පඩි වැඩි වීම සහ භූමි කම්පා ! - Lanka News Web (LNW)

පඩි වැඩි වීම සහ භූමි කම්පා !

පහුගිය වංගියක කණ්ඩගෙ මෙන්ම හාමිනේගෙත් පඩි වැඩිවීම බොහොම සතුටු වෙන්න ඕන කාරණයක්, ඒ ගැන හාන්කවිසියක උනන්දුවක් හෝ බලාපොරොත්තුවක් නොතිබුණත් දෙන දෙයියෝ ඔඩොක්කුවටම ගෙනත් හලනකොට එපා කියන්නට බෑ නෙව.
 
මේ වෙනස නිසා අපි දෙන්න කොයිතරම් නම් උද්දාමයට පත් උනාද කිව්වොත් දැන් ඉන්නෙ හඳ අල්ලන්න හූවක දුරින් බව කියන්න සතුටුයි.
 
නමුත් දැනට හය මාසයකට එහා අතීතයේ දවසක සිද්ද උන මේ විස්තරේ ආපහු  ලියන්න මතක් උනේ ඊයෙ පෙරේද උන ඇබැද්දියක් නිසා. හඳ අල්ලන්න බලාගෙන හිටපු කණ්ඩා දෙමහල්ලො එතෙක් පාවෙමින් සිටි සබන් බෝලය හිල් වෙලා ගිය හැටි කතාව සහ තවත් අතුරු කතා, කතා මැද කතා ඇද බාන්න තමයි මේ හදන්නෙ.
 
මේ හැම දේම පටන් ගත්තෙ පහුගිය ඉරිද ඔටුවගෙ රටේ ඉන්න නිසා හිජ්රි දින දර්ශනයට අනුව හරියටම කියනව නම් හිජ්රි වර්ෂ 1440, ජුමාදා අල් තානි 5 වැනිදා (හරියට කිව්වද මන්ද, වැරදුනයි කියල ලේ කෝප කරගන්නව හෙම නෙමෙයි) මහ දවල් හාමිනේ හදිස්සියේම කතා කරලා පොළොව හෙල්ලෙනව කිව්වයෙන්.
 
පොළව හෙල්ලෙනව … ? උඩ අතටද ? හරස් අතටද ? නැත්තං අහස කඩන් වැටෙනවද ?
 
ඒ අර මොනතරම් සීරියස් දෙයක් උනත් හැම දේටම මොකක් හරි නොකියාම බැරි කුප්ප කමට මම අහපු මුල්ම ප්‍රශ්න වැල ?
 
ඒ පාර ඔන්න හාමිනේ දෙස් දෙවොල් තියන්න ගත්ත කණ්ඩට …
 
ඔයාට මේ ලෝකෙ හැම මගුලක්ම විහිළු … බොරු නෙමෙයි ගෙයි පොළොව හෙල්ලෙනව … මගේ ඔළුවත් කැරකෙනව !
 
ඇත්තම කිව්වොත් මේ බැනුම් වැල අහපු ගමන නම් මටත් හොඳටෝම තරහ ගියා, මොකද අපේ ගෙදර පොළොව පොඩ්ඩක් ඇද උනාට හෙල්ලෙන්නෙ නෑ කියල මම සහසුද්දෙන්ම දන්නව.
 
ඔය පොළොවෙ ඇදය නිසා තමයි මම සාමාන්‍යයෙන් ගෙදර වැඩක් කරන්න ගියහම ඇදගෙන නාන්නෙ, ඔෆිස් එකේදී එහෙම නෑ එතන හොඳ සමතලා පොළොව. දැන් ඉතිං අහන්න එපා එතකොට හාමිනේගෙ වැඩ ගැන … බත් කාඩ් කැන්සල් වෙන්න ඉඩ තියෙනව.
 
කතාවෙන් පිට පැන්නද මන්ද … ආ … පොළොවත් හෙල්ලෙනව … ලු ඔළුවත් කැරකෙනව .. ලු … ෂුවර් එකටම හාමිනේ බාගෙට ඉවර වෙලා තිබ්බ මැජික් අරිෂ්ඨ බෝතලේට වග කියල.
 
පෙනේද ඉන්නෙ හරියට දහයට ගණින්න බැරි තරමට සිල් ගත්ත උපාසකම්ම වගේ කට ඇරියොත් නම් මතට තිත, අපි පොඩ්ඩක් රත් උනොත් තමා අවුල … එහෙව් එකේ මුන්දැ අද තනියෙම වැනෙනකං අනුමත වෙලා.
 
මේ ගිනි දවල් අර ඉතිරි බාගෙ බිව්ව නේද ? 
 
කතරගම දෙයිහාන්දුරුවන්ගෙ මොණර පල්ල මම ඔය ජරාව කටේ තියන්නේ නැහැ කේක් වලටයි අයිස් කෝපි වලටයි විතරයි දාන්නෙ !
 
හාමිනේ දන්නා කියන හැම දෙයියො ගැනම දිව්රලා බැරිම තැන මොණරවත් අල්ල ගත්ත.
 
බොරු නම් මේ බලන්න ගෙදර එල්ලලා තියෙන ලෑම්ප් ඔක්කොමත් පැද්දෙනවා … ඔන්න මං විඩියෝ එකකුත් එව්ව !
 
 
අප්පටසිරි ඇත්ත නේන්නම්, මේ කොයි වෙලාවෙද ?
 
දැන් ටිකකට කලින් … මම ටීවී එකේ හොල්මන් කතාවක් බල බලා උන්නෙ … මේ හොල්මනක්ද කියලත් මට සැකයි … ?
 
නෑ … නෑ … ඔය ගෙදර ඔයාට වැඩිය හොල්මනක් ඉන්න කොහෙත්ම විදිහක් නෑ .. ඒ නිසා මේක භුමි කම්පාවක් (Earth Tremor) වෙන්න ඕන. ඉන්න පොඩ්ඩක් මම නිවුස් මොනව හරි තියෙනවද බලන්න.
 
මම විගහට ජංජාලෙට රිංගල බැලුව … හුටා … හරිනේ වැඩේ … ඉරානය කිට්ටුව රික්ටර් මාපක 5.0 ක් භූමිකම්පාවක් ඇවිල්ල, බලාගෙන යනකොට හාමිනේ බොරු නෙමෙයි කියල තියෙන්නෙ.
 
 
ඉක්මනට අනිත් පැත්තට හැරෙන තැපෑලෙන් ගත්ත කෝල් එකක් හාමිනේට.
 
මේ තාම පොළොව හෙල්ලෙනවද ? ඉක්මනට පඩි පෙළ දිගේ පරිස්සමට බහින්න.. ලිෆ්ට් එක පාවිච්චි කරන්න එපා.
 
ඔයාට පිස්සුද … අර කලින් බිල්ඩිමේදි වගේ තට්ටු ගාණක් පඩි බැහැල ආපහු උඩට නගින්න ?
 
කලින් හිටිය බිල්ඩිමේ ලයිට් ගිහිල්ල තට්ටු 14ක් දෙපාරක් නැගල බැහැපු නිසා කණ්ඩ අමාරුවෙන් හදාගත්ත ඇඟෙන් කිලෝ එකක් විතර අඩු උනා (හිතට අමාරුයි මොනව කරන්නද ?).
 
තවත් පාරක් 2014 දි වගේ ඒ බිල්ඩිමේදිම මේ වගේම සුළු භූමි කම්පාවකට පඩි පේළි දිගේ පල්ලම් බහින වාසනාව හාමිනේට ලැබිල තිබුණ. ඒ වංගියේ වැඩි ආරක්ෂාවට බිල්ඩිමේ රැඳී හිටපු අය සියළු දෙනා ඉවත් කරන්නට බිල්ඩිම බාර ආරක්ෂක නිලධාරීන් පියවර අරගෙන තිබ්බ.
 
එදා පාර ගෙදර උන්නෙ හාමිනේ විතරක් නිසා අල්ලපු ගෙදර හිටිය අලුත ඉපදුන පොඩි එකෙක්වත් වඩාගෙන ඒ අම්මවත් වත්තන් කරගෙන පඩි පේළිය දිගේ බැහැල එද්දි ඒ දෙන්නවත් පෙරළාගෙන වගේ කඩිමුඩියේ බැහැපු අය කට්ටිය ලිෆ්ට් එකේ උඩට යනවලු දැන් අවුලක් නෑ කියල ?
 
මේ ඔක්කොම කල්පනා අතරෙත් හාමිනේ දිගටම මට ආඩපාලි කියනව …
 
දැන් පොළොව හෙල්ලෙන එක නැවතිලද කොහෙද උදේ ඉඳන්ම වැඩකරල (මොබයිල් ගේම් ගහල) හරි මහන්සියි මං යනවා ටිකක් නිදා ගන්න.
 
ඔන්න ඔහොමයි මිත්‍රවරුනි ඒ කතාව අහවර උනේ … ඒ අතින් බැලුවම අපේ හාමිනේ දාහකින් හොයා ගන්න බැරි … වීරෝධාර ස්ත්‍රීරත්නයක් ආයි නෑ කූඩෑල්ලො, මැහි මදුරුවන්ට බය උනාට භූමිකම්පා වලට බය නෑ …
 
කොහොමටත් දැන් ඉන්න බිල්ඩිමේ ආරක්ෂක නිලධාරින් එහෙමත් හරි තැන්පත් උදවිය … ආයි නෑ භූමිකම්පාවකට උනත් සැලෙන්නෙ නෑ … නිදහසේ කෝපි කෝප්පයක් බීල දුමක් ඇදල මිනිස්සු මැරිල හිටියොත් හෙමින් සීරුවේ කෙළින්ම මෙහේ තියෙන “අල් ජයරත්න” එකකට කතා කරයි 
 
ඉතිං මේ කුරුටු ගැන අල්ල පනල්ලෙ එක පාරටම දඩි බිඩිං … ගාල හතර ගාතයෙන් පියවි ලෝකයට ඇදං වැටුණ කණ්ඩගෙ මතකයට ආවෙ උඩ පැන්නොත් බිම වැටේය කියල තියෙන එකේ අපේ ජීවිතේට වෙන්න පුළුවන් අනතුරු කොයිතරම්ද කියල.
 
මෙයිට කලිනුත් ඕනෑම දෙයක ප්‍රායෝගික පැත්ත හොයන මිත්‍රයෙක්, අපේ පඩි වැඩි උන බව දැනගත්ත වහාම අනතුරු ඇඟවීමක් කරා.
 
ඕනවට වඩා උඩගියා වගේ නෙමෙයි, බලපංකො ඔය කොයිකෙත් රඟේ ලයිට්‌ කපාපු දවසකට හරි කරුමෙකට බිල්ඩිම ගිනි ගත්ත දවසට ( ඔව් මෙහෙත් ඉඳ හිට එහෙම වෙනව 
 
අඩු තරමේ ඉස්සරහට හරි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා මම හිතෙන්ම අනතුරු ලැයිස්තුවක් හැදුව
 
ගිනි අනතුරු
විදුලි අනතුරු
භූමි කම්පා
නමුත් එතකොටම මට මතක් උනේ දැන් ටික කාලෙකට කලින් හාමිනේට කියල අග්ගලා හදාගෙන කන්න දොළ දුකක් හැදිල ලෙසටම ඉල්ලගෙන කන්න ගොහින් නූලෙන් නතර උන හැටි. (ඔන්න කැමති අයට බලන්න පුළුවන්  : අග්ගලා පෙරේතකම මරණයටද හේතු විය හැක ! – Aggala Kills ! )
 
පූරුවේ පිනකට මේ සිද්ධිය වෙන්න සති කිහිපයකට කලින් ගිණි නිවන උපකරණ පාවිච්චිය ගැන පුහුණුවක් දීල කණ්ඩව කන්තෝරුවේ ෆයර් මාර්ෂල් (Fire Marshal) කෙනෙක් කරපු නිසා තවම දෙන්නම පණ පිටින්. අවුලකට තියෙන්නෙ හදිස්සියකට අඩි 10 ක් දුවා ගන්න බැරි මංතුමා දැන් කන්තෝරුවේ ගිනි අනතුරු නළාව (Fire Alarm) වැදුනහම හැමෝම එළියට යනකන් කන්තෝරුව ඇතුලෙ ඉන්න ඕන එක තමයි  ?
 
බැඳ ගත්ත බෙරේ දැන් කොහොමත් ගහන්න එපැයි. මම අර කලින් හදපු අනතුරු ලැයිස්තුව උඩින්ම හාමිනේගෙ නමත් දැම්ම ?
 
~ කණ්ඩා !
 
පසු ලිපි :
 
මේ පහළින් තියෙන ලිපියෙ සෑහෙන්න ඉගෙන ගන්න යමක් තියෙනව කැමති උදවිය ගොහිං කියවන්න, හැබැයි හාමිනේලා  හැම ගින්නක්ම මේ උපදෙස් වලින් නිවන්න බැරි බව ස්වාමිපුරුෂයන් වන ඔබ සියලු දෙනා මතක තබා ගන්න ?
 
 
බොරු නෙමෙයි පිටට නොපෙන්නුවට සමහර හාමිනේලත් ගින්දර, භූමිකම්පා වගේ තමයි. එනිසා මෙයිට වැඩිය හොඳ පුහුණුවක් බඳින්න ඉන්න වෙන්ට ස්වාමි පුරුෂයන්ට දෙනව නම් අගෙයි.
 

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb