවිත කාලයම එකම සහකාරියක හෝ සහකරුවෙකු සමග ජීවත් විය යුතුයි කියා සිතා ඒ ආකාරයට ජීවත් වෙනවා. ඉතින් අපට මොකද? එය ඒ අයගේ තීරණයක්. මෙන්න මෙහෙම හිතන කල්පනා කරන සමාජයක් තමා නිදිහස් ලිංගික සමාජයක් ලෙස මා දකින්නේ සහ මා යෝජනා කරන්නේ. නැතිව බලාත්කාරය, අතවරය වැනි දේවලට ඉඩ දෙන අනුබල දෙන සමාජයක් නොවේ. 

විවාහය අවශ්‍යම නැතිද? 

ඔන්න දැන් මං තව අමුතු කතාවක් කියනවා. ‘විවාහය’ කියන්නේ කිසිසේත්ම අවශ්‍ය නොවන සංකල්පයක් නොවේ. මෙච්චර වෙලාවක් මට බැණ බැණ මේ ලිපිය කියවූ අය මේ ටිකත් කියවන්න. 

මෙතෙක් කතා කළ කිසිදු තැනක දරුවන් බිහි කිරීම ගැන මා කතා කළේ නැහැ. ලිංගිකව හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් බිහි වීම සිදු වූවත් 
01. ලිංගික ජීවිතයක් ගත කිරීමට පිරිමියෙකුට හෝ ගැහැනියකට හෝ ඇති වන අවශ්‍යතාවත් 
02. දරුවන් බිහි කිරීමට ඇති වන අවශ්‍යතාවත් 
එකක් නොව පැහැදිලිවම දෙකක්. මේ නිසාය නිදහස් ලිංගික ජීවිතයක් ගත කිරීමට උපත්පාලන ක්‍රම ගැන අවබෝධය අත්‍යවශ්‍ය බව මා මුලින්ම කීවේ. දරුවන් බිහි කිරීමකින් තොරව, විවාහ වීමකින් තොරව ඒ ඒ පුද්ගලයන් තමන් තෝරා ගත් ජීවිතය ගත කරන්නේ නම් එවිට තෝරා ගත් ජීවිතය ගැන තමන්ට පුළුල් වූද නිවැරදි වූද දැක්මක් ඇති කර ගැනීමට එය රුකුලක් වනු ඇත. එය තමන්ට ගැළපෙන්නේ නැති නම් එම ජීවිතය අතහැර වෙනස් ජීවිතයකට මාරු වීමට ඔහුට හෝ ඇයට පුළුල් නිදහසක් ද මේ නිසා ලැබේ. 

දරුවන් බිහි කිරීම කියන්නේ මෙයට වඩා වෙනස් දෙයක්. අදටත් ලංකාවේ බොහෝ දෙනෙකු දරුවන් බිහි කරනවා නොවේ, ඉබේම බිහි වෙනවාය. මේ තත්වය වෙනස් විය යුතුය. 

ගැහැනියක සහ පිරිමියෙකු දරුවන් බිහි කරන්නට බලාපොරොත්තු වේ නම් එය පූර්ණ සැලසුමක් සහිතව නිවරදි වැටහීමක් හා හැදෑරීමක් සහිතව සිදු කළ යුතු වෙනවා. එම සැලසුමේ පළමු අංගය විය යුත්තේ විවාහ වීමය. විවාහ නොවී දරුවන් බිහි කළ හැකි වුවත් එසේ කිරීමෙන් සමාජයේ මහත් අර්බුද රැසක් හට ගැනීමට ඉඩ ඇත. විවාහ නොවී ලිංගික ජීවිතයක් ගත කරන දෙදෙනෙකුට ටික කාලයක් ගත වීමෙන් පසු එය තමන් බලාපොරොත්තු වන ජීවිතය එය නොවන බව දැනුනොත් දෙදෙනා අතර ඇති කර ගන්නා සුහද සංවාදයක් මඟින් වෙන් වී යා හැකියි. එම වෙන් වීම ඔවුනොවුන් බුද්ධිමත්ව ගත් තීරණයක් නම් එයින් කාටවත් කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. එහෙත් දරුවෙකු බිහි වීමෙන් පසුව මෙලෙස වෙන් වීමක් සිදු වුවහොත් එයින් අර දරුවාට මහත් බලපෑමක් එල්ල වේ. දෙමාපියන් සිදු කරන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් දරුවන් වග කිව යුතු නැත. මේ නිසා දෙමාපියන්ගේ ක්‍රියාවන් නිසා දරුවන්ට අගතියක් සිදු වීම වැළක්වීමට අකමැත්තෙන් නමුත් දෙමාපියන් එක ළඟ තැබීමට අවශ්‍ය කරන බලවත් විවාහ නීතියක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. යම් හෙයකින් දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා ගැබ් ගැනීමක් සිදු වුවහොත් එවිටද ඔවුන්ව විවාහ කර වීමට හෝ උපදින දරුවාට අගතියක් නොවන සමාජ පිළිගැනීමක් ලබා දීමට හෝ හැකි ශක්තිමත් නීතියක් තිබිය යුතු වේ. එවැනි පරිසරයකදී ලිංගික හැසිරීමකට පෙර බුද්ධිමත්ව ඒ ගැන සිතා බැලීමට මිනිසුන් පෙලඹෙනවා. එබඳු සමාජයක කිසිම දරුවෙකුට, මගේ අම්මා දාලා ගියා, තාත්තා දාලා ගියා, අම්මයි තාත්තයි දික්කසාද වෙලා වැනි කතාවක් කියන්න සිදු වන්නේ නැහැ. 

දැන් මං අවසන් කරන්නම්, විවාහය - ගෝත්‍රවාදයෙන් ඔබ්බට යනුවෙන් මා අදහස් කරන්නේ සරලවම මෙයයි. තම තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ‘විවාහය’ යන සාධකයට පෙලඹිය යුතු නැහැ. දරුවන් බිහි කිරීම යන වැදගත් සමාජ කාර්යයේදී පමණක් මිනිසුන් විවාහය යන්නට පෙලඹිය යුතු වෙනවා.
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...