දිලිත්ගේ ආතලය හා මගේ දුක - Lanka News Web (LNW)

දිලිත්ගේ ආතලය හා මගේ දුක

චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි. දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම් හොඳයි. දිලිත් ජයවීර  කොළඹ ඇවිල්ල තියෙන්නෙ වයස දහඅටේ දී පමණ වෙන්න ඇති අර දෙහිවල බෝඩිමට. මා අවුරුදු හතේ දි පමණ කොළඹට එන්න පටන් ගත්තෙ. තාමත් එනවා. දිලිත් වගේ නොවෙයි සම්මත මිණුම් දඬු අනුව මා අසාර්ථක මිනිහෙක්.
 
මට දැන් සතුටක් තියෙන්නෙ මගේ ඊනියා ශිෂ්‍යයන්ගෙන් ඈත්වෙලා ඉන්න විට. ඔවුන් කිහිප දෙනකු හැරෙන්න අනෙක් අය මගේ දේශපාලන හා වෙනත් අදහස්වලට විරුද්ධයි. ඇතැමුන් හිතන්නෙ මට යම් තරමකවත් ප්‍රසිද්ධියක් ලැබිල තියෙන්නෙ ඔවුන් නිසා කියලයි. ඒක එහෙම වෙන්නත් ඇති. මා දේශපාලනයෙ නිරත වෙන්න වෙලා අවුරුදු පනස්පහකට වැඩියි. මගේ ඊනියා දේශපාලන ජීවිතයට අගෝස්තුවේ අවුරුදු විසිපහක් පිරෙනවා. ඒ ඇරඹුණෙ 1994 මැතිවරණයෙ කළුතර දිස්ත්‍රික්කයෙන් ඇපත් නැතිව පැරදීමත් සමග. මට කියන්න බැරි වුණා. දිලිත් මගේ ශිෂ්‍යයෙක් නො වෙයි.
 
පහුගිය දවස්වල මහාවංසය ලියූ මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය ගැන රාජ් සෝමදේව ප්‍රකාශයක් කරල තිබුණ. මා ඔහු විවේචනය කිරීමෙන් පසු ජාතිකවාදීන් පිරිසක් මා සමග උරණ වෙලා. ඔවුන් ඉස්සරත් මට කැමැත්තකින් නොවෙයි හිටියෙ. මා නූතනත්වය පශ්චාත්නූතනත්වය ආදිය ගැන නැවත ලියන්න හිතුවෙ ඊට පස්සෙ. ඩෙරීඩාගෙ විසංයෝජනය ගැනයි මා අන්තිමට කිව්වෙ. කලකට පෙර නලින් සුවාරිස් කියල හිටපු කතෝලික පූජකවරයකු විසංයෝජනය හා විසංකාරය එකක් කියල ලියල තිබුණ. ඒ සංසන්දනය විකාරයක්.  ඒ ගැන ලිපි කියවන දෙතුන් සියයට පසුව කියමු.
 
මේ බුදුදහමට විවිධ අර්ථකථන කරන කාලය. ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් ඒ නවත්තන්න බැහැ. නලින් සුවාරිස් වගේ ම දිලිත් ජයවීරත් බුදුදහමට අරථකථන දෙනවා. මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය අවසානයි කියල මටත් හිතෙනවා. ඒ දිලිත් හින්ද නො වෙයි. ඒ අවසන් වෙන්න පටන් ගත්තෙ පෘතුගීසීන් පැමිණි දා. මා ඒ ව්‍යාපෘතිය සංශෝධනය කරල ඉදිරියට ගෙන යන්න හැදුවා. ඒත් මගේ ඊනියා ශිෂ්‍යයන් එයට විරුද්ධ ව අවි අමෝරා ගෙන සටන් වැදුණා. යක්‍ෂයන් කියන්නෙ අමනුෂ්‍යයන් කියල නවතින්නෙ නැතිව මාත් අමනුෂ්‍යයෙක් කියල කිව්වා. ඒකත් එහෙම වෙන්න ඇති.
 
දුක කියන්නෙ මොකක් ද? මා ඒ ගැනත් කියල තරමක කාලයක් වෙනවා. ඒ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන්න ඉස්සර. ඒ නිසා ඒක නැවත කීමේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දිලිත් කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මා එහි තාරකා විද්‍යාව ඉගැන්නුවා. මා ආචාර්ය උපාධියට හැදෑරුවෙත් විශ්වවේදය. මා කැමති ම ඥානවිභාගයට. ඒත් කවුරුත් වගේ මා ගැන දන්නෙ දේශපාලන වල්පල් දොඩවන අයකු හැටියටයි. දිලිත් තමාගෙ පුවත්පතට ලියන්න මට ඉඩ දෙන්නෙ නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. සමහර විට මහින්ද ඉලේපෙරුමත් එහෙම හිතනව වෙන්න පුළුවන්. චතුර හා සංඛ කොහොම හිතනව ද කියල හරියට කියන්න බැහැ. දිලිත්ට අනුව පළමුවෙන් පත්තරේ කියවන පාඨක පිරිස හදාගන්න ඕන. ඔහු හොඳ දැන්වීම් කරුවෙක්. මා පත්තරේට ලිව්වොත් ඒක පත්තරයට අවාසියක් බව ඔහු දන්නවා. මා හිතන්නෙ ඔහුගෙ ආතල් කතාවත් හොඳ ප්‍රචාරක දැන්වීමක් කියල.
 
කොළඹ විශ්වවිද්‍යාලෙ තාරකා විද්‍යාව උගන්වන කාලෙ ඛගෝලය කියල වචනයක් පාවිච්චි කරන්න තිබුණා. ඒ celestial sphere යන්න සඳහා. මෙහි ඛ යන්නෙහි තේරුම හිස් බව කියන එක. පස්සෙ කාලෙක අනිච්ච දුක්ඛ අනත්ත ගැන හිතන කොට මට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ සිද්ධාර්ථ කුමාරයාගෙ සතුට කියන්නෙ මොකක් ද කියන එක නො වෙයි. දුක්ඛ කියන්නෙ මොකක් ද කියල. බුදුහාමුදුරුවො (සිද්ධාර්ථ කුමාරයා නො වෙයි. දිලිත්ට ඒ වෙනස තේරෙන්නෙ නැතිව වගේ) දේශනා කළෙ සංඛාර ගැන. ධම්ම ගැන. උන්වහන්සේට අනුව සියලු සංස්කාර අනිත්‍යයි, දුකයි, සියලු ධර්ම අනාත්මයි. මට මේ කිසිවක් සම්මාබෝධ වෙන්නෙ නැහැ. අප හදන්නෙ අවබෝධ කර ගන්න මිස සම්මාබෝධය නොවෙයි. මගේ අවබෝධය වැරදි වෙන්න ඕන. ඕනම අවබෝධයක් වැරදියි කියල මට හිතෙන්නෙ.
 
සංස්කාර දුකයි කියල දේශනා කළා මිසක් සංස්කාර නිසා දුක ඇති වෙනවා කියල මෙතන දේශනා කර නැහැ. සියළු ධර්මවලට සංස්කාර පමණක් නොව සංස්කාර නොවන දේත් ඇතුල් වෙනවා. මට හිතෙන්නෙ අනිච්ච දුක්ඛ අනත්තත් සංස්කාර නො වෙයි කියල. අප සංස්කාර අවබෝධ කර ගන්න හදනවා. සංස්කාර නොවන්න සම්මාබෝධ කරගන්න ඕන. සංස්කාර අනිච්ච කියන එක අප අවබෝධ කර ගන්නෙ ඒ නිත්‍ය නැහැ වෙනස් වෙනවා කියන අන්දමට. එය වැරදියි. ඒත් මට සම්මාබෝධය නැති නිසා වැරුද්ද මොකක් ද කියල කියා ගන්න බැහැ. සංස්කාර දුකයි කියන්නෙ සංස්කාරවල ඊනියා ස්වභාවයක්, ගුණයක් මිස සංස්කාර නිසා ඇති වන දෙයක් නො වෙයි. අනිච්ච අනත්ත කියන්නෙ සංස්කාරවල ගුණ මිස සංස්කාර නිසා ඇති වෙන දේ නො වෙයි. එහෙම තියෙද්දි ඒ දෙක මැද්දට සංස්කාර නිසා ඇති වෙන දෙයක් ඇතුල් කරන්න විධියක් නැහැ කියල මට හිතුණෙ. ඒ නිසා දුක්ඛ කියන එක සංස්කාරවල ගුණයක් ලෙස හඳුනගන්න ඕන කියල හිතුණා.  ඒ හුදෙක් අවබෝධය සඳහා මිස සම්මාබෝධය සඳහා නො වෙයි. හැම දෙනා ම දන්නා පරිදි වල්පල් කියවන කේන්ති යන පුද්ගලයකු වූ මට සම්මාබෝධයට තව කල්ප ලක්‍ෂ කොපමණ අසංඛයක් යයි ද කියල මා දන්නෙ නැහැ. ඒ කාලයෙ මගේ ඊනියා ශිෂ්‍යයන්ගෙන් ඈත්වෙලා ඉන්න පුළුවන් නම් හොඳයි. ඒත් එහෙම හිතන නිසා ම සංසාර ගමන දික් වෙන්න පුළුවන්!
 
දුක්ඛ කියන එකේ ඛ යන්නෙන් කියැවෙන්නෙ හිස් බව. දු යන්න අයහපත් කියන එකයි. එවිට දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව කියන එකයි. සංස්කාර යනු අයහපත් හිස් දේ. මේ හිස් බව අප සම්මාබෝධ කර ගන්න ඕන. ඒත් අවබෝධය සඳහා වෙනස් වීම, හිස් බව, අනාත්මභාවය හොඳයි. මේ කතාව බුදුහාමුදුරුවො අනිච්ච දුක්ක අනත්ත ශූන්‍ය  කියල ඇතැම් විට දේශනා කරල තියෙන දේ සමග පෑහෙනවා. මගේ මේ අවබෝධය වෙනත් අයත් කියල තිබෙන බව මා පසුව දැන ගත්ත.
 
සිද්ධාර්ථ කුමාරයා කෙළෙ මේ කරුණු සම්මාබෝධ කර ගැනීමයි. ඉන් පසු සිද්ධාර්ථ කුමරු කෙනෙක් නැහැ. අපි උන්වහන්සේට සම්මාසම්බුද්ධ කියල කියනවා. බුදුහාමුදුරුවො ඊනියා සතුටක ආතලයක (ඒ මොකක් වුණත්) ඇළුණෙ නැහැ. උන්වහන්සෙ කිසිම දේක ඇළුණෙ නැහැ. අද බොහෝ දෙනා කියනව අත්හරින්න කියලා. බුදුහාමුදුරුවො අත්හරින්න කියල දේශනා කෙළෙ නැහැ. උන්වහන්සේ දේශනා කෙළෙ ඇළෙන්න එපා කියලා. උපාදාන ස්කන්ධය අත්හැරීමක් ගැන නො වෙයි අල්ල ගැනීමක් ඇළීමක් ගැනයි. අල්ලා ගන්න එපා කියන්නෙ අත් හරින්න කියන එක නො වෙයි. අත් හරින්නෙ අල්ලා ගත්තට පස්සෙ. අල්ල ගන්න එක ම හොඳ නැහැ.
 
ඒත් අප අල්ල ගන්නවා. අප සතුටත් අල්ල ගන්නවා. මට පේන විධියට දිලිත් ආතල් ගන්නවා. මාත් බොහෝ දේ අල්ල ගන්නවා. ඒත් සූත්තියක් නම් නො වෙයි. මා ත්‍රිරෝද රියවල යනවා ඒ ගමනක් යන්න ඕන වුණා ම බසයෙන් යන්න බැරි වුණා ම මිසක් වෙන දේකට නො වෙයි. මට දැන් මෝටර් රථයක් නැහැ. ඉස්සර නම් මගේ ජපන් මෝටර් රිය පැත්තකින් දාල බර කරත්තෙන් යන්න කියලයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයො කිව්වෙ.
 
සතුට කියන්නෙ දුක කියන එකේ විරුද්ධය ම නො වෙයි. අප මේ දුක සැප ආදී වශයෙන් ද්වයංගී ආකාරයට කියන්නේ අපට අඩු තරමෙන් චතුස්කෝටිකයවත් අවබෝධ කර ගැනීමට බැරි නිසා. බුදුහාමුදුරුවො අපට ආතල් (ඒ මොකක් වුණත්) ගන්න තියා සතුටු වෙන්නවත් කියල නැහැ. දිලිත් කරන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අනුව බුදුදහම විකෘති කරන එක පමණයි. එසේ කළ පළමු තැනැත්තා ඔහු නො වෙයි. දහනවවැනි සියවසේ සිට බොහෝ උගතුන් කර ඇත්තේ එයයි.
 
මහාචාර්ය නලින් ද සිල්වා
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...