තායි රජ කුමරියක් අගමැති අපේක්ෂකත්වයට

තායි රජ කුමරියක් අගමැති අපේක්ෂකත්වයට

8 February 2019 04:42 am

තායිලන්ත ඉතිහාසයේ මින් පෙර කිසිදු විටෙක සිදු නොවූ විරූ අවස්ථාවක් සනිටුහන් කරමින් එරට රජ පවුලේ කුමාරිකාවක මැතිවරණයක අගමැති අපේක්ෂිකාව ලෙස නම් කර තිබේ.

 

හිටපු තායි අගමැති තක්සින් ෂිනවත්‍රාට හිතැති තායි රක් චාර්ට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව​ ලෙස මෙසේ නම් කරනු ලැබ ඇත්තේ මහා වචිරලොංග්කෝර්න් රජුගේ වැඩිමහල් සොයුරිය වන 67 හැවිරිදි උබොල්රතන රාජකන්‍යා සිරිවර්ධන බර්නාවදී කුමරිය යි.

ඇගේ ප්‍රබලම ප්‍රතිවාදියකු වනු ඇත්තේ තායිලන්ත මිලිටරි ජුන්ටාවේ නායක ප්‍රයුත් චන් ඕචා යි. මාර්තු 24 වනදා පවත්වනු ලබන මැතිවරණය තක්සින් ෂිනවත්‍රාට හිතැති ජනකාන්තවාදී "රතු කමිස​" කඳවුර සහ වඩා කොන්සර්වේටිව්වාදී "කහ කමිස​" කණ්ඩායම අතර තරගයක් වනු ඇති.

රජ කුමරියගේ නාම යෝජනාව පිළිගන්නේ ද නැද්ද යන තීරණය අද එරට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කෙරෙනු ඇතැයි අපේක්ෂිත ය​.

ඇගේ ඉදිරිපත්වීමට රජ මාලිගයේ අවසර ලැබී ඇත්ද යන්න පිළිබඳව තහවුරු කළ හැකි වාර්තාවක් මෙතෙක් ලැබී නොමැත​.

තායිලන්තය 1932 සිට ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් වන නමුත් රජ පවුලට සමාජයේ විශාල ස්ථානයක් හිමි ය​. නමුත් රජ පවුල නිල වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදේ. එහෙයින් රජ කුමරියගේ දේශපාලන සම්ප්‍රාප්තිය රජ පවුලේ සම්ප්‍රදායයන් උඩුයටිකුරු කිරීමකි.

  • චාමර සුමනපාල 

https://www.facebook.com/photo.php?fbid=10156228478907741&set=a.402387857740&type=3&theater