ඔබ - අප උපන්නේ ඊයේ හෝ පෙරේදා දවසක ද ? - Lanka News Web (LNW)

ඔබ - අප උපන්නේ ඊයේ හෝ පෙරේදා දවසක ද ?

මාතර ප්‍රදේශයේ උසස් පෙළ සිසුවෙක් විසින් තවත් සිසුවෙක් පිහියෙන් ඇන ඝාතනය කරන ලද අනුවේදනීය පුවත අද දිනයේ අසන්නට ලැබිණ. ඒ සමගම "අඹ යහළුවෝ" නොබලා "දෙවැනි ඉනිම" නරඹන පරපුරක උරුමය මෙය බව ද මාතර සහ දකුණේ උපන් ගති ඉස්මතු වන බවටද අදහස් පල වෙමින් තිබේ. මිත්‍රවරුනි , ඔබ - අප උපන්නේ ඊයේ හෝ පෙරේදා දවසක ද ?

 

2002 වර්ෂය ය. සබරගමු පළාත ය. රත්නපුර කිරිඇල්ල මහා විද්‍යාලය ය. උසස්පෙළ සිසුවියක වූ දුල්මිණි ඉරෝෂිකාට පාසල් බිම තුළදීම පිහියෙන් ඇණ මරා දමන්නේ එම පාසලේ ඇගේම වයසේ ශිෂ්‍ය නායකයෙකු වන ජයතිලක නම් සිසුවාය. මරා දැමීමට හේතුව වූයේ සිසුවිය විසින් පෙම් ඇරියුම ප්‍රතික්ෂේප කිරීමය. ජයතිලක සිසුවා "අඹ යහළුවෝ" පමණක් නොව සුරඟන කතා කරළියේ ගර්ඩා සහ කායි ද ආසාවෙන් නැරඹූ ඒ වන විටත් "රොබින්සන් අන්දරය" නරඹමින් සිටි යෞවනයෙකි.

1999 වර්ෂය ය. බස්නාහිර පළාත ය. කළුතර දිස්ත්‍රික්කය ය. කුරුළු පිහාටු දෙන්නට අඬ ගසාගෙන ගිය මුතුමිණ සදීප ලක්ෂාන් නම් අට හැවිරිදි පාසල් සිසුවා කප්පම් ඉල්ලා ඝාතනය කරන්නේ ලක්ෂාන්ගේ ගෙදරට ගෙවල් දෙකකට ඔබ්බෙන් සිටි තරුණයෙකි. දහ හත් හැවිරිදි අමිල නුවන් ද සිල්වා "අඹ යහළුවෝ" මෙන්ම "ලන්ඩනයේ අතරමං වී" ද නරඹන්නට ඇත. පෝල් සහ රියානා එකිනෙකාට පිහිට වන "මායා බන්ධන" නරඹමින් සිටින්නට ඇත.

1998 වසර ය. බස්නාහිර පළාත ය. එඬේරමුල්ල ය. එවකට බාල වයස්කරුවෙක් වූ බැවින් නම සඳහන් කළ නොහැකිය. හදිසියේ මුළු නිවසම ගිනිගෙන මව , පියා සහ සහෝදරිය පිළිස්සී මිය යන විට ඉතිරි වූ දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකි. පෙට්‍රල් යොදා ගිනි තබා ඇත්තේ එම දරුවා විසින්ම බව පසුව හෙළි විණ. හේතුව වූයේ වෙනත් කුලී නිවෙසකට මාරු වන්නට වැඩිහිටියන් ගත් තීරණය ය. එමගින් තමා සමග සමකාමී ඇසුරක් පවත්වාගෙන ගිය අසල්වාසී වැඩිහිටියා අහිමි වේ යැයි සිතූ බාලවයස්කරුවා නිවැසියන් ඝාතනය කරන්නේ කාත් කවුරුත් නැති වූ පසු තමාට එම වැඩිහිටියා ළඟ නතර වීමට හැකි වේය යන බොළඳ සිතිවිල්ල මත ය. භාෂාව වැටහිණි නම් ඔහු ද "අඹ යහළුවෝ" කියවන්නට ඇත. බාගදා "ශිෂ්‍යත්වය" පොතේ නිමල් මහත් ආයාසයෙන් ගල්වලේ ගෙදර ගල් බණ්ඩාට යහපත් ජීවන තත්ත්වයක් උදාකර දුන් හැටි කියවන්නට ඇත. "පිංහාමි" පොතේ රූකඩ පුත්‍රයා නිසා තාත්‍තා දුක් විඳි සැටි ද කියවා තිබෙන්නට ඇත.

පන් පසිඳුවන්, සමුදුරු දැරිය, රන් සෙව්වන්දිය පිපුණු ගුහාව, ඉෂුවාරා පෙන්වූයේ අපේ කාලයේ ය. මරියසෙල් ඔසරි මාල හත්පොට පැළඳ ගී ගැයුවේද , චම්පා කල්හාරි ළමා සාරි ඇඳ ගී ගැයුවේ ද අපේ කාලයේ ය. මුතුහර , හපන් පැදුර , අතුරු මිතුරු මෙන්ම බොන්ෂුවා , දැනුමයි වාසනාවයි , ඩේන්ටී රස පැන සහ ක්‍රීඩා විසිතුරු පෙන්වූයේ ද අපේ කාලයේ ය.

එමෙන්ම ; උසස් පෙළට පැමිණි නවක සිසුවා නවක වධයේ දී මියැදෙන්නේ ද , නැගණියගේ පෙම්වතාව ඇයගේ වැඩිමහළු සහෝදරයා විසින් පාසල ඉදිරියේදීම කෑලි කපා මරා දමන්නේ ද අපේ කාලයේ ය. වැඩිහිටියන්ගේ ඉඩම් ආරවුලක් සිතට ගෙන පැය කීපයක් මුළුල්ලේ රැක සිට ඉදිරිපස නිවසේ සිව් දෙනාම කපා මරා පැමිණ නිවසේ බූරු ඇඳේ නිදා සිටි දහසය හැවිරිදි සිසුවා ද සිටියේ අපේ යුගයේ ය.

මිත්‍රවරුනි ; ශිෂ්ටත්වයට සහ අශිෂ්ටත්වය ට ජාතියක් , භාෂාවක් හෝ පළාතක් අදාල වන්නේ නැත. ශිෂ්ටත්වය රැකෙනුයේ අශිෂ්ටත්වය හිස ඔසවනා තෙක් පමණි.

මුතුහර ළමා වැඩසටහනේ තේමා ගීතය ලියුවේ ලලිතා සිරිබද්දන විසිනි. ඇය එහි මෙසේ ද ලියුවාය.

දෙමාපියනි වැඩිහිටියනි අප හට රැකවරණය දෙන්න
අපේ දුබල කම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න
ලොවේ අනාගත උරුමය අප හට නිසි ලෙස පවරන්න
අප හැදුණොත් අද හැකිවනු ඇත හෙට ඒ ලොව ජයගන්න

අප උත්සාහ කළ යුත්තේ මනුසත් කුලය වෙනුවෙන් අවැසි සෑම විටෙකම සුපර් මෑන් බවට පත් වන්නට හැකි ක්ලාක් කෙන්ට්ලා බිහි කිරීමට ය. අවාසනාවකට මෙන් සෑම යුගයකම මිස්ටර් හයිඩ්ලා බවට පත් වන ඩොක්ටර් ජැකීල් ලා බිහි වී ඇත.

සොයා යන සත්‍යය එතැනය.

- සහන් කසීර වික්‍රමසිංහ -

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

කරුණු විකෘති කරන්න් එපා - ජර්මන් තානාපති ‌‌මෛත්‍රීට කියලා

දෙසැම්බර් 6, 2018

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය...

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

ජනාධිපති සිරි‌සේන හාන්සි කරවන රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න

දෙසැම්බර් 6, 2018

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...