‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ ගැන ස්ථාවර කීපයක් - Lanka News Web (LNW)

‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ ගැන ස්ථාවර කීපයක්

කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අපට අවසාන අත්දැකීම තිබෙන්නේ 2009 වසරේ පෙබරවාරී වලදීය. එම නිසා දැනට වයස 25 ට අඩු පරම්පරාවට මෙය තරමක් අලුත් අත්දැකීමක් වනවා කියා සිතමි. එම නිසා මෙම ප්‍රහාරය ‘දේශපාලනික’ අර්ථයකින් සිදු කෙරෙන්නක් බව වටහා ගැනීමට මේ පරම්පරාවට තරමක් අපහසු විය හැකිය. මෙය ‘දේශපාලනික’ යන්නෙන් අදහස් කරන්නේ මේ ප්‍රහාර කරුවන් මෙය සැලසුම් කළේ පවත්නා පාලන ගෝලීය තන්ත්‍රයකට, එවැන්නක් විසින් සිදු කරන මර්ධනය කිරීම් සහ බැහැර කිරීම්වලට ප්‍රතිචාර ලෙස, එවැනි පාලන ක්‍රමයක් විසින් ස්ථාපනය කරන සහ ප්‍රවර්ධනය කරන අදහස් සහ ආකල්ප වලට එරෙහි වන ප්‍රහාරයක් ලෙස යන්නයි. මෙය පුද්ගලික අරමුණක් වෙනුවෙන් (උදා: මත්කුඩු වෙළඳාමේ ඒකාධිකාරිය ගැනීම මගින් මුදල් හම්බ කර ගැනීම) සිදු කළ ප්‍රහාරයක් නොව ඔවුන් සිතනා පරිදි අසාධාරණයකට එරෙහිව, යුක්තිය වෙනුවෙන් සිදු කළ ප්‍රහාරයකි. ‘ත්‍රස්තවාදය’ යන්න අප ජීවත් වන යුගයේ බිහිසුණු දෘෂ්ඨිවාදී යෙදුමක් වී ඇති හෙයින් මේ කරුණ වටහා ගැනීම ඉතාම වැදගත් වේ.

නමුත්, අනෙක් අතට, මේ මගින් අදහස් කරන්නේ අප මෙම ක්‍රියාව යුක්තියුක්ත කළ යුතු බව හෝ එය ඉවසිය යුතු බව හෝ නොවේ. අප කොන්දේසි විරහිතව මෙය ප්‍රතික්ෂේප කළ යුතුය. මේ කරුණේදී අප ඉතාම පැහැදිළි සහ නිරවුල් විය යුතු වනවා කියා සිතමි. කුමන අරමුණක්, අදහසක්, විරෝධතාවයක් වෙනුවෙන් හෝ මෙවැනි ක්‍රියාවක් යුක්තියුක්ත කළ හැකි නොවේ. මෙම කැරුණේ දී අප අන් සියලු දෙනා සමග මෙය ප්‍රතික්ෂේප කිරීමට, මෙයට අපගේ නොඑකඟතාවය සහ කොන්දේසි විරහිත විරෝධය පළ කිරීමට ඉදිරියට පැමිණිය යුතුය.

නමුත් අප යම් ක්‍රියාවකට හෝ තීරණයකට හෝ එරෙහි වනවා යනු එයට තුඩු දුන් අදහස, එම අදහස ඇති වීමට බලපෑ ඓතිහාසිකත්වය ආදිය අමතක කිරීම නොවේ. මේ ප්‍රහාරය මගින් අපට සිතන්නට සහ අපගේ වර්තමාන සිතා බැලීම් වල නිරවද්‍යතාවය විමසා බැලීමට බල කරන නිසා මෙය විශේෂයෙන් වැදගත් වෙයි. මෙහිදී ඉතාම වැදගත් දෙයක් වන්නේ මේ ‘ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය දැක්වීමෙන්’ පමණක් සෑහීමට පත් වී අත්පිසදා නොගැනීමයි. සත්‍ය වශයෙන්ම රාජ්‍ය සහ – මෙහිදී ‘රාජ්‍යය’ යන්න යොදන්නේ එහි ඇති පුළුල්ම අර්ථයෙනි – අපෙන් ඉල්ලා සිටින්නේ ද එතැනින් අපේ සිතා බැලීම් අවසන් කර දමන ලෙසයි. බොහෝ දෙනෙකු මේ වනවිටත් මෙය ‘ඉස්ලාම් අන්තවාදී සංවිධානයක්’ – ‘ජාතික තවුහීඩ් ජමාත්’ – වෙත අනුයුක්ත කර තිබේ. අපගේ සිතා බැලීමේ අවසන් ඉම ලෙස තිබෙන්නේ එයයි.

මේ හා බැඳුනු තවත් ගැටලුවක් සම්බන්ධ වන්නේ වාග් කෝෂය නිරවුල් කර ගැනීම සමගයි. සාම්ප්‍රදායිකව ‘ත්‍රස්තවාදය’ යන වචනය මගින් අදහස් කරන්නේ දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් සිවිල් ජනයා ඉලක්ක කර ප්‍රචණ්ඩත්වය මුදාහැරීම මගින් ඇති වන බිය – ‘ත්‍රස්තය’ – නිසා පවත්නා දේශපාලන අධිකාරිත්වයන් අස්ථාවර කර සිය දේශපාලන අරමුණු දිනා ගැනීමයි. එම අර්ථයෙන් මෙය ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවක් යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මේ අර්ථයෙන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කළ හැක්කේ මෙවැනි ප්‍රහාර පමණද? දේශපාලන අරමුණු වෙනුවෙන්, නීතියට පිටින්, සිවිල් වැසියන් බිය ගැන්වීම අතින් වර්තමාන රාජ්‍යයන් තරම් ඉදිරියෙන් තිබෙනා වෙනස් සංවිධාන තිබෙනවා කියා මම නොසිතමි. ඕනෑම යුධ හමුදාවක් මෙවැනි භාවිතයන්වල නියැලෙනවා යන්න පැහැදිලි වේ. මේ අර්ථයෙන් ගත්විට ලෙනින්, මාඕ, කැස්ත්‍රෝ, හෝ චිමින්, චේ ගවේරා ආදී ‘විප්ලවාදීන්’ පමණක් නොව ජාතිකවාදී කථිකාව විසින් හඳුන්වන ‘රණවිරුවන්’ ද ඉතා පහසුවෙන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස හඳුනා ගත හැකිය.

අනෙක් අතට, සහ වඩාත් තීරණාත්මක ලෙස, මෙම වචනය මගින් අද දවසේ ඉටු කරන ප්‍රධාන භූමිකාව වන්නේ පවත්නා බලාධිකාරිත්වයන්ට එරෙහි ප්‍රචණ්ඩ පුපුරා යාම් පසුපස ඇති සමාජීය, ඓතිහාසික, දාර්ශනික හේතු සිතීම වළක්වාලීමයි. ඒ වෙනුවට එය එමගින් හඟවන්නේ මෙය ‘යක්ෂයා ගේ’, ‘මාරයා’ ගේ ක්‍රියාවක් බවයි. ‘ත්‍රස්තවාදියා’ යනු වර්තමාන ලෝකයේ ‘යක්ෂයන්’ සඳහා තිබෙනා පර්යාය පදයකි. එය ‘පාරිශුද්ධ නපුරකි’ නැතිනම් ‘රැඩිකල් නපුරකි’ (‘pure Evil’ or a ‘radical Evil’). ‘ත්‍රස්තවාදීන්’ යනු හේතු විරහිතව බෝම්බ පුපුරමින් මිනිසුන් ඝාතනය කරන උමතු සහ දුෂ්ඨ මිනිස්සු වෙති. එහි තේරුම් ගන්නට දෙයක් නැත – තිබෙන්නේ ඔවුන් විනාශ කර ‘සාමාන්‍ය ජීවිතය’ යළි ආරම්භ කිරීමයි.

මේ අනුව ‘ත්‍රස්තවාදය’ යන වචනයේ මූලික දෘෂ්ඨිවාදී ක්‍රියාකාරිත්වය වන්නේ අපගේ සිතීම නතරක කිරීම බව පැහැදිලි වේ. ත්‍රස්තවාදය යන සංකල්පය තවදුරටත් අපට මෙවැනි විශ්ලේෂණයකදී උපකාරී වන සංකල්පීය නිරවුල්බවක් ලබා නොදෙන්නේ මෙම නිසාය. අපි වඩාත් ප්‍රවේශම් විය යුත්තේ මෙවැනි දෘෂ්ඨිවාදී මෙහෙයුම්වලින් වන නිසා අපි ‘ත්‍රස්තවාදය’ යන වචනයෙන් ගැලවී සිටිමු.

නැවතත් ප්‍රහාරය දෙසට හැරුණහොත් මෙහිදී පළමුවෙන් පැහැදිලි වන්නේ මේ මගින් මහින්ද රාජපක්ෂට සහ, එයටත් වඩා, ගෝඨාභය රාජපක්ෂට දේශපාලන වාසියක් අත්වන බවයි. එම වාසිය කෙතරම් බරපතල එකක් වනවාද යත්, ගෝඨාභයට සිය ඇමරිකානු පුරවැසිබව ඉවත් කර ගැනීමට නොහැකි වීම වැනි තාක්ෂණික කරුණකින් මෙහා ඔහුගේ ජානාධිපතිවරණය ජයග්‍රහණය ආපසු නැවැත්විය නොහැකි ලෙස අප ඉදිරියේ තිබෙන්නක් බවට පත්ව තිබේ. සිංහල ජාතිකවාදය වෙත සම්ප්‍රදායිකව ඇදී යන ඡන්දවලට අමතරව ස්ථාවරත්වය, අනාගතය පුරෝකථනය කළ හැකි ලෙස පැවතීම ආදිය අපේක්ෂා කරනා වාණිජ මැද පන්තිය, දැන් ගෝඨාභය වටා වැඩි වේගයකින් එකතු වීම නවතාලීම ඉතාම අපහසු වනු ඇත.

නමුත් මේ ප්‍රහාරය මගින් අපට සිතන්නට ඉදිරිපත් කරනා අභියෝගාත්මකම කරුණ වන්නේ මෙය නොවේ – මෙය මෙහි ඉතාම පහසුවෙන් සිතිය හැකි දෙයයි. මේ ප්‍රහාරය මගින් රාජපක්ෂ කඳවුර වෙත දේශපාලන වාසියක් යාම මේ ප්‍රහාරයේ ඍජු ඉලක්කය වනවා කියා අපට කිව නොහැකිය. බෙහෙවින් සංකීර්ණ බල දේශපාලන ගනුදෙනු සම්බන්ධයෙන් අපට නිශ්චිත දෙයක් ප්‍රකාශ කළ නොහැකි වුවත් මේ ප්‍රහාරයෙන් අන් සියල්ලන් හා සම ලෙස රාජපක්ෂවරුද පුදුමයට පත් වූවා යන්න වඩා සාධාරණ නිගමනයකි.

අනෙක් අතට, සහ වඩා වැදගත් ලෙස, දැනට තිබෙනා තොරතුරුවලින් අපට ප්‍රබල ලෙස කියා සිටින්නේ මේ ප්‍රහාරය කිසිසේත්ම සිංහල-බෞද්ධ වාර්ගික දේශපාලනයට – එහි ඉහළම බුද්ධිමතුන්ගේ සිට චණ්ඩ මැරවරයන් දක්වා – එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් නොවනවා යන්නයි. දැනට තිබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරයට වගකිව යුතු ලාංකික සංවිධානය ලෙස නම් කර තිබෙන්නේ ‘ජාතික තවුහීඩ් ජමාත්’ යන ඉස්ලාම් සංවිධානයයි. ‘තවුහීඩ් ජමාත්’ යන නම පළමු වරට ජනප්‍රිය වූයේ මෙයට වසර දෙකකට පමණ සිංහල සටන්කාමි සංවිධානයක සාමාජිකයෙක් වූ ඩැන් ප්‍රියසාද් අත්අඩංගුවට පත් වූ පසුවයි. තවුහිඩ් ජමාද් සංවිධානයේ පුද්ගලයෙක් අත්අඩංගුවට නොගන්නේනම් මෙහි ලේ විලක් ඇති කරන බවට ගලබොඩඅත්තේ ඥාණසාර භික්ෂුව එකල සපත කර සිටියේය. මේ හා සම්බන්ධ වී තිබෙන්නේ එම සංවිධානයමද නැතිනම් ‘තවුහීඩ් ජමාත්’ යන නමින් තිබෙන වෙනත් සංවිධානයක් ද යන්න එතරම් පැහැදිළි නැත.

නමුත් – වැදගත් කරුණ මෙයයි – ‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ’ ඍජු ඉලක්ක බවට පත්ව තිබෙන්නේ බොදු බල සේනා සංවිධානය හෝ එම සංවිධානය මගින් ආරක්ෂා කිරීමට සපත කර සිටි, සැබෑ සහ මතවාදී, ‘ලංකාව’ නොවේ. මෙහි ඍජු ඉලක්ක බවට පත්ව තිබෙන්නේ කතෝලික පල්ලි සහ තරු පන්තියේ හෝටල් ය. මේ තිබෙන්නේ සිංහල ජාතිකවාදීන් – අවම වශයෙන් එහි අව්‍යාජ නියෝජිතයන් – නිතර යන එන තැන් නොවනවා පමණක් නොව සිංහල බෞද්ධයන් ගේ ආවේදනාත්මක ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි – ජය ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාව වැනි – ඉලක්ක ද නොවේ. මේ තිබෙන්නේ කතෝලිකයන් (දෙමළ ජාතික කතෝලිකයන් ද ඇතුළු) නිතර යන, විදේශිකයන් නිතර යන, සිංහල-බෞද්ධ හර පද්ධතියේ නිල විශ්වාසයන්ට අනුකූල නොවන මිනිසුන් යනවා කියා සිතිය හැකි හෝටල් සහ ‘අන්‍යාගමික’ පූජස්ථාන වෙයි. වෙනත් ආකාරයකට කියන්නේනම් මෙහිදී ඍජු ඉලක්කය වී ඇති බව ‘සිංහල බෞද්ධයා ගේ’ ලංකාව නොව එම ලංකාව මත තිබෙනා පරපෝෂිතයෙකු බඳු වූ ‘බටහිරකරණය’ වූ ලංකාවයි. සිතා මතා අවුස්සනසුළු ආකාරයකින් කියන්නේනම් මේ තිබෙන්නේ සිංහල බෞද්ධයාගේ ද කැමැත්ත නොමැති, ඉවත් වනවානම් එතරම් අකමැත්තක් නොමැති ලංකාවකි.

මෙයින් අදහස් කරන්නේ මේ ප්‍රහාරය සාමාන්‍ය සිංහල බෞද්ධයා අනුමත කරන බව නොවේ. මෙවැනි අවස්ථාවකදී ‘සියලු බෙදීම් අමතක කර’ මෙම පොදු විපත ගැන කම්පා වීමට අපි පුරුදු වී සිටිමු. නමුත්, එම නිසා අපට මෙය ‘සිංහල බෞද්ධ රාජ්‍යයේ’ පැවැත්මට එරෙහි මිලිටරි අභියෝගයක් ලෙස අර්ථකථනය කළ නොහැකි වේ. මෙය කිසිදු අයුරකින් ‘සිංහලයන් වඳ කිරීම වෙනුවෙන්’, ‘ඉඩම් අල්ලා ගැනීම වෙනුවෙන්’ සැලසුම් කළ ප්‍රහාරයක් නොවේ. මෙය සැබැවින්ම ‘බටහිරට’ එරෙහි ප්‍රහාරයකි. මේ සිටින්නේ ‘සතුරාගේ සතුරාය’ සහ, එනිසාම, විභවාත්මක අර්ථයෙන් හෝ, ‘අපගේ මිතුරාය’.

එම නිසා සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය මෙම ඉස්ලාම් දේශපාලනය සමග එකතු වන බවක් මෙහිදී යෝජනා කරන්නේ නැත. සැබැවින්ම මෙහිදී සිදුවීමට ඉඩ තිබෙන්නේ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස සිංහල බෞද්ධ ජාතිකවාදයේ ආන්තික ප්‍රකාශමාන වීම් වෙත වැඩි දෙනෙක් තල්ලු වීමයි. අනෙක් අතට මෙහිදී අවධාරණය කළ යුතු ඉතා වැදගත් කරුණක් තිබේ. මේ ප්‍රහාරයේ වියහැකිභාවයේ කොන්දේසියක් ලෙස මෙම සිංහල බෞද්ධ ආන්තික දේශපාලනය අප හඳුනාගත යුතුය. මෙම ප්‍රහාරය මගින් ඉලක්ක කර තිබෙන්නේ ‘බටහිර’ ලෝකය වුවත් එවැනි දෙයක් සඳහා මුස්ලිම් සමාජයේ යම් පිරිසක් එකතු කරගැනීමට හැකි වන්නේ කෙසේද? ඇමරිකානු රාජ්‍යයේ භාෂාවෙන් කියන්නේනම් මුස්ලිම් සමාජයේ යම් පිරිසක් ‘රැඩිකල්කරණය’ වී තිබෙන්නේ ඇයි? මෙයට එක හේතුවක් වන්නේ ‘බොදු බල සේනා’, ‘රාවණා බලය’, ‘මහසෝන් බලකාය’ වැනි සංවිධාන විසින් මුස්ලිම් සහ සිංහල සමාජ අතර නිර්මාණය කළ ආතතිය බව ඉතාම පැහැදිළි වේ. පසුගිය වසර කීපය තුළ මුස්ලිම් ජනයා බියෙන් පසු වූ අවස්ථා කොපමණ ගණනක් තිබුනේද යන්න සොයා ගැනීම එතරම් අපහසු වන්නේ නැත. එවැනි සන්දර්භයක් තුළ මෙවැනි ව්‍යාපෘතියකට අවශ්‍ය පිරිස් එකතු කර ගැනීම එතරම් අපහසු වන්නේ නැත. මේ කරුණ ඉතාම වැදගත් වන්නේ මෙවැනි ප්‍රහාර ඉස්ලාම් ධර්මයේ තිබෙනා ‘නෛසර්ගික අන්තවාදයක්’ ලෙස ජනප්‍රිය තලයේ අර්ථකථනය වන නිසාය. මෙය ඉතාම ගැටලුසහගත ස්ථාවරයකි. සෑම ආගමක්ම විභවාත්මක ලෙස අන්තවාදී වෙයි. එයට හේතුව වන්නේ සෑම ආගමක්ම අන්ධ විශ්වාසයක් මත පිළිගනු ලබන පරම සත්‍යය පිළිබඳව අදහසක් වෙත අපව රැගෙන යාමයි. මෙය ඉස්ලාම් ආගමට කිසිසේත් සීමා වන්නක් නොවේ. එකම වෙනස වන්නේ මේ වනවිට ලෝක මට්ටමින් සංවිධිත සන්නද්ධ ව්‍යාපාරයක් පැවතීම සහ ඒ සඳහා පිරිස් බඳවා ගැනීම් සිදු කරන ශක්තිමත් ජාලයක් ඉස්ලාම් වාර්ගික දේශපාලනය සඳහා පැවතීමයි (මේ ලෝක සන්නද්ධ ඉස්ලාම් අන්තවාදය ගැන ඉදිරියේදී වැඩිදුරටත් විස්තර කරයි). නමුත් එවැනි පිරිස් එකතු කර ගැනීමට ඔවුනට ඉඩ ලැබෙන්නේ රටවල් වල පවත්නා අභ්‍යන්තර කොන්දේසි නිසාය. එම නිසා මෙම ප්‍රහාරයට සම්බන්ධ පිරිස මෙවැනි එවැනි අන්තයකට තල්ලු කිරීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ ඉහත සඳහන් කළ සංවිධාන සහ ඒවාට අවශ්‍ය පසුබිම සකස් කරන මෙරට රාජ්‍ය ව්‍යූහයේ ඇති වාර්ගික පක්ෂපාතීත්වයන් වලටයි. ජාත්‍යන්තර සන්නද්ධ ඉස්ලාම් සටන්කාමීන් හට බඳවා ගත හැකි ලාංකිකයන් නිර්මාණය කිරීමේදී මෙම ඓතිහාසිකත්වය විසින් ඉටු කරන ලද කාර්යභාරය සුළුපටු නොවේ. එය අපට නොපෙනෙන්නේ මෙය සිංහල බෞද්ධ ජාතිකවාදයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් නොවනා නිසාය.

මේ ප්‍රහාරයේ තිබෙනා ඓතිහාසික නවීනත්වය අපට හමු වන්නේ ද මෙතැනදීය. නිදහසින් පසු ලාංකික රාජ්‍යයට එරෙහි එල්ල වූ මිලිටරි ප්‍රහාර අතරින් මෙරට රාජ්‍ය බලය හෝ මෙරට ප්‍රාදේශීය පාලනයක් හෝ ඉල්ලා නොසිටින දේශපාලන සංවිධානයක් විසින් එල්ල කළ පළමු ප්‍රහාරය වන්නේ මෙයයි. මෙය භූමිය වෙනුවෙන් කරනා අරගලයක් නොවේ. ප්‍රහාරකයන් විසින් ලාංකික රාජ්‍යයෙන් ඉල්ලා සිටිනා දෙයක් නොමැත. එම නිසාම මෙහිදී ‘සාම සාකච්ඡා පැවැත්වීම’ යනුවෙන් අර්ථවත් විකල්පයක් ඇති වන්නේ ද නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ බටහිර සංචාරකයන් හට මේ ලෝකයේ සුරක්ෂිත තැන් නොමැති බවත් බටහිර ආගමික විශ්වාසයන් වලට ඔවුන් එරෙහි බවත් කියන්නටය. මේ මගින් ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වන බව ඉතාම පැහැදිලි වේ – මෙරට පැමිණිය හැකි සංචාරකයන් මෙන්ම ආයෝජකයන් ද බොහෝ ගණනක් දැන් එම තීරණය අත්හැර දමනු ඇත. නමුත් මේවා මෙම ප්‍රහාරයේ අතුරුඵල පමණි. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ අයට මෙන්ම එහි පසුපස සිටි අයටද මෙරට ආර්ථිකය බිඳ වැටීමෙන් ඍජු වාසියක් වන්නේ නැත. අවම වශයෙන් එල්. ටී. ටී. ඊ සංවිධානය වැනි සංවිධානයකට එවැනි දේකින් අත්විය හැකි බොහෝ වාසි තිබුණි. එවැනි තත්ත්වයකට සාපේක්ෂව ගත්විට මේ ප්‍රහාරයෙන් එයට සම්බන්ධ වූ අයට අත්වන වාසියක් නොමැති තරම්ය.

මේ ආකාරයේ දේශපාලන උපක්‍රම වල තිබෙනා තවත් තීරණාත්මක ගැටලුවක් සම්බන්ධ වන්නේ මේ සමගයි. මේ ප්‍රහාර වල ‘අනාගතත්වයක්’ නොමැත. එසේත් නැතිනම්, මෙහි තිබෙනා එකම අනාගතත්වය සම්බන්ධ වන්නේ බිය නැතිනම් ත්‍රස්තය ඇති කිරීම සමගයි. නමුත් එම ‘ත්‍රස්තය’ සම්බන්ධ කරන්නේ අනාගතයේ දී ඇති වන යුක්තියක් පිළිබඳව නූතනවාදී බලාපොරොත්තුවකින් නොවේ. ඒ වෙනුවට මෙමගින් නියෝජනය කරන්නේ ආගමිකත්වයේ රණකාමී නැග ඒමයි. එහි ඉල්ලීම වන්නේ එක් ආගමික සත්‍යයක් වෙනුවෙන් ලෝකය සකස් විය යුතු වේ යන්නයි.

නමුත් මෙහිදී අප මතක තබා ගත යුතු ඉතාම වැදගත් කරුණක් තිබේ. මේ ඉස්ලාම් සටන්කාමී දේශපාලනය 1970 දශකයේ ඇමරිකානු ඔත්තු සේවා වල නිර්මාණයක් විය. මොවුන්ට අවි, පුහුණුව, මුදල් ලබා දෙන්නේ ඇමරිකානු භූදේශපාලනය විසිනි. එමගින් උත්සාහ කළේ එවකට සෝවියට් දේශයේ රතු හමුදාවේ අදේවවාදයට එරෙහිව යුධ වැදීමටයි. පසුකාලීනව අල් කයිඩා සංවිධානය ලෙස වර්ධනය වූ ව්‍යාපාරයේ නායකයා වූ ඔසාමා බින් ලාඩන් යනු මෙම පුහුණුවේ ඍජු ඵලයකි. ‘අදේවවාදය’ නියෝජනය කළ එවක එක් ලෝක බලවෙතෙක්ට – සෝවියට් සමූහාණ්ඩුව – එරෙහිව යුධ වැදී එම සතුරාගේ ඉවත් වීමෙන් පසුව ඉතිරි වූ ලෝක බලයට එරෙහිව මෙම ව්‍යාපාරය මතු වීම පුදුමයට කරුණක් නොවේ. මේ තිබෙන්නේ, කුමන බරපතල සීමාකම් යටතේ හෝ, ලෞකිකවාදී දේශපාලනයක් නියෝජනය කළ දේශපාලනයකට එරෙහිව ඇමරිකානු දේශපාලනය විසින් පෝෂණය කරන ලද ආගමික දේශපාලනයකි.

අනෙක් අතට , අප ඉහතින්ද දුටු පරිදි, මේ ආගමික දේශපාලනය අර්ථකථනය කිරීමට අපට තිබෙන්නේද ආගමික කතිකාවකි (‘රැඩිකල් නපුර’, ‘යක්ෂයා’). එය අප තේරුම් ගන්නට පෙළඹ තිබ්න්නේ අපගේ ‘අහිංසක’, ‘සාමාන්‍ය’ ලෝකය කෙළසීමක්, පවුකාරී මැදිහත්වීමක් ලෙසයි. ආගම යනු අප දන්නා පරිදි පරම වූ සුවය, පරම වූ යහපත, පූජනීයත්වය, වන්දනීයත්වය වෙත දිශානත වූ කතිකාවකි. එමගින් අපට පොරොන්දු වන්නේ මෙම පූජනීයත්වය වෙත අපව රැගෙන යාමයි. දුෂ්ඨත්වය, පව, අකුසල් ක්‍රියාව යනු මෙම ගමනට ඇති බාධාවයි. ආගමින් පොරොන්දු වන යහපත යනු මෙවැනි දුෂ්ඨත්වයන්ගෙන් ගැලවුණු යහපතකි.

මේ අතින් බැලූ කළ සමකාලීන දේශපාලනය යනු සෑම අතකින්ම ත්‍රස්තවාදය විසින් ගිල ගත් දේශපාලනයක් වනවා මෙන්ම ආගමිකවාදයෙන් ගිල ගත් දේශපාලනයක් ද වෙයි. තරමක් සරල ආකාරයෙන් කියන්නේනම් ‘ත්‍රස්තවාදය’ යනු ආණ්ඩු මෙන්ම ඒවාට එරෙහි වන මිනිසුන්ද යොදා ගන්නා අවියක් වන විට ඒවා අර්ථකථනය කිරීමට ආගමික අදහස් යොදා ගැනීමද මේ දෙපාර්ශවයෙන්ම සිදු වේ. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ ‘ඉස්ලාමික අන්තවාදයට’ එරෙහිව ලෞකික ලෙස පෙනෙන අර්ථකථන යොදා ගන්නා ආකාරය තුළයි. නැවතත්, එහි අතිමූලික ලක්ෂණ වන්නේ මෙම ප්‍රහාර පසු පස ඇති ඉතිහාසය, දේශපාලන මර්ධනය, බැහැර කිරීම් අමතක කර මෙම ප්‍රහාර අනෛතිහාසික පාපයක – ‘යක්ෂයන් ගේ’, ‘දේවදත්තලා ගේ’ – ක්‍රියාකාරිත්වයක් බවට ඌණනය කිරීම සහ එමගින් ආගමික කතිකාව නැවත උච්චාරණය කිරීමයි.

අප දන්නා මෑත කාලීන ඉතිහාසය තුළ දේශපාලන අවකාශය ආගමික කතිකාවෙන් වෙන් කරන මොහොත හමු වන්නේ යුරෝපීය ප්‍රබුද්ධත්වය තුළයි. නමුත් මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණක් තිබේ. දේශපාලන අවකාශය ආගමික කතිකාවෙන් නිදහස් වීම සලකුණු වූ යුරෝපීය ප්‍රබුද්ධත්වය යනු ඓතිහාසිකව සුවිශේෂී අත්දැකීමකි. එහි සුවිශේෂත්වය රැඳී තිබෙන්නේ එය ආසියාවේ, මැද පෙරදිග සහ අප්‍රිකාවේ එලෙස අත්දැකීමට නොහැකි වූ නිසා පමණක් නොවේ. ඒ හා සමගම එය එක්සත් ජනපදය තුළද අත්දැකීමට නොහැකි විය. එක්සත් ජනපදය යනු ආකෘතික මෙන්ම අන්තර්ගතය අතින් ද ආගමික රාජ්‍යයකි (එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලට දෙන දේශපාලන රැකවරණය පසුපස මෙය තීරණාත්මක සාධකයක් වෙයි).

යුරෝපීය ප්‍රබුද්ධත්වයේ ලෞකිකවාදී පණිවුඩය වඩාත් ජවසම්පන්න ලෙස ඉදිරියට ගෙන ගියේ ගෝලීය කොමියුනිස්ට් ව්‍යාපාරයයි. සැබැවින්ම, එහි ගොලීයත්වය සඳහා තීරණාත්මක සාධකයක් වූයේ ද මෙම ‘ලෞකිකවාදයයි’. අප අද මුහුණ දෙන අර්බුධය වන්නේ මෙම කොමියුනිස්ට් ව්‍යාපාරයේ බිඳ වැටීමෙන් පසුව මෙලෙස ජාත්‍යන්තරවාදී දේශපාලන අවකාශයක්, ආයතනයක්, නීතියක් ගොඩ නැගීමේ අත්‍යන්ත අපහසුවයි. අපට දැන් ප්‍රායෝගිකව අත්දැකීමට නියමිතව තිබෙන්නේ එක් ආගමික අන්තවාදයකට එරෙහිව තවත් ආගමික අන්තවාදයක් වර්ධනය වන ආකාරය පමණි. ඉදිරි කාලයේදී ‘බොදු බල සේනා’ වැනි සංවිධාන අතු පතර විහිදා වර්ධනය වීමට නියමිත වෙයි.

මෙවැනි අවස්ථාවකදී පළමු අවශ්‍යතාවය වන්නේ මෙම අර්බුදයේ මූලික පැතිමානයන් තේරුම් ගැනීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ තිබෙන්නේ ‘යක්ෂ මිනිසුන්ගේ පාපී ක්‍රියාවක්’ නොවනවා මෙන්ම මෙය ‘මෝඩ ඉස්ලාම් අන්තවාදය’ යන්නට ඌණනය කිරීම ද අප නොකළ යුතු වේ. අවාසනාවකට දැන් සිදුව තිබෙන්නේ මෙය ‘වළක්වා ගැනීම සඳහා රාජ්‍යයේ ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් විය යුතු ආකාරය’ පිළිබඳව සංවාදයක් වෙත සියලු දෙනා සීමා වීමයි. හදිසි අවශ්‍යතාවය වන්නේ මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය තරම් රාජ්‍යයේ මිලිටරි යන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කෙසේද කියා සාකච්ඡා කිරීම නොවේ. එය අනිවාර්යයෙන් එලෙසම සිදු වනු ඇති අතර මෙම යන්ත්‍රණයේ හස්තය තවත් බොහෝ තැන් වලට දිගු වනු ඇත. නැත. අප සාකච්ඡා කළ යුතු කරුණු වන්නේ මේවා නොවේ. මනෝවිශ්ලේෂණය මෙන්ම දේශපාලන ඉතිහාසයද අපට කියා දී ඇති දෙයක් තිබෙන්නේනම් ඒ ‘මර්ධනය’ කෙදිනකවත් සාර්ථක නොවනා බවයි. මර්ධිත දෙය සෑම විටම නැවතත් නැගී සිටිනු ඇත. එනිසා අවශ්‍ය වන්නේ ‘මර්ධනය’ නොව මෙවැනි ක්‍රියාවන් වල ඓතිහාසිකත්වය හඳුනා ගැනීමට උත්සාහ කිරීමයි. එක අතකින්, මෙහි තිබෙන්නේ පසුගිය වසර කීපය තුළ මෙරට සමාජයේ ක්‍රියාත්මක වූ මුස්ලිම් විරෝධී ජාතිවාදයේ ඍජු ප්‍රතිඵලයි. අනෙක් අතට, සහ අවසානයේදී, මේ තිබෙන්නේ ‘සීත යුද්ධයෙන්’ පසු ලෝක දේශපාලන පර්යායේ සහ එහි තීරක බලය හිමි ඇමරිකානු හෙජමොනියේ අර්බුධයකි. එක ආගමික අන්තවාදයකට එරෙහිව, ආධිපත්‍යධාරී සහ එනිසාම අදෘශ්‍යමාන, තවත් ආගමික අන්තවාදයක් වෙනුවෙන් පෙනී සිටීම මගින් මෙම අර්බුධය විසඳිය නොහැකි වේ. අවශ්‍ය වන්නේ දේශපාලන අවකාශය ආගමික කතිකාවෙන් මුදවා ගැනීමයි.

නමුත් මේ සඳහා අපට අවශ්‍ය දාර්ශනික පදනම කුමක්ද? එවැන්නක් අප සතුව දැනටමත් තිබෙන්නේද? එසේත් නැතිනම්, ආගම දාර්ශනිකව අභියෝගයට ලක් නොකිරීමෙන් මෙය කළ හැකිද? අප වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්න වන්නේ මේවාය.

වංගීස සුමනසේකර

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb