පියා යනු දියණියගේ පළමු ආදරයයි

පියා යනු දියණියගේ පළමු ආදරයයි

10 January 2019 06:15 pm
දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව.
අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික රටවල තරම් හොඳ නැහැ කියා උපකල්පනය කරනවා. ඒ රටවල් ගැන අත්දැකීම් තියෙන අය දන්නවා එහෙත් මෙහෙත් එහෙම වෙනසක් නැහැ කියලා. වයසක මව්පියන් මහළු නිවාස වලට හරින අය එහෙත් ඉන්නවා. දැන් ඒ අය මෙහෙත් ඉන්නවා. ඇත්තම වෙනස නම් ඒ රටවල මහළු නිවාස කියන්නෙ රජයේ දැඩි නීති සහ පරීක්ෂා කිරීම් යටතේ පාලනය වෙන ඒවා නිසා දෙමව්පියන්ට මෙහෙට වඩා ආරක්ෂාවක් සහ නොයෙකුත් පහසුකම් ලැබීම.
 
ඒවගේම දෙමව්පියන්ට දැඩි බැඳීමක් ඇති දරුවන් මෙහෙ වගේම එහෙත් ඉන්නවා. ප්‍රවෘත්ති වල දකින්න ලැබෙන්නේ 99% ක් ම නරක මිනිසුන් කරන දේවල්  නිසා කරන හොඳවල් වලට ප්‍රචාරයක් ප්‍රධාන මාධ්‍යවල ලැබෙන්නේ නැහැ. ඒක ටික හරි වෙනස් වී ගෙන යන්නේ කැමරා ෆෝන් සහ සමාජ ජාල වලින් දැන එවන් හොඳ දේවලුත් හරි හරියට ප්‍රචාරය වෙන නිසා.
 
මේ කථාව සහ වීඩියෝව ඔබගේ දරුවන්ටත් පෙන්නුවොත් හොඳයි. කැනඩාවෙ Alberta ප්‍රාන්තයේ දෙසැම්බර් මස මැද හරියේ Three Days Grace කියන බෑන්ඩ් එකේ Concert එකක් පැවැත්වෙනවා. එයට සහභාගී වූ Jules Maria නැමැත්තියට දකින්න ලැබෙන්නේ අන් අයට වඩා ඉඩ ප්‍රමාණයක් යොදාගනිමින් සංගීතයට නටමින් විනෝද වන යුවලක්. මොහොතකින්ම මේ සාමාන්‍ය යුවලක් නොවන බව ඇයට ඒත්තු යනවා. ඇය ආසා කරන බෑන්ඩ් එක වේදිකාවේ කරන දේට වඩා ඇයගේ හිත යන්නේ මේ යුවල කරන දේ ගැනයි. වහාම ඇය එම සිද්ධිය වීඩියෝ ගතකරනවා. ෆේස්බුක් හරහා සංසරණය වුන එම වීඩියෝව ඉතා ඉක්මනින් මිලියන ගණනක් අය සංවේදී කරනවා. 
 
එම යුවලේ තරුණිය 19 හැවිරිදි Kerri Carberry. පුරුෂයා 53 හැවිරිදි තරුණියගේ පියා Darrin Carberry. සම වයසේම පෙම්වතෙක් සිටියත් ඇය මෙම Concert එකට සහභාගී වන්නේ ඇයගෙ පියා සමඟ. ඇයගේ පියා ශ්‍රව්‍යාබාධිත කෙනෙක්. එම නිසාම ඇය Sign langauge වලින් තමයි පියා සමඟ සන්නිවේදනය කරන්නේ. ශ්‍රව්‍යාබාධිත පියාට ගීතවල වචන නොඇසෙන නිසා ඇය කරන්නේ එම වචන sign langaguge වලින් පියාට සංනිවේදනය කිරීම. මේ විඩියෝ එක යූ ටියුබ් ඇතුළු ජාලා ගණනාවක් මිලියන ගණන් අය නරඹා සහ අදහස් දක්වා තිබෙනවා. අද වෙනකොට කැනඩාවේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ, හැම ප්‍රධාන රූපවාහිනි නාලිකාවක්ම වගේ මෙම සිද්ධිය ප්‍රචාරය කරල තියෙනවා.  CNN නාලිකාව මෙම සිද්ධිය ගැන වාර්ථා කලේ  මෙහෙම.
 
සමහර අය කියා තිබුණා ඇය තාලයට හානියක් නොවන පරිදි අති දක්ෂ ලෙස sign langauge එකෙන් එම ගීතය පියාට ගයනවා කියලා. ඒවගේම බොහෝ කමෙන්ට්කරුවන් කියා තිබුණේ එය ඔවුන්ව හැඬවීමට සමත් වුණා කියලා. 
 
මේක විනාඩියකට අඩු විඩියෝවක්. එම නිසා කොහොම හරි බලන්න. මේ තරුණිය කොතරම් හැඟීමකින්, ඕනෑකමකින් සහ ආදරයකින් ඒ දේ කරනවාද කියන එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. එම නිසා මේක කොහොම හරි බලන්න. බටහිර රටවලත් දෙමව්පියන්ට ලැදි එමෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම කරන දරුවන් සිටින බව දැන ගැනීමට මේක හොඳම සිද්ධියක්. 
 
 
https://lankanian.blogspot.com/2018/12/blog-post_30.html