රබරෝසි මල් පලස........2 - ගම්පෙරළිය, නිළියක් යයි කියාගන්නා චාන්දනී සහ සිංහලේ අත්තා…

රබරෝසි මල් පලස........2 - ගම්පෙරළිය, නිළියක් යයි කියාගන්නා චාන්දනී සහ සිංහලේ අත්තා…

29 March 2019 01:56 pm
"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."
 
වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......
 
ඔය ජී.ඒ. මහත්තය හරිම හිත හොඳ මනුස්සය. තමන් යටතෙ ඉන්න සේවකයින්ට හරිම හොඳ ස්වාමියෙක්. ඒ වගේම  කච්චේරියට වැඩක් කරවගන්ට එන සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ සේවකයෙක්. 
 
"මනුස්සයො අපි මෙතන්ට ඇවිල්ල ඉන්නෙ ඒ අහිංසක මිනිස්සුන්ට වැඩ කරන්ට. ඒ මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ඉස්ට සිද්ද කරල දෙන්ට. තමුන් ගැනනම් මම කියන්ට දන්නෙ නෑ. ඒත් මම නම් දෙණියායටත් එහා හද්ද පිටිසර ගමක ඉපදුනු මිනිහෙක්. මේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙනගෙන මගේ හැකියාව හින්ද මෙතනට ආපු මිනිහෙක්. එහෙම එකේ මට පුලුවන් මට්ටමින් ඒ මිනිස්සුන්ට වැඩක් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය. මම එක්ක මෙතන තව දුරටත් වැඩ කරන්ට උවමනාවක් තියනවනම් තමන්ටත් අන්න ඒ විදිහට හිතන්ට වෙනව තේරුණාද? ආය මම නරක මිනිහයි කියල කියන්ට එහෙම එපා..මම හොඳට බොහොම හොඳයි වගේම තමයි යකා වැහුනම මම බොහොම දරුණුයි.."
 
වගාව ආරක්සා කරගන්ට ගිණිඅවි බලපත්‍රයක් ගන්ට ආපු අඹගහවැව මනුස්සයෙක්ගෙන් සුංගමක් ඉල්ලපු කලින් හිටපු සී.සී. මහත්තයට ජී.ඒ. මහත්තය එහෙම ගෝරනාඩු කලාය කියල මට දවසක් කිව්වෙ අපේ ලැම්බට් අයිය.
 
ජී.ඒ. මහත්තය කොච්චර ගුණ යහපත් මනුස්සයෙක්ද කියනවනම් ඔහොම සී.සී. මහත්තයගෙ ඇඟට ගොඩ වුනෙත් කච්චේරියෙදි එහෙම නෙවෙයි.  හවස නිල නිවාසෙට ගෙන්නල. කච්චේරියෙ ඔය විදිහට ගෝරනාඩු කලාම ආය ඒ මනුස්සයට රෙද්දක් ඇඳන් රාජකාරියට එන්ට බැරිවෙන විත්තිය දන්න හින්දයි ජී.ඒ. මහත්තය එහෙම කරල තියෙන්නෙ. අර මනුස්සයට තමංගෙ වැරදි හදාගන්ට අවස්තාවක් දෙන්ට ඕන කියල තමයි එතුමා හිතල තියෙන්නෙ. 
 
ඒත් ආය මොනවද එතුමාගෙ ගෝරනාඩුව ඊට පහුවදා දවල් කෑම පැය වෙනකොට කච්චේරියෙ මුලු වසක්කං පැතිරිල ගියා කිවුවම. ඒක උනේ ඔය නිල නිවාසෙ තිබ්බෙත් කච්චේරිය පේන මානෙ. ජී.ඒ මහත්තය ඒකෙ හිටියෙ තනියම. නෝනයි දරුවොයි ගාල්ලෙ. ගෙදර වැඩට හිටියෙ ජේමිස් කියල වයසක මනුස්සයෙක්. ඒ මනුස්සය අපෙ ඔය තේනබදු අයියලගෙ එහෙම හොඳ කූටාලිය. ඉතිං ආය අහන්ටත් දෙයක්ය පහුවදා උදේ සී.සී. මහත්තය වැඩට එන්ටත් ඉස්සර වෙලා ගෝරනාඩු ආරංචිය සේවයට වාර්තා කලා..හෙහ්..හෙහ්..සති දෙකක් ගියේ නෑ සී.සී. මහත්තය අනුරාදපුරේට මාරුවක් හදාගෙන ගියා.
 
"ජයසේන දන්නවත් ඇති මයෙ හිතේ මොකක් ගැනද මම කියන්නෙ කියල.." ජී.ඒ. මහත්තය යම්තමට හිනාවෙලා කිව්ව.
 
විස්තරේ සහසුද්දෙන් දන්නව උනාට එහෙම කියන එක හරි නැති හින්ද මම ඒ බවක් කියන්ට ගියේ නෑ.
 
"නෑ සර් මම දන්නෙ නෑ…" මම බිම බලාගෙන කිව්ව.
 
"මේ නිර්නාමික පෙත්සමේ තියෙන්නෙ ඔය ඉළන්දාරිය අර පලුගස්දමන පැත්තෙ කොහෙද තැනකට නිතරම යනව එනවය, දැං එහෙ ස්ථිරවම පදිංචි වෙලා වගෙය ඉන්නෙ කියල"
 
මම උත්තරයක් නොදී එක එල්ලේ ජී.ඒ. මහත්තයගෙ මූණ දිහා බලාගෙනම හිටිය. 
 
"ලොකු පුතේ..කවදාවත් උඹ වරදක් කරල නැත්නම්..මම මේ කියන්නෙ රටේ ලෝකෙ නීතිය අනුව නෙවෙයි උඹේ හර්ද සාක්ෂිය අනුව..හර්ද සාක්ෂිය අනුව උඹ වරදක් කරල නැත්නම් මහ රජ්ජුරුවන්ගෙ උනත් කමක් නෑ කෙලින්ම ඇස් දෙක දිහා බලාගෙන කතා කරපන්.."
 
අපෙ අප්පච්චි දවසක් එහෙම කිව්වෙ මම හතේ පන්තියෙ ඉන්න කාලෙ  හතේද අටේද කියල මට හරියට මතකයක් නම් නෑ ඉස්කෝලෙ හවස වොලිබෝල් පුහුණුවක් තියනවයි කියල අම්මට බොරුවක් කියල යාලුවො දෙන්නෙකුත් එක්ක නුවර වේල්ස් හෝල් එකේ "කස්තුරි සුවඳ" චිත්‍රපටය බලන්ට ගිහිල්ල ඒ සිද්ධිය අප්පච්චිට දවස් දෙක තුනකට පස්සෙ ආරංචි උනහම ඒක හගිස්සවද්දි.
 
"උඹ අම්මට බොරු කියල නුවර ගියයි කියල කියන්නෙ ඇත්තද ලොකු පුතේ?"
 
එදා රෑට කෑම කාල ඉස්තෝප්පුවෙ උන්දැගෙ ඇඳි පුටුවෙ දිග ඇදිල ඉන්න ගමන් අප්පච්චි මගෙන් ඇහුවෙ එක එල්ලේම මගෙ ඇස් දෙක දිහා බලාගෙන. මගෙ හිතේ තියෙන පහුතැවිලි චිත්තෙ හින්ද මට කොහොමවත් උන්දැගෙ මූණ දිහා බලාගෙන කතාකරන්ට පුලුවං කමක් තිබ්බෙ නෑ. 
 
ඇත්තම කියනවනං ඔය ගමන යන්ට මයෙ හිතේ කොයියම්ම විදියකවත් කැමැත්තක් තිබ්බෙ නම් නෑ. ඕවිටේ ගෙදර රන්බණ්ඩගෙයි සමූපෙ ගෙදර වික්‍රමසිංහගෙයි වදේ බැරුවමයි මම උං දෙන්න එක්කලා ගියේ. එවුං දෙන්න පළවෙනි කැලෑසියෙ ඉඳල මයෙ අඹ යාලුවො නෙව. ඉතිං අන්තිමට අන්තිමට කොහොමිං කොහොමිං  හරි මට  මඟාරින්ටම බැරි වුනා.
 
මම හොර බළල වගෙ බිම බලාගෙන එහාට මෙහාට ඇඹරෙද්දි තමයි අපෙ අප්පච්චි මට අරෙහෙම දැනමුතුකං දුන්නෙ. කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කෙලිං කතා කරන්ටෙයි කියල. 
 
අපෙ අප්පච්චි කෙලිං වැඩ කරන කෙලිං මනුස්සය..උන්දැ පාතයෙක්. ඒ කිව්වෙ පාතරට මනුස්සයෙක්..අකුරැස්සෙ ඉඳල දෙණියාය පාරෙ හැතැම්ම හත අටක් වගෙ යන්ට ඕන උන්දැගෙ මහගෙදරට. ඒ හරියට කියන්නෙ මලිදුව.
 
අපේ ගමට හැතැක්ම බාගෙකට වගෙ එහා තියන පොඩි කඩමණ්ඩියෙ හාල් සිල්ලර තුනපහ කඩයක් දාගෙන ඉඳල තියනව ඒ දවස්වල අපෙ අප්පච්චිගෙ බාප්පොච්චි කෙනෙක්. ඒ බාප්පොච්චිට අප්පච්චි කිවෙ සිංහලේ බාප්ප කියල. එහෙම නම වැටුනෙ ඒ කාලෙ පාතරට මිනිස්සු උඩරට හැඳින්නුවෙ සිංහලේ කියල. 
 
මතකයි නේද ගම්පෙරළිය? ගම් පෙරළියෙ ජිනදාස ගමේ ඉඳල කරන කිසිම දෙයක් හරි යන්නෙ නැතිකොට අන්තිමට දවසක් රාත්තිරියෙ නිදාගන්ට ගිහිල්ල කියන්නෙ "නන්දා.... මම හිතුවෙ සිංහලේ පැත්තෙවත් ගිහිල්ල වෙළඳාමක් කරන්නෙයි කියල..."
 
එදා දවල් කෑමට තිබ්බ මාලු පිණි හරි නැතිය කියල නන්දා අනුලට (අනුලා මතකයිනේද? නන්දගෙ අක්ක..ගම් පෙරළිය ටෙලි චිත්‍රපටයෙ අනුලට රඟ පෑවෙ මේ පහුගිය සතියෙ හොඳම රූපවාහිණී නිළිය විදිහට සම්මාන ලබපු චාන්දනී සෙනෙවිරත්න..ඔව්..ඔව්...අර සිරස නැති සිරසට අනුව තමන් නිළියක් යයි කියාගන්න චාන්දනී සෙනෙවිරත්න ගැන තමයි මම මේ කියන්නෙ...හෙහ්..හෙහ්) දොස් කිව්වම අනුලටත් තරහ ගිහිල්ල ජිනදාසට බණිනව හරි හමං රස්සාවක් කරන්නෙ නෑය කියල. අනුලගෙ ඒ කතාවට හිත අමාරුවෙලා තමයි ජිනදාස අරෙහෙම කියන්නෙ...
 
එහෙම කියල තමයි නන්දගෙන් සල්ලි වගේකුත් ඉල්ලගෙන වෙල්ලස්ස දිහාවෙ යන්නෙ. ඒ ගියා ගියාමයි ජිනදාසට ආපහු ගමට එන්ට බැරිවෙනව. රත්නපුරේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ කාත් කවුරුවත් නැති අසරණයෙක් වගෙ ජිනදාස ළමාහේවාගෙ පණ යනව.
 
ඔය සිංහලේ කතාවට මම හිතන්නෙ අවුරුදු දෙතුන් සීයක අතීතයක් තියනව. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඊටත් පස්සෙ ඉංග්‍රීසීන් පහතරට ප්‍රදේශ අත්පත් කරගෙන පාලනය කරද්දි උඩරට සිංහලයො කොහොමින් කොහොමින් හරි පරදේසක්කාරයින්ට උඩරට යටත් කරගන්ට නොදී 1815 වෙනකල්ම උඩරට නිදහස් සිංහල රාජ්‍යය ආරක්ෂා කරගෙන ආව. ජෝන් ඩොයිලිගෙ සටකපට ඥාණය නැත්නම් බොහෝවිට 1815 උනත් කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත් නොවෙන්ට තිබ්බ.
 
සති අන්තයෙ ප්‍රචාරය වෙන සිරස ලක්ෂපති වැඩ සටහන ඔබ තමුන්නාන්සෙලා බලනවද? මේ සතියකට  දෙකකට වගෙ කලින් ජෝන් ඩොයිලි කියන්නෙ  ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ය කියල ඒ වැඩසටහනෙදි කිව්වය කියල මම දැක්ක අපේ ලක්ෂ්මන් ඉලංගකෝන් මහත්මය කියල තිබ්බ මුහුණු පොතේ. 
 
මිනිස්සුන්ට වැරදීම් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් සිරසෙ ඉන්න බක පණ්ඩිතයින්ට නම් ඔහොම වෙච්චි එක ගැන මට නම් ඉතාම සතුටුයි. මතකනෙ අර මාස දෙක තුනකට ඉස්සෙල්ල රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය භාවිතය ගැන තමන්ගෙ විරෝධය පලකරන්ට ලිපියක් භාරදෙන්ට ආපු කලා ශිල්පීන් කණ්ඩායමක් ආපු වෙලාවෙ  සිරසෙ ඉන්න මෝඩ යක්කු  හැසිරුණු විදිහ. 
 
"තමන් නිළියක්යැයි හඳුන්වාගන්නා චාන්දනී සෙනෙවිරත්න නමැත්තිය" කියලයි චාන්දනීව හැඳින්නුවෙ. චාන්දනී සෙනෙවිරත්න කියන්නෙ මම හිතන්නෙ දහ වතාවකට වැඩිය ලංකාවෙ හොඳම ටෙලි නාට්‍ය රංග ශිල්පිනිය සම්මානෙ දිනපු ඉතාම දක්ෂ නිළියක්. මේ පහුගිය සතියෙත් ආයම පාරක් 2018 වර්ෂයෙත් හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනුවෙ ඇය. ඒ සහෝදරයා ටෙලි චිත්‍රපටයෙ ඇගේ රඟ පෑම් වෙනුවෙන්. 
 
ඉතිං සිරසෙ ගොන් පාට් අතෑරල දාල ආයම අර සිංහලේ කතාවට ගියොත් පාතරට මිනිස්සු පරදේසක්කාරයින්ට යටත් වෙලා උංගෙ නම් ගම්, පට්ටම් තානාන්තර අරගෙන ආගම අදහගෙන හිටියට  මොනව උනත් යටිහිතෙං තියෙන්ට ඇති උඩරට මිනිස්සු නිදහස්ව නිවහල්ව ඉන්න එක ගැන සුට්ටං ආඩම්බරයක් වගේ මොකක්ද එකකුත්. 
 
ඒ හින්දනෙ ඔය උඩරටට සිංහලේ කියල කටපුරා ගෞරව පුරස්පරව කිව්වෙ. ඒ කාලෙ එහෙම උනාට දැන්නං පාතරට එවුවො කියන්නෙ "යකෝ සුද්ද ගල විදල උඩහට ඇවිල්ල බොලාගෙ නැටි කපල ගත්තෙ නැත්තං එහෙම බොලා තාමත් අමුඩ ගහගෙන පොලු අරගෙන මීමින්නො පස්සෙ එළවනව..." කියල. ඒ තනිකරම අපහාස මුඛයෙන්...
 
( සටහන - ඔය මම මහවැලියෙ එහෙම ඉන්න කාලෙ අපේ චමරියෙත් හිටපු ගමං ඔය උඩරට පාතරට වාද විවාද ඇතිවෙලා කොල්ලො මරාගන්ට යනව. මම එහෙම වෙලාවට අර වවුල වගෙ තමයි වැඩ කරන්නෙ. අපෙ අප්පච්චි පාතරට හින්ද මම පාතරට පැත්තටත් කතා කරනව. අම්ම උඩරට සහ පදිංචි උඩරට හින්ද උඩරටත් සපෝට් එක දෙනව..හෙහ්..හෙහ්..අන්න එහෙමයි අපි...)
 
දකුණෙ මිනිස්සු උඩරට පැත්තෙ වෙළඳාමට හරි රැකී රක්සා වලට හරි එනවට ඒ කාලෙ කියල තියෙන්නෙ සිංහලේ යනව කියල. එහෙම ගිය අය අඳුන්වල තියෙන්නෙ සිංහලේ මල්ලි, සිංහලේ බාප්ප, සිංහලේ මාම අන්න ඒ විදිහට. අන්න ඒ විදිහටයි අපෙ අප්පච්චිගෙ දෙවෙනි බාප්ප අප්පච්චිට සිංහලේ බාප්ප සහ මට සිංහලේ අත්ත වුනේ...
 
ඉතිං ඔය සිංහලේ අත්තව මට  හරියකට මතකයක් එහෙම නෑ. මම ඉපදෙනකොට උන්දැ ආපහු අකුරැහි යන්ට ගිහිල්ල හාල් සිල්ලර කඩේ අප්පච්චිට බාර දීල.මට අවුරුදු හතර පහක් වගෙ කාලෙදි උන්දැට මරණාසන්නයි කියල අප්පච්චිගෙ ගමෙන් පණිවිඩයක් ඇවිල්ල අප්පච්චියි අම්මයි මා යි තුන්දෙනා ගියා ඒ අත්තගෙ ගෙදර. උන්දැ පදිංචි වෙලා හිටියෙ ඒත් අකුරැස්සට කිට්ටුව දියලපේ කියන ගමේ.
 
අපෙ අප්පච්චි අටේ කැලෑසියෙං ඉස්කෝලෙ ගමන නවත්තල ගමේ එහෙම මෙහෙ කොල්ලො තලේට වැටිල නඩලං ගගහ ඉන්නකොට තමයි ඔය සිංහලේ අත්ත "වරෙං කොල්ලො මා එක්ක සිංහලේ යන්ට..."  කියල එක සිංහල අවුරුද්දකට ගමේ ගිහිල්ල ආපහු එද්දි අප්පච්චිව එක්කං ඇවිල්ල තියෙන්නෙ. ඒ වෙනකොට අප්පච්චිට වයස දාහතක් අහ අටක් වගෙ ඇතිය කියල පස්සෙ දවසක අප්පච්චිම මා දැක්ක කිව්ව.. 
 
"ඉතිං අප්පච්චි කැමැත්තෙංම ආවද සිංහලේ අත්ත එක්ක?"  ඔය විස්තරේ කියනකොට මම ඇහුව. 
 
අපෙ අම්මත් මට මතකයි ඒ වෙලාවෙ බිත්ති කොණේ ලොයි බංකුව උඩ ඉඳගෙන යම්තමට හිනාවීගෙන අහගෙන උන්න. අපෙ අම්මට මතක් වෙන්ට ඇති ඒ සොඳුරු අතීතෙ  ආයමත් පාරක්...
 
"ආය මොනවද බං?...මටත් ඒ කාලෙ ගමේ ඔය නඩලං ගැහිල්ල අපෝ වෙලයි තිබ්බෙ...අනික ගමේම ඉන්ටය කියල එහෙමට හේතුවකුත් මට තිබ්බෙ නැතිකොට රටේ ලෝකෙ ටිකක් ඇවිදල කරල බලාගත්තොත් ඒත් නරකක් වෙන්නෙ නෑනෙව කියල හිතල මම සිංහලේ බාප්ප එක්ක මෙහෙ ආව..." 
 
අප්පච්චි එහෙම කියල හක හක ගාල හිනාවුනා...
 
අප්පච්චි කියන විදිහට උන්දැ ඔහොම ගමෙං ඇවිල්ල තියෙන්නෙ 1957 අවුරුද්දෙ සිංහල අවුරුදු පහුවෙලා....
 
නිදහස් සිතුවිලි