මේ අවනඩුව අසනු !

මේ අවනඩුව අසනු !

8 February 2019 01:16 pm

දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම්කරුවාණෝය. උන්වහන්සේ සර්ව බලධාරීය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේය. මේ ඔබවහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතයය.
එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන්වත් ඔබ වගකීමක් දැරිය යුතුය. කියන්නේ නම් සර්වබලධාරී කියාය. එහෙත් වැඩවලින් නම් එහෙම පෙනෙන්නේ නැත.
 
මරණයෙන් පසු ඔබ විසින් අපට අත් කර දෙනවා යැයි කියන අපභ්‍රංසයන්ගෙන් අපට වැඩක් නැත. එලොවක් ඇද්දැයි අප හරිහැටි නොදන්නා නිසාය. මෙලොව කිසි දෙයක් හරි හැටි කරගන්නට අසමත් ඔබ එලොව දී ලබා දෙනවා යැයි කියන දේ විශ්වාස කරන ලෙස කීමට ඔබට අයිතියක් ඇතැයිද අපි නොසිතමු. ඒ නිසා එලොවක් තිබුනද එතැනදී ඔබෙන් අමතර යමක් වෙතැයි විශ්වාස කිරීම අමාරුය.
 
ඇතැම් තැනක ඔබ පෙනී සිටින්නේ එකම දෙවියා ලෙසය. තවත් තැනක තිස් තුන් කෝටියක් සගයින් සමගය. තව තැනක දිව්‍යාංගනාවන්ද පිරිවරා ඉන්නා සමූහයක් ලෙසය. තව තැනක ශිව විෂ්ණු ස්කන්ධ කුමාර යන එක් එක් නිශ්චිත නම්වලින්ය. ඇතැම් තැන්වල එක මූණක් ඇතිවය. තව තැනක මූණු සයක් ඇතිවය. තව තැනක කිසිදු මූණක් නැතිවය. ඇතැම් විට රූපයක් පවා නැතිවය.
 
රූපයකින් පෙනී සිටින තැන්වලදීද ඔබේ රූපකාය ගමෙන් ගමට රටින් රටට වෙනස් වන්නේය. ලංකාවේදී ඔබේ පෙනුම ලංකා වැසියෙකු නොවේ නම් ඉන්දියානුවෙකුට සමය. යුරෝපයේ එය වඩාත් කිට්ටු සුද්දන්ටය. අප්‍රිකාවේ ඔබ සැබෑම සැබෑ කල්ලෙකි. මේ වෙනසට හේතුව ඒ ඒ රටවල දේශගුණයද ඒ ඒ ජනතාව සමග ඔබේ ඇසුරද යන්න පැහැදිලි නැත. ඇතැම් තැනක අලි හොඩයක් දරා සිටින්නේ අලින් සමග ගනුදෙනුවක වූ පටලැවිල්ලක්ද යන්න ගැන තවමත් කල්පනා කරමින් ඉන්නෙමි.
 
ඔබ බාර ගන්නා පුදපඬුරුද තැනින් තැනට වෙනස් වන්නේ අප පුදුමයට පත් කරමිනි. ඇතැම් තැනක වයින් බොන ඔබ ඇතැම් තැනක පොල්ද පලතුරුද අනුභව කරන්නේය. තව තැනක අබ ගම්මිරිස්වලටද ඔබ කෑදර බව දැනගන්නට ඇත. ඒ සියල්ල අභිබවා මුදල්වලට ඇති ඔබේ ඇල්ම තේරුම් ගැනීම අමාරුය. ඇතිතරම් සම්පත් ඇති හිතූ පැතූ දේ ලැබෙන කප්රුකක්ද ඇතැයි කියන දෙව්ලොවක වසන ඔබට මුදල් මේ තරමට වැදගත් වන්නේ ඇයිද යන්න විසඳා ගැනීමට අමාරු ප්‍රශ්නයකි. ඊටත් වඩා තේරුම් ගැනීමට අමාරු කාරණය නම් පෙර කලෙක කාසිවලින් සැනසුණු ඔබ දැන් දැන් 'මොනර කොළම' ඉල්ලා සිටින්නේ ඇයි කියාය.
 
ඔබ බාර ගන්නවා යැයි කියන වගකීම්වලද නිමක් නැත. තරහවූවන් සමගි කිරීමටද නිවාස වාහන හීන සැබෑ කර ගැනීමටද සිතගිය පුද්ගලයා වශීකර ගැනීමටද වෛරක්කාරයින් තොලොංචි කර දැමීමටද වාහනය ආරක්ෂා කර දීමටද රට ආරක්ෂා කර දීමටද ලෙඩ රෝග සුවකර දීමටද කරන ව්‍යාපාර රැකීරක්ෂාවල දියුණුව සළසා දීමටද විභාග ජය ගැනීමටද වශයෙන් වන මේ ලයිස්තුව දිගය. විවිධය. සීමාවන්ගෙන් තොරය.
 
මේ එකක්වත් ඔබ නිකම් කරන්නේ නැත. ඒ සඳහා පඬුරු පාක්කුඩම් පිලිගැන්විය යුතුය. ඔබේ අත පිරිමැදිය යුතුය. කපු මහත්තයාට මුදල්ද දිය යුතුය. අල්ලස් කොමිසමටවත් මේ අල්ලස් ගැනීම පේන්නේ නැති නිසා ඔබ තවම යහතින් ඉන්නෙහිය. අලුතෙන් එනවා යැයි කියන අල්ලස් පනතේවත් මේ අල්ලස් අල්ලා ගැනීමට ප්‍රතිපාදනයන් ඇතැයි සිතිය නොහැකි නිසා මේ අලුගේත්තුරු වැඩේ දිගටම ඔබට කර ගෙන යා හැකිය.
 
මගේ ව්‍යපාරය දියුණු වේ යැයි මා ඔබෙන් ඉල්ලන විට අල්ලපු ගෙදර මිනිහා ඔබෙන් ඉල්ලන්නේ මා තොලොංචි කර දමන ලෙසය. මේ දෙන්නාගෙන්ම පඬුරු පාක්කුඩම් කිසි හිරිකිතයක් නැතිව පිලිගන්නා ඔබ මේ දෙන්නාගෙන් කවරෙකුගේ ඉල්ලීමට සංවේදී වන්නේදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන්, ඒ කියන්නේ අවසාන වශයෙන් නැවතත් ඔබම, පමණය.
 
අප නැති වූ දේ සොයා ඔබ වෙත පැමිණියද ඔබේම දේවාලයේ කපු මහත්තයා දේවාලයේ යමක් නැති වුනොත් යන්නේ පොලීසියටය. ඒ කුමන හේතුවක් නිසාදැයි දන්නේද උඩ ඉන්න දෙවියන් නැතහොත් ඔබතුමා පමණය. කපුවාට නම් විලිලජ්ජාවක් නැතිකම නිසා හෝ නැති වූ බඩුව ගැන තියෙන කෑදරකම නිසා හෝ එසේ කිරීමට හිත් දෙනවා විය හැකිය. මේ වැඩේ කැත ඔබතුමාටය. ඔබතුමා මෙසේ නෝන්ඩි කරන කපුවාට දෙවාලයේ ඉඩ දීම නිසා බහින්නේ ඔබේ වටිනාකමය. එය ඔබට නොතේරීමද පුදුමයකි.
 
කට වරද්දා ගැනීම
 
ඔබට විරුද්ධව කටක් හොල්ලන්නට මිනිසුන් බියය. ඒ කට වරද්දා ගත්තොත් ඔබ ඔවුනට ඇණයක් වන නිසාය. එලව එලවා පහර දෙන නිසාය. හොම්බෙන් යවන නිසාය. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් එය දැන් සමාජගතව තිබෙන්නේය. ඒ ඔබගේ නියෝජිතයන්ට පින් සිදු වෙන්නටය.
 
ඇතැම් තැනක ඔබේ පිළිසරණ පතන අයට සිදුව ඇත්තේ අපා දුක් විඳීමටය. කොකුවලින් එල්ලනු ලැබ සිටීමටය. පිච්චෙන ගිනි ගොඩ උඩින් පන එපා කියා පැන දුවන්නය. ඒ සියල්ල කරන ලෙස ඔබ විසින් ඔබේ අනුගාමිකයන්ට බල කරන්නට ඇත්තේ ඒ හරහා සෙසු මිනිසුන්ගේ භක්තිය ඔබ වෙත දිනාගන්නට විය යුතුය. එසේ වුවද ඒවා නම් පව් වැඩය.
 
ඒත් කාලෝ ෆොන්සේකා නම් දොස්තර කෙනෙක් මේ වැඩේට අකුලක් හෙලූ බව අපට ආරංචි වුනේය. ඒ මනුස්සයා දැන් කියව කියව යන්නේ තමන් වසර 80 ක් ජිවත්වුනු නමුත් තමුන්ට කුමන හෝ අගතියක් කරන්නට ඔබ සමත් නොවූ බවය. ඒ උපහාසය නම් දරා ගන්නට අමාරුය. ඇත්තටම පොඩි කට වැරැද්දකටත් දඬුවම් දෙන ඔබ, ඔබේ පිළිවෙත් සියල්ල ඉවත දමා මස් අනුභව කර අරක්කු බී ගිනි පෑගූ මිනිසාටවත් ඒ සඳහා උන් මෙහෙයවූ කාලෝ ෆොන්සේකා දොස්තරටවත් මුකුත් නොකළේ මන්දැයි මිනිස්සු ඊයේ පෙරේදා කතා කරනු මටද අසන්නට ලැබිණ.
 
ඔබ සතුව පඬුපුල් අසුන කියා එකක් තිබුණා යැයි මා අසා ඇත. එහි වාඩි වී සිටින විට පිහිට විය යුතු කිසියම් කෙනෙකු දුකට අනතුරකට පත්ව ඇත්නම් එය උණුවන බවද ඒ අනුව ඔබ මෙලොවට බැස ඒ තැනැත්තාට පිහිට වෙන බවද මා විසින් වැඩිදුරටත් අසා ඇත. සමහර විට ඒ ඉස්සර වෙන්නට පුළුවන. දැන් නම් එහෙම සිදු වන බවක් පෙනෙන්නට නැති නිසාය. ඇතැම් විට දිගින් දිගට උණුවීම නිසා එය දියව ගොස් වෙනත් අසුනකට මාරු වීමට ඔබට සිදු වුනා වන්නට පුළුවන.
 
මට එකක් සම්බන්ධයෙන් නම් ඔබ ගැන දුකය. ඒ අපි නවීන වාහනවලින් ගමන් බිමන් යද්දී, ඔබේම කපු මහත්තැන්ලා ඊටත් වඩා සුපිරි රථවල යද්දී, ඔබ තවමත් මීයෙකුගේ, ගොනෙකුගේ, ඒත් නැත්නම් මොනරෙකුගේ පිටේ යෑම ගැනය. ඒ පෙර ආත්මයක ඔබ කරන ලද කර්මයක් විය හැකිය. අපට උදව් පදව් කළාට තමන්ට එහෙමට දෙයක් කර ගන්නට ඔබට වුවමනා නැති නිසා පෙර පරිදිම මීයාගේ පිටේ යනවා වන්නටත් පුළුවන. ඒත් ඔබට වඳින වාරයක් පාසා මේ ගැන මතක් වී මගේ පපුව හෝස් ගා පත්තු වෙන්නේය.
 
ඔය පරණ බර කරත්ත ඉවත දමා අලුත් කාරෙකක් ගන්න ඉක්මණට හිතුවොත් හොඳය. අපේ නම්බුවට වුනත් ඔබ යන වාහනය හොඳ මදිය. තවමත් මීයෙකුගේ පිටේ යන කෙනෙකුට අපිත් වඳිනවා යැයි කීම අපටද අවනම්බුවකි. ඒ ගැනවත් සළකා ඔය වාහනේ මාරු කර දමන්නට කල්පනා කරන එක හොඳය.
 
අතරමැදියාගේ වැඩ
 
උසාවියේ නඩු කතා කළ යුත්තේ නීතිඥයෙකු හරහාය. දේවාලයේදී ඔබ ඇමතීමට කපුමහත්තයෙක් පත් කර ගත්තේ ඒ අනුවද ? අපට ඔබ හා කෙළින් කතා කිරීමට නොහැකිවන සේ කපුවෙකු මැදට ගත්තේ වෙන අහවල් කෙංගෙඩියකටද ? ඕවා සිල්ලර වැඩය. ආණ්ඩුවේ කන්තෝරුවල ලොකු මහත්තුරු, පියන්ලා, ලේකම්ලා ඉස්සරහට දමාගෙන කරන්නා වැනි අලුගේත්තුරු වැඩය. ඔය ආඩම්බරකම් ඉවත දමා කෙළින් අප සමග කතාවට එන ලෙස අපි ඔබෙන් ඉල්ලමු. ඒ තරමටම කපුමහත්තුරු දැන් අපට එපා වෙලාය. ඒ හරහා ඔබද එපාවීමට කලින් එහෙම වැඩ පිළිවෙලකට ආවා නම් හොඳය.
 
ඇතැම් වෙලාවට අපට හිතෙන්නේ කපුවා ඔබටද වඩා බලවත් බවය. අපට කට වැරදුනත් කේන්ති ගන්නා ඔබ කපුවා දේවාලයේ කැත කළද අහක බලන බවට කතාවක් ජනතාව අතර ඇත්තේ කපුවාට රිස්සක් කර ගන්නට ඉඩ දී ඔබ ඉවත බලා ගන්නා නිසාය. ඒ වැඩේ හරි නැත. ඔබට මෙන්ම මිනිසුන්ටද හොඳ නැත. හොඳක් ඇත්නම් ඒ කපුවාට විතරමය. ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඇතැම් කපුවෝ මිනිසුන් අමාරුවේ දානවා මදිවාට ගෑණුන්වද අමාරුවේ දාන්නෝය.
 
කපුවා විතරක් නොව අතරමැදියන් ලෙස කටයුතු කරන පූජකයන්ගේද ලොකු වෙනසක් නැත. ළමා අපයෝජනයෙන් පටන්ගෙන බොහෝ අපරාධවල නිරත වෙන ඔබේ ඇතැම් පූජක නියෝජිතයන් කපුවන්ට කොහෙත්ම දෙවැනි වන්නට සූදානම් නැත. මේ අතරමැදියන්ට හිතුමතේ ජනතාව ගසා කෑමට ඉඩ දීම, ඔවුන් හිංසාවට පත් කරන්නට ඉඩ දීම, ඔබ වැනි දෙවියෙකුට කොහොමටත් තරම් නොවෙතැයි මගේ වැටහීමය.
 
'එය දේව වාක්‍යයක් ලෙස ඇදහිය යුතු නොවේ'යැයි ඇතැමුන් කියනු මා අසා ඇත. එසේ කියන්නේ අවශේෂ මිනිසුන් කියන දේ ගැනය. එයින් අදහස් කරන්නේ යමක් කියා ඇත්තේ දෙවියන් විසින් නම් එය වෙනස් නොවිය යුතු බවය. එය එලෙසම ඇදහිය යුතු බවය. දෙවියන් කියන දෑ අවශේෂ මිනිසුන් විසින් වෙනස් නොකළ යුතු බවය. ඔබට ඒසා විශාල බලයක් ඔවුන් දෙන්නේ මොන හේතුවකටදැයි මට සිතා ගන්නට බැරිය. එයට එක් හේතුවක් නම් ඔබගේ වැදගැම්මකට නැති දෙබිඩි පැවැත්මය.
 
ඔබගේ ඇතැම් වැඩ බලන විට සහ ඔබ ගැන ඇතැම් පූජකයන් කියන දේ අසා සිටින විට, පෙනී යන්නේ ඔබ සාධාරණත්වය ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටින බවය. ඒ මරණින් මතු ඔබ හා එක්වන්නට හොඳ මිනිසුන්ට අවස්ථාව සළසා දීම හරහාය. ස්වර්ගයේ දොරටු අධම පව්කාරයින්ට වැහීම හරහාය. එහෙත් තවත් ඇතැම් වැඩ බලන විට පෙනෙන්නේ ඔබ වාචික හා ද්‍රව්‍යමය අල්ලස් ගන්නා බවය. ඒ ඔබව නොඅදහන්නන් නිරයට යැවීමෙන් හා ඔබව වර්ණනා කරන්නන්ට ස්වර්ගය විවෘත කිරීමෙනි. පුදපූජා පවත්වන අයට වැඩිපුර සැලකීමෙනි. පඬුරු පාක්කුඩම් පිරිනමන අයට, යාඥා කරන අයට, අන් අය අභිබවා උදව් කිරීමෙනි. මේ කරුණු විමසන විට අපට පෙනෙන්නේ ඔබ පුහුදුන් මිනිහෙකුට වෙනස් නැති බවය. හොඳ තරමට නරකද ඔබ ළඟ අඩු නැතුව තිබෙන බවය. එහෙමට ගන්න විශේෂ අටමගලයක් ඔබ ළග නැති බවය.
 
හැංගිමුත්තම්
 
ඔබ තරම් හැංගිමුත්තමේ දක්ෂයෙක් මේ සක්වලම නැත. හැමදෙනාම ඔබ ගැන කතා කරන මුත් ඔබ මුණ ගැසුණු කෙනෙක් සොයා ගන්නට නැත්තේ ඒ නිසා විය යුතුය. ඇත්තටම අප මුණ ගැසෙන්නට නෑවිත් ඔබ ඔය කරන වැඩේ තේරුම කුමක්ද ?
 
දෙවියන් වහන්ස, දරුණු වසංගතයන්ගෙන්, දුර්භික්ෂයෙන්, සාගතයෙන්, ගංවතුරෙන්, සුනාමියෙන්, මිනිසුන් දස දහස් ගණනින් මිය යද්දී ඔවුන්ගේ ගැලවුම්කාරයා වූ ඔබ සැඟව සිටියේ කොහිද ?
 
උනුන් පැරදවීම සඳහා යුද්ධ කළ පාර්ශවයන්ට මැදිව කිසිදු සම්බන්ධයක් නැති සිවිල් වැසියන් සිය දහස් ගණනින් මිය යද්දී තුවාල ලබද්දී අබ්බගාතයන් බවට පත් වෙද්දී, සාමයේ දූතයා වූ ඔබ හැංගී සුර සැප වින්දේ කොහේද ?
 
ත්‍රස්තවාදීන් විසින් උන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කිරි දරුවන් පවා මරා දමද්දී, අහිංසකයන් ආගමේ නාමයෙන්, ඒ කියන්නේ ඔබේ නාමයෙන්, පරලොව යවද්දී ලොවම වනසද්දී, දෙවියනි, මිනිසා මැවීමට උනන්දු වූ ඔබ අහක බැලුවේ මොන හිතකින්ද ?
 
මැරයන් විසින් කාන්තාවන් දූෂණය කරද්දී, ඔවුන්ට අවජාතක දරුවන් දයාද කරද්දී, ඒ හරහා ඔවුන්ගේ මුළු ජීවිතම අඳුරට හෙලද්දී, අහිංසක සුකුමාලියක් ලෙස ගැහැණිය මැවූ ඔබ රහසින් රති සුව වින්දේ කුමන දිව්‍යංගනාවක තුරුලේද ? මිනිසුන් විසින් මහන්සියෙන් ඉපැයූ දේ සොර සතුරන් විසින් පැහැර ගනිද්දී අපේ ආරක්ෂකයා වූ ඔබ නොදුටු ඇස් ඇතිව නෑසූ කන් ඇතිව සිටියේ කුමන මනසකින්ද ?
 
දරුවන්ට දෙමාපියන්ද දෙමාපියන්ට දරුවන්ද ඇතැම් විට අකාලයේ අහිමි කරමින් ඔබ අපෙන් ඇතැමෙක් පමණක් තෝරාගෙන පරීක්ෂණයට ලක්කරන්නේ මන්ද ? හැමට සර්ව සාධාරණ එක පරීක්ෂණයක් වෙනුවට අහම්බෙන් තෝරාගත් ඇතැම් අයට සරල පරීක්ෂණත් සෙසු අයට පහසුවෙන් ජයගත නොහැකි අභියෝගතා පරීක්ෂණත් දෙන්නේ කුමන පදනමක් මත හිඳගෙනද ?
 
ඇත්ත යුක්තිය මුළු වදිද්දී, බොරුව හා අසාධාරණය පිනුම් ගසද්දී, මුලාව හා වංචාව එලිපිට රඟද්දී, දෙවියනි, සාධාරණත්වයේ ප්‍රතිමූර්තිය වූ ඔබ මුණිවත රැක්කේ කෙසේද ?
 
ඔබේ නමින් කපුවන් හා පූජකයන් මිනිසුන් මුලා කරද්දී, කප්පම් ගනිද්දී, ගසා කද්දී ඔබ අහක බැලුවේ කෙසේද ? වෙන මොකක් නැතත් ඔබේ නමින් කරන ඒ නින්දිත වැඩ ගැනවත් මැදිහත්වීමට ඔබ විසින් කටයුතු කළ යුතුව තිබුණි.
 
මිනිසාද ඔබගේ නිර්මාණයක් බව කියන්නේ වුවද මේ හැංගිමුත්තන් සෙල්ලමෙන් පෙනෙන්නේ ඔබ මිනිසාගේ හිතළුවක් පමණක් බවය. ඔබ මිනිසා නිර්මාණය කළා නොව මිනිසා විසින් ඔබ නිර්මාණය කරන ලද බවය.
 
තවත් ටික කාලයකට නූගත් මිනිසුන්ගේ සිත් තුළ ජිවත්වීමේ භාග්‍යය ඔබට තිබිය හැකිය. එහෙත් නුදුරු අනාගතයේ දිනක ඔබ ඉතිහාසයට එකතුවීමට නියමිතය. ඇතැමෙක් කැමති ඔබ ඉතිහාසයේ කුණු බක්කියට තල්ලු කරන්නය. ඒ ඔබේ ඊනියා නියෝජිතයන්ගේ වැඩ කටයුතු නිසාය. මම නම් කැමති ඔබ කටුගෙට පිටත් කරවීමටය. ඒ, අද කුමක් වුවද, ඔබ මිනිස් ඉතිහාසයේ විශාල කාලවකවානුවක අපේ ජීවිතය සමග බද්ධව සිටි නිසාය. බොහෝ දේ ගැන අප නොදැනුවත්ව සිටීම හේතුවෙන් අප තුළ වූ බිය යම් පමණකට සමහන් කර ගැනීමට ඔබද පිහිට වූ නිසාය. අද වනවිට යල් පැන ගිය, ප්‍රයෝජ්‍ය වටිනාකමක් නැති එකක් වුවද කෞතුක වස්තුවක් ලෙස ඔබ සිහිපත් කිරීමට මා කැමති ඒ නිසාය. ඒ කුමන ක්‍රමයකින් හෝ ඔබ ඉතිහාසයට එක්වන එදවස වැඩි ඈතක් නොවනු දැකීම නම් අපේ එකම පැතුමය. ඒ ඔබගේ බරින් මිනිසුන් ඉක්මණින් නිදහස් වනු දැකීම අපේ අපේක්ෂාව නිසාය.
 
වචන සෙල්ලම්