මිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා ! Come to Canada

මිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා ! Come to Canada

8 February 2019 09:01 am

මේ දවස්වල ටිකක් විතර සීතලයි, "ටිකක්" කිව්වෙ සෙල්සියස්වලින් ගත්තොත් සෘණ හතලිහක් විතර. අමෙරිකාවෙත් සමහර ප්‍රදේශත් 'ටිකක් සීතල' වුනා. (සාමාන්‍යෙයන් ශීත සෘතුවේ මාස කිහිපයක් සෘණ 20 විතර තියෙන එක ලොකු දෙයක් නොවුනත්, සෘණ 40-50 කියන්නෙ ප්‍රවෘත්ති වාර්තා මවන 'සීතල ප්‍රවෘත්තියක්')
මේ අද කතාවේ පුර්විකාව.
 
-----------------------------------------
 
'රොබට් මහත්තයා, සම්බන්ධ වෙන යන මේ වැඩසටහන ගැන මොනවද දන්නේ ?' 
'මම මේකට එන්න මාස නමයක් තිස්සේ බලාගෙන ඉන්නේ, පුතා ඉන්න මැක්මරීවල පොසිෂන් එකක් ලැබුණත් මම ගියේ නැහැ, මොකද මගේ යාළුවෝ මට කියල තිබුණ මේ වැඩසටහන ගැන' රොබට් බොහොම සතුටින් උත්තරේ දෙන්නේ.
'මැක්මරීවල ? ටිකක් දුරයි නේ ?'
'හ්ම්, පුතා එහේ වැඩ, ගෙයක් තියෙනවා, මටත් එහේ එන්න කීවා, එහෙම බැහැනේ මහත්මයා, මට තාම මගේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ, අදත් පුතා කතා කළා මම මෙහේ එනවා කීවම, එයා වැඩ, මයිනස් පනහටත් වැඩිලු අද, පැය නමයක වැඩක් එළියේ' රොබට් මහත්තයා සුසුමක් හෙලුවා. 
 
මේ දෙබස වුනේ ඊයේ, ලංකාව ගැන නොදැන ගත්තට 'සිලෝන්' ගැන දන්න රොබට් මහත්තයා, උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, දැන් නම් කැනේඩියානුවෙක්. පුතා භූගත ඉන්ධන ව්‍යාපෘතියක ඉංජිනේරුවරයෙක්. අද දවසේත් ඔහු සෙල්සියස් සෘණ පහහටත් වැඩි කාළගුණ තත්ත්වයක් යටතේ තමන්ගේ රාජකාරිය කරනව ඇති.
 
-------------------------------------------
 
canada winter 1සීතලට ගල් වුනු කළිසම්
 
'අයියා ! මේ දවස්වල සීතලයිලු නේ, මෙහේ නිව්ස්වලට ගියා. ඔයාලට කරදරයක් නෑ නේද ?'
 
ගම් පළාතේ කෙනෙක්ගෙන් මැසෙන්ජරයට පණිවිඩයක්. 
 
'කරදරයක නැහැ නංගී, ටිකක් සීතලයි, එච්චරයි' පිළිතුරක් යැව්වා මම.
 
------------------------------------------------
 
'ඔව් අයියා, මාත් කොරියා ඉන්න කාළේ වැඩකළා ෆ්‍රීසර්වල, අමු කට්ට නේද අයියා ! ඔක්කොම හරි xxxxx දාන්න ගියාම තමා වැඩේ, ඔක්කොම ගල් වෙනවා නේ ? 
 
canada winter 2
 
'සීතල නම් තමා, ඒත් අපි එළියේ ඉන්නෙ නැහැනේ මල්ලී, ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ.'
 
දන්න කියන මල්ලි කෙනෙක්ගේ කතාබහක් ඒ. 
 
--------------------------------------------------
 
'ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නෙ කැනඩවලට, ඒත් මේ සීතල ගැන ප්‍රවෘත්තිවලට ගියාම ටිකක් බයයි, කොහොමද ඔයාලට, දැන් නම් ලංකාවට එන්න හිතෙනව ඇතිනේ ?'
 
'මෙහෙමයි, සීතල කියන්නෙ මේ රටවල ලොකු දෙයක් නෙවි, අනෙක වෙනත් රටවල් සියගණනකින් මිනිස්සු මේ රටට ඇවිත් ජීවත් වෙනවා. ඒ කිසි කෙනෙක් සීතල නිසා මේ රට දාල යන්නේ නැහැ. අනෙක එළියේ උෂ්ණත්වය සෘණ කීය වුනත්, ගේ ඇතුලේ තියෙන්නෙ, වාහනවල තියෙන්නෙ, රාජකාරි ආයතන, වෙළඳ සැල් හැම තැනකම ඇතුලේ තත්වය බොහොම උණුසුම්. ඒ නිසා මේ තද සීතල ගැටළුවක් වෙන්නෙ 'එළියේ රැකියා' කරන සුළු පිරිසකට විතරයි. ඒ අයටත්, උණුසම් කබා, ආරක්ෂක ඇගළුම් තිබෙන නිසා, ඔක්කොටම වඩා උණු කෝපි තියෙන නිසා ඕක හිතන තරම්ම ප්‍රශ්නයක් නෙවි.'
 
මේ මගේ උත්තරය
 
--------------------------------------------------
 
'අපෝ ඔහේ හරිම සීතලයිලු නේ, කොහොමද ඉන්නේ ?'
'එළියේ නම් සීතලයි, ඒත් කාටවත් ලොකු කරදරයක් නෑ'
'කොහොමද දැන් මොකද හිතන්නේ ! "ඔහේ" ලංකාවට වඩා හොඳ ඇති නේ ?'
 
මේ තවත් කැනඩාවට එන්න උත්සාහ කරන 'දකුණේ' කෙනෙක් මුහුණු පොත හරහා කළ කතා බහක්.
 
'ඔව්, ඇත්තටම 'මෙහේ', 'ඔහේට' වඩා දාහෙන් (මිලියනයෙන්) සම්පතයි'
 
canada winter 3සීතලට උණුසුම
 
බඩ ඇති මොළ නැති දෙපා ජීවීන් රැළක් පාර්ලිමේන්තු යවලා, ඒ මොළ නැති දෙපා ජීවීන් වන්දනා කරන බහුතරයක් ඉන්න,
පුංචි එවුන්ගේ ළමා කාළේ, ජීවිතේ විඳන්න නොදී, ඔළු ගෙඩිවලට බලෙන් 'අදට, හෙටට' වැඩකට නැති කුණු කන්දල් පුරවන අධ්‍යාපන ක්‍රමයක් කරගහගත්ත බහුතරයක් ඉන්න, 
උගත්කමට වඩා, මැර බලය, දේශපාලන, ආගමික බලයෙන් අන්ධවුනු අන්තවාදී ලොක්කන් බහුතරයක් ඉන්න උන්ට එහෙයි කියන්නට වෙන,
උගත්කමින්, ගතේ මහන්සියෙන් උපයාගත් මුදල ටැක්ස් නමින් උදුරාගෙන, රටට වැඩකට නැතිව  රැළේ මහ ගොන්නු තුටු කරන්නට පෞද්ගලික පරිභෝජනයට ගන්න, 
මේ ඔක්කොම අස්සේ, ආගමේ, පක්ෂයේ නාමයෙන් ඇහැට ඇහක් ගන්න සූදානම් 'මද කිපුනු' නාම්බන්, ඩේටා කාඩ් එකෙන් ඇවිත් රජවෙන බහුතරයක් ඉන්න, 
ගෑණියෙකුට තියා, මාස පහේ පුංචි දැරිවියකට ගෙයක් ඇතුලේ ඉන්නවත්, අඩුම ගණනේ මෙහෙණින් වහන්සේ කෙනෙකුටවත් ආරමෙට වෙලා ඉන්නවත් නොදී දූෂණය කරන, ලිංගික කුහකත්වය පිරි, වනන සංස්කෘතියක් හිමි බහුතරයක් ඉන්න, 
ලෝකමෙ ඇත්තේ මේ පුංචි දූපතේය, මුළු ලෝකෙම මේ දූපතට යටත්යැයි ස්වයංවින්දන මානසිකත්වට අතදරු කාලයේ සිටම විඳි හිතන  බහුතරයක් ඉන්න,
රටේ ආදායමට වඩා, වෙන රටවලට ණය වෙලා, රටේ ගෑණුන් අරාබිකරයට විකුණලා ලැබෙන තුට්ටු දෙකෙන් රට සවාරි යන ලොක්කන්, සාජ්ජ දමා, මුළු ලොව ඒ රටට යටයි සිංදුව කියත්දි හුරේ දමන බහුතරයක් ඉන්න,
තමා ගැන හොයනවට වඩා අනෙකා ගැනම හොයන්නට හිත කිති කැවෙන බහුතරයක් ඉන්න,
නොමිලේ ඉගෙන ගන්නට බදුගෙවන මුදලින්, වියදම් කළ වරදට, ඔවුන් සමගම ගිලා බහින ආණ්ඩුවෙන්ම රස්සා ඉල්ලා පාරවල් වහන රැකියා විරහිත උපාධිධාරී සංගම් පිළිගන්නා බහුතරයක් ඉන්න,
තම වෘත්තියේම අනෙකාට ඉගෙන ගන්න ඇති අවස්ථාවට වල කපා, සියල්ල දත් මම ලොක්කා බවට පත්වන්නට වලිකන්නන් බහුතරයක් ඉන්න,
තව ටික කලකින් චීනාගේ ණයට, තගට යටත්ව, පීලිපීන ලොක්කා මෙන් වෙන්නට හදන බව පෙන්වන තම රැළ පාලනය කරගත නොහැකි හිස් ලොක්කන්ගේ පාලනය වන රටකට වඩා, අවුරුද්දකට මාස දෙක තුනක් සීතලේ, නමුත් හිතේ සැනසිල්ලේ, විශේෂයෙන් දරුවගේ හෙට දවස ගැන බයක් නැති, උගත්කමට තැනක් දෙන රටක ජීවත් වීමට ලැබීම, එවන් රටක ජාතිකත්වය ලැබීම ආඩම්බරයක් නොව 'වාසනාවකි'. 
 
canada winter 4සෙල්සියස් සෘණ 32 දී අපේ අය හිම කඳු නඟිනවා 
 
ඒ නිසා, හැකියාවක් ඕනකමක් ඇති සහ උත්සාහ කරන, මේ රටට එන්නට අදහසක් ඇති හැමදෙනා වෙනුවෙන් කියන්නෙ, ඔය ලංකාවේ 'අඳෝනාවාහිනී'වල රස කර කර කියන, සීතල කතා නිසා, තමන්ගේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉදිරියට ගන්න හදන පය පිටුපසට තබන්න එපා. විශේෂයෙන්ම, වෘත්තිකයන් ලෙසින් එන්නට උත්සාහ කරන ඔබ, ජීවිතේ වෙනස්කමකට මුහුණ දෙන්න දිරියක් ඇත්නම්, අභියෝගවලට මුහුණ දෙන්නට හිතේ ශක්තියක් ඇත්නම්, සොයන්න කැනඩාවට සංක්‍රමණය වන නීති රීති ගැන  කියවන්න www.cic.gc.ca වෙබ් අඩවිය , (කැමති නම් මගේ http://sincanada.blogspot.com/ කියවන්න. සුද්ද සිංහලෙන්ම මේ ගමන ගැන එහි ලියැවිලා තියෙනවා.
 
අහුවෙන්න එපා, කැනඩාවේ රස්සාවල් දෙන බව කියන, රජයෙන් නිකං කන්න දෙන බව කියන විදේශ රැකියා ඒජන්තකාරයින්ට. 
 
මිදෙන්න දූපත් මානසිකත්වයෙන්, විමර්ෂණය කරන්න ලෝකය ගැන, තිබෙන අවස්ථා ගැන. මිදෙන්න මම දන්නේ, මට පුළුවන් මේ ජොබ් එකම විතරයි සංකල්පයෙන්. දැනුම වැඩි කරගන්න, ගලප ගන්න ඔබේ වෘත්තීය හැකියාවන් මේ රටට ගැලපෙන තරමට. පැන ගන්න හරි විදියට, නිසි අවස්ථාවෙදී, පසුව පසුතැවිලි නොවී. මොකද ඉදිරි වසර කීපය තුළ රටට ගන්නා සංක්‍රමණික ඉල්ලීම් ප්‍රමාණය වැඩි කරන බවට, (2021 වෙත්දි වසරකට 350,000 දක්වා) අදාල බලධාරීන් දැනුම් දෙනවා.
 
කෙසේ වෙතත්, අපේ රටේ අය නින්දෙන් අවදිවෙලා කැනඩාව ගැන හොයද්දි, ඉන්දියානුවන්, පිලිපීන ජාතිකයින් සහ වෙනත් යුරෝපීය ජාතීන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනීවි කියලා හිතන්න කාරනා බොහෝමයි. (Canada is targeting 330,800 immigrant arrivals next year, rising to 341,000 in 2020, and 350,000 in 2021.)
 
කැනඩාවට එන්නට රිසි බොහෝ අය, මුහුණු පොත හරහා දිනපතා විවිධ ප්‍රශ්න විමසනවා මගෙන්. ඒ හැම  කෙනෙක්ටම, මම දන්න, අප අත්විඳි සහ කැනඩා රජයේ දත්තවලට අනුව පිළිතුරු සපයන්නම්. ඒත්, ඒ ප්‍රශ්න ටික අහන්න, මුහුණූ පොතේ මිතුරු ඉල්ලීම් එවන්නට අවශ්‍ය නැහැ. මක් නිසාද මගේ මිතුරු ගොමුව තුළ රැඳෙන්නේ, මා පෞද්ගලිකවම දන්න සුළු පිරිසක් පමණයි.
 
ලංකාවේ වෙලාවෙන් මහ දවල් කියන්නේ, අපට මහ රෑ. එ්නිසා මහ රෑ මැදියමේ ලැබෙන පණිවිඩයකට උත්තර නොලැබුණොත්, අමනාප වන්නට එපා. (පුළුුවන් නම්, ලංකාවේ වෙලාවෙන් පැය දොළහක් විතර අඩුකරල, මෙහේ වෙලාව තේරුම් අරගෙන මැසේජ් එව්වොත්, පහසුවක්. සියල්ලටම වඩා, මේ රට ගැන ටිකක් විස්තර හොයලා, බලලා පස්සේ කතා කරොත් අපි කාටත් ලේසි වේවි.
 
එහෙම නම්, හීතල දවසේ ලියවුනු ලියවිල්ල කියැවූවාට ස්තුතියි. හිතට ආ දේ ලියාගෙන ගියා මිසක මෙය මුදල් ගෙවා කැනඩා රජයෙන් කළ දැන්වීමක්  නොවේ.
 
සොඳුරු සුව අසපුව