බයියෙක්ගෙ තාත්තෙක් ආණ්ඩුවකිං මරපුදාක ....

බයියෙක්ගෙ තාත්තෙක් ආණ්ඩුවකිං මරපුදාක ....

9 April 2019 10:01 am

යාලුවා : මචං. උඹලගෙ තාත්තව මරපු එකට උඹ මොනාද කරන්න ඉන්නෙ ?

බයියා : වැඩක් නෑ බං.

යාලුවා : එහෙම කියන්නෙ ඇයි ? මොනා හරි පියවරක් ගනිං.

බයිය : තේරුමක් නෑ බං.

 

යාලුවා : යකෝ. මුලින්ම පොලීසියෙ පැමිනිල්ලක් දාපං. හමුදාවෙ වගේ පෙනුම තියෙන උං කීප දෙනෙක් ගෙදරට ඇවිල්ල තාත්තව බලෙං එක්කගෙන ගියා කියල. උං ආවෙ සුදු වෑන් එකක කියල. පහුවද තාත්තා පාළම යට මැරිල හිටිය කියල. සමහර විට උඹ වෙනුවෙන් විපක්ශෙ උං පෙනී ඉඳී. සමාජයේ කතා බහක් ඇතිවෙයි. උඹට සාදාරනේ වෙන්නෙ නැත්නම් කොහෙ හරි හන්දියට ගිහිං සත්‍යග්‍රහ කරහං. මානව හිමිකම් ආයතන වලට ලියපං. ජිනීවා කවුන්සිල් වලට ලියපං. ඒකනෙ කරන්න ඕනෙ....

බයියා : තමුසෙට පිස්සුද? මුලින්ම අපේ තාත්ත ගැන කතා කරල අපේ තාත්තගෙ මිනිය විකුනල විපක්ශෙ උං ආණ්ඩු බලේ ගන්න හදයි. ඊට පස්සෙ උනුත් ඕක අතාරී.

තාත්තගෙ මරණ වෙනුවෙන් සත්‍යග්‍රහ කරන්න !! තමුසෙ බීලද? මට පුලුවන්ද එහෙම තාත්තගෙ මරණෙ විකුනගෙන කන්න !!

ජිනීව මානව හිම්කම් වලට ලියන්න මම NGO කාරයින්ගෙ ඩොලර් කුට්ටි වලට යට වෙන්නෑ යකෝ. අනික මේ ප්‍රශ්නෙ අරගෙන සමාජෙ ඉන්න අනිත් උනුත් ඉදිරිපත් උනොත් උනුත් කරන්නෙ NGO කාරයින්ගෙ කීමට අහු වෙලා අපේ රටට එරෙහිව කුමන්ත්‍රන කරන්න බලාගෙන ඉන්න බටහිර අධිරාජ්‍යවාදීන්ට පොහොර සපයන එක.

අනික තමුසෙ කියන විදියට හමුදාවෙ උං මේක කරා කියල පැමිනිලි කලොත් ඒක අපේ රටේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට කරන අපහාසයක් නෙමේද? ඊට පස්සෙ ආණ්ඩුවෙන් රණවිරුවො දංගෙඩියට දක්කයි. මට පුලුවන්ද මේ කොහෙවත් හිටපු අපෙ තාත්ත මැරුව කියල රණවිරුවො පාවල දෙන්න. තමුසෙ මොන හිතකිංද කියන්නෙ. මේ රටේ මැරුනු එකම එකා අපෙ තාත්ත විතරද? යුද්ද කාලෙ දවසට දුසිම් ගනං මැරුනා. අපේ ගමේ උංම කීයක් මලාද? එහෙව් යුද්දෙ නැති කරල සාමෙ ගෙනාපු රණවිරුවො දංගෙඩියට දක්කන්න කියන්නෙ තමුසෙ බීලද? යුද්දෙ කාලෙ බෝම්බ පුපුරනකොට ඇඳං යට හිටපු තොපි දැං මෙතන රණවිරුවොන්ට මිනීමරු ලේබල් ගහන්නෙ... අපරාදෙ තොපේ ප්‍රභාකරන් මහත්තය ඉන්න තිබ්බෙ ! මගේ තාත්තව මොකෙක්වත් මැරුවෙ නෑ. පොර සිය දිවි හානි කරගත්ත. තෝ මෙතන වැඩක් බලං පලයං NGO කාරය....

- පණ්ඩුල නයන බණ්ඩාර