යුද්ධයෙන් හානි වූවන්ට වන්දි ගෙවීමේ ලිට්මස් පරීක්ෂාව

යුද්ධයෙන් හානි වූවන්ට වන්දි ගෙවීමේ ලිට්මස් පරීක්ෂාව

19 October 2018 07:25 am

එක්දාස් නවසිය අසූ ගණං වල චීනයේ විශ්වවිද්‍යාල උද්ඝෝෂනයකට ආණ්ඩුවේ හමුදා විසින් වෙඩි තමා සිසුන් කෲර විදියට මරා දැමීමක් කරනවා. කෲරම ක්‍රියාව ඒක නෙමෙයි. එයින් සති ගණනකට පසු චීන රජය විසින් මිය ගිය සිසුන්ගේ නිවෙස් වලට ලියුමක් එවනවා "චීන සමූහාණ්ඩුවට එරෙහි ත්‍රස්තයකු මරා දැමීමට වියදම් වූ උණ්ඩයේ මිල ගෙවා දමන" ලෙස සඳහන් කරමින්.

 

චීන සමූහාණ්ඩුවේ මේ නරුම කතාව ගැන අහන කොට කාලාන්තරයක් තිස්සේ දියුණු මනුෂ්‍ය ධර්ම සහිත සංස්කෘතියක් තුළ හැදුනා යයි ආඩම්බරයෙන් හිතාගෙන ඉන්න අපේ හිත් උනු වෙලා යනවා

දැං මේ ළඟකදී ඉඳං දෙමළ ඊළාම් යුද්ධයෙන් හානියට පත් වුන අයට වන්දි ගෙවීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන කතා බහ හරි අපූරු එකක්. දශක ගාණක් තිස්සේ ඔලු වලට බස්සපු විස වලිං කොයි තරං නං පිරිහුණ සමාජයකද අපි ජීවත් වෙන්නේ කියන එක දනෙන ලිට්මස් මොහොතක් මේක.

මේකට චෝදනා කරන බොහෝ දෙනෙක් කියන්නේ එල්ටීටීඊ සාමාජිකයන්ව හිටපු අයට වන්දි දෙන්නේ මොකටද, ඒ අයව මගෑරලා වන්දි දෙන ක්‍රමයක් හදනව නං කමක් නෑ. ඒක කරන්න පුලුවංද කියන ජාතියේ ප්‍රශ්න

ඇත්තටම කලකට ඉහත එල්ටීටීඊ සාමාජිකයෙක්ව ඉඳලා අත පය අහිමි වුන කෙනෙකුට, එල්ටීටීඊ සාමාජිකයකුව ඉඳලා මිය ගිය දරුවෙකුගේ පවුලේ අයට වන්දි ගෙවීම භයානක අපරාධයක්ද??. අද අතක් පයක් අහිමි වෙලා ඉන්න ඒ තරුණයා "සිංහල" හමුදාවට එරෙහිව වෙඩි තැබූවෙක් වෙන්න පුලුවං. ඔබවත් මාවත් මරා දමන්න කොළඹ බෝම්බ පුපුරුවන්න සැළසුම් හැදූවෙක් වෙන්න පුලුවං. ඒත් එවැන්නෙකුට වන්දි ගෙවීම අපරාධයක් සේ දකිමින් අපි ඔවුන්ට යෝජනා කරන්නේ මොකක්ද ?

උඹ සිංහල හමුදාවට එරෙහිව අවි අත දැරූවෙක්, ඔබ මේ රටෙන් කිසිදු වරදානයකට වරප්‍රසාදයකට සුදුසු නෑ. ඔබේ යුද්ධය පරාජය වී අවසානයි. ඉතිං ඔබ වැනි පරාජිතයකුගේ හැඟීම් දැනීම්, අවශ්‍යතා වලිං ජයග්‍රාහී රාජ්‍යයට වැඩක් නෑ, ඔබට ඉතිරිව ඇත්තේ ස්වේච්චාවෙන් වැළලී යාම පමණයි වගේ පණිවිඩයක්ද අපි ඒ මනුෂ්‍යයන්ට ලබා දෙන්නේ ?

ඇත්තටම යුද්ධයකිං හානියට පත් වුන මිනිස්සුන්ට වන්දි ලබා දීම පවා තිරිසන් විදියට ප්‍රශ්න කරන මිනිස්සු බිහි වෙන්න රටක තියෙන පසුබිම මොකක් වෙන්න ඕනෙද?? එහෙම හිතන රටක් ගැන අපි ආඩම්බර වෙන්න ඕනෙද?? එහෙම හිතන රටක් තව දුරටත් මනුෂ්‍ය වාසයට සුදුසු තැනක්ද??

උඹලා කරපු යුද්ධය වැරදි එකක්, ඒ නිසා අපට උඹලාට එරෙහිව වෙඩි තබන්න මරා දමන්න සිද්ධ වුනා. ඒත් දැං පරාජිතව ඉන්න උඹලා එක්ක වෛරයක් අපට නැහැ. අපි උඹලා හැමෝම එකට එකතු වෙලා ඉදිරි ලෝකය ගොඩ නගමු කියන පණිවිඩය නෙමෙයිද අපි ඔවුනට දිය යුත්තේ??

- රවීෂ තිලකවර්ධන