මිහිපිට කිසිවක් අලුත් නොවේ !

මිහිපිට කිසිවක් අලුත් නොවේ !

17 January 2019 05:18 am

නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන් කරමින් එක් රැයක් තුළ ඉදි කෙරුණ තාප්පය වසර විසි අටකට පසුව බිඳ දමන්නේ 1989 වසරේදී ය.

 

සෝවියට් සංගමයේ බලපෑමෙන් සමාජවාදී පාලනයක් රැගත් නැගෙනහිර ජර්මනිය දිළින්දන්ගෙන් පිරුණු අපායක් ව තිබියදී බටහිර සහාය ලද බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කේතුමතියක් බවට පත්ව තිබිණ.

බර්ලින තාප්පය බිඳ දැමූ පසුව බටහිර කලාපයට පිවිසුණු නැගෙනහිර ජර්මානුවන් එහි සශ්‍රීකත්වය ; නාන කාමර වල සුවපහසුව දැක විස්මයට පත් වූ බව පැවසේ.

‘Nihil sub sole novi - මිහිපිට කිසිවක් අලුත් නොවේ’ යනුවෙන් ලතින් කියමනක් ඇත. බර්ලින් තාප්පය බිඳ දමා අද වන විට වසර 30 ක් ගත වී ඇත. නමුත් අපට අසන්නට ලැබෙන පුවත් එලෙසමය.

නොබෝදා තම පවුලෙන් සහ සෞදි පාලනයෙන් පලා විත් ජාත්‍යන්තරයෙන් නිදහස අයැදි දහ අට හැවිරිදි සෞදි යුවතිය , රහාෆ් අල් - කුනූන් කැනඩාවේ රැකවරණ ලැබීය. Dailymail වෙබ් අඩවිය රහාෆ් අල් - කුනූන් කැනඩාවේ නිදහස අත් විඳින ආකාරය 'පුවතක්' ලෙස වාර්තා කර තිබූණේ මෙලෙසිනි.

The Saudi teenager granted asylum in Canada is defiantly enjoying her newfound freedom in the West - by trying bacon for the first time and going for Starbucks coffee with bare legs

'කැනඩාවේ රැකවරණ ලද සෞදි යෞවනිය තමා බටහිර දී ලද ආමෝද නිදහස භුක්ති විඳින්නී - ජීවිතයේ මුල් වරට බේකන් රස විඳිමින් නොවැසූ පාද සමගින් ස්ටාර්බක්ස් කෝපි මිහිර සොයා යන්නීය'

තම සංස්කෘතියෙන් පීඩිතව පලා විත් බටහිර රටක රැකවරණ ලද පමණින් මේ යෞවනියගේ දෛනික ජීවිතය , රුචි අරුචිකම් , ඇඳුම් විලාසිතා ආදි පුද්ගලික කරුණු සෞදි සංස්කෘතිය අභියෝගයට ලක් කරන සුරුවමක් සේ මහජන ප්‍රදර්ශනයට තැබිය යුතු නොවන බව අවධාරණය කරමි.

නමුත් ; රහාෆ් අල් - කුනූන් මුල් වරට බේකන් ආහාරයට ගැනීමත් , කාගේ හෝ වුවමනාවකට තම පාද ආවරණය නොකර කෝපි සලකට ගොඩ වැදීමත් ලෝක පුවතක් වීමේ ඛේදවාචකය පිළිබඳ ගැඹුරින් සිතා බලන්න

මිත්‍රවරුනි ; දේශපාලනික , සංස්කෘතික සහ ආගමික පඹවැල් තුළින් මිනිස් බව තවමත් නිදහස ලබා නැති බව ඔබ වැටහේද ?

පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදාගෙන එනු සඳේ

- සහන් කසීර වික්‍රමසිංහ