යුද්ධය වෙනුවට සාමය ද වෛරය වෙනුවට සංහිඳියාව ද විශ්වාස කරමි.

යුද්ධය වෙනුවට සාමය ද වෛරය වෙනුවට සංහිඳියාව ද විශ්වාස කරමි.

30 April 2019 06:48 am

මිත්‍රත්වයෙන් ලියමි.

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක ජීවිත දෙසිය පණහකට වඩා බිලිගෙන නව වැනි දිනට එළඹෙමින් තිබේ. බල සූදුවේ දාදුව පාලකයින් අතර ද ජනතාව අතර ද පෙරළෙමින් තිබේ. ඒ අතර ම නො සිදුවිය යුතු ලෙස ම ජාති, අාගම් , දේශපාලනික මති මතාන්තර පදනම් කොට ගෙන අනෙකාගේ ලේ ඉල්ලන සුපුරුදු මොහොත එළඹෙමින් තිබේ.

 

මම කිසිදු ආගමක් රහසින් හෝ අදහන්නියක නො වෙමි. ඉතා පැහැදිලි අවබෝධයකින් ජාතියේ ද ආගමේ ද යදම් සහ පෙකණිවැල් කපා දැමූවෙකු වෙමි. එහෙත් ජාතිවාදයේත් ආගමික අන්තවාදයේත් නිරන්තර ගොඳුරක් බවට පත්ව දුක් විඳ ඇත්තෙමි. ඒ පීඩාව ගැන හොඳින් දනිමි. ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඇති සියලු ප්‍රධාන ආගමික සංස්ථාවලින් බිහි කරන ලද අන්තවාදී කැතකම ද ප්‍රචණ්ඩත්වය ද දැක ඇත්තෙමි.

එනිසාම යමක් වටහා ගන්නට හැකි වූ දා සිට මුළු ජීවිත කාලය පුරාම හිංසනයට එරෙහි කඳවුරේ සිටගෙන ඇත්තෙමි. එරෙහි වූයේ කවර හෝ පාර්ශවයන් විසින් උතුරේ වේවා දකුණේ වේවා පීඩිත අහිංසකයින් මත හෙළුෑ පීඩාවේ මුඟුරට ය. උතුරු නැගෙනහිර සිවිල් වැසියන් මත ආණ්ඩු විසින් මරණය අත හරින විට මෙන් ම එල්ටීටීඊය බලහත්කාරය පටවන විට ද ඒ පොළව මතදී ම ඒවාට එරෙහි වී මරණ වරෙන්තුව ඉල්ලා ගත් අතීතයකි.යුද්ධයට ගිය පෙම්වතා පණ පිටින් එනතුරු මැරි මැරී බලා උන් සත් වසක අතීතයකි. යුද්ධය ඇවිලෙද්දී උතුරු නැගෙනහිර අසරණ වූ සිංහල , දෙමළ , මුස්ලිම් ගම්මානවල උන් සමඟ ජීවත් වෙමින් වැඩ කළ ඉතිහාසයකි.

ඉස්ලාම් අන්තවාදයේ බලපෑමෙන් සිදුවන ළමා විවාහවලට එරෙහිව, ඇඳුම් යොදාගෙන ක්‍රියාත්මක කෙරෙන ස්ත්‍රීන්ට එරෙහි හිංසනයට එරෙහිව ලියූවේ අද ඊයේ නොවේ. දේශපාලනික මැදිහත්වීම් ලෙස මුස්ලිම් ප්‍රජාව සමඟ සාකච්ඡා ගොඩ නැඟීමට දැරූ උත්සාහයන් ද වේ. ලින්ක් අලවන්නට වෙහෙස නොවෙමි. අවුරුදු දහයකට එපිටදීත් ලියූ දෑ කැමැත්තෙකුට සොයා කියවිය හැකිය. පාස්කු සිදුවීම ගැන කවි නො ලිව්වෙමි. ඒ නොලියවෙන නිසා ය. එහෙත් කවි ලියා තබා ඇත. ඒ අකුරු තවම මැකී නැතැයි විශ්වාස කරමි. ඒවා කවදාටත් වලංගු ය.

කිසිදු දේශපාලනික පක්ෂයකින් ආණ්ඩුවකින් ඉල්ලූ හෝ ගත් දෙයක් නැත. යහපාලන රජයක් සමඟ මට තිබූ කිසිදු සම්බන්ධයක් නැත. අනෙක් අතට ලේඛකයෙකු ලෙස කිසිවෙකුගෙන් කිසිවක් ඉල්ලා ද නැත.

සියල්ල නිවැරදිව සිදු වූවාත් නොවේ.මේ ව්‍යසනය මේ සා විසල් ලෙස අප මත පතිත වේ යැයි දේශපාලනිකව දකින්නට තිබුණි. ඒ වරදකාරී හර්ද සාක්ෂිය මා තුළ දැවෙයි. එහෙත් හැකි අයුරින් මේ සියලු අන්තවාදයන් සමඟ සටන් කරමින් සිටියෙමු. ඒ පමණ මඳ වීම ගැන යළි යළිත් තැවෙමි.

සියලු නින්දා අවමාන මැද පවා කිසිදා නොකියා සිටි මේ උත්තම පුරුෂ ඒක වචන කතාව ලැජ්ජාවෙන් වුව ද කිව්වේ එක ම එක හේතුවකට ය.යුද්ධය , නවක වධය, ආගමික අන්තවාදය, ළමා හෝ කාන්තා හිංසනය, ජාතිවාදය වැනි පීඩිත මිනිසුන් මත හෙලන ඕනෑම හිංසනයකට විරුද්ධ විය යුතු බව ජීවිත කාලය පුරා ම විශ්වාස කෙරුවෙමි. ඒ වෙනුවෙන් කළ හැකි දේ කරන්නට, ලියන්නට නො පැකිළ ඇත්තෙමි. යුධ වෙළෙන්ඳන් , සාම වෙළෙන්ඳන් සහ දේශපාලනික තක්කඩින් අතර මටත් වඩා කැප වූ තව බොහෝ යහපත් ගැහැනුන් ද මිනිසුන් ද මට හමු වී තිබේ. ඒ ස්වල්පයක් මිනිසුන් වෙනුවෙන් මෙය ඉතිහාසයේ ලියා තැබිය යුතුය.

ඔව්!

යුද්ධය වෙනුවට සාමය ද වෛරය වෙනුවට සංහිඳියාව ද විශ්වාස කරමි.

ලේ හැලීමෙන් දිනූවෙක් නැති බව අත්දැකීමෙන් දනිමි. මා අවට සියල්ලන් ත්‍රස්තවාදීන් නොවන බවද ජාතියෙන් ආගමෙන් මිනිස්සුන් වර්ග කළ නොහැකි බව ද දනිමි.

ඒ නිසා මිතුරනි,
මේ දැන් මේ මොහොතේ...,
සාමය ගැන කතා කළවුන්ට රිංගන්නට මේස පුටු පෙන්වන, තර්ජනය කරන, බර වචන කියන, තැන තැන කැලෑ පත්තර ලියන ඔබ බොහෝ දෙනෙකු අප ඒ ගිය මාවත්වල ඇවිදින්නට හිතාවත් නැත.

මෙතෙක් ඔබට බයේ ලිව්වේත් නැත. ඔබට වඩා විශාල රෙජීමයක් තුළ පවා අප බොහෝ දෙනෙකු නොලියා සිටියේ හෝ වීදි නො බැස සිටියේ ද නැත. ඉදිරියටත් එය එසේම ය.

සහෝදරත්වයෙන් නැවත කියමි.

විසඳුම් දේශපාලනික විය යුතුය . එක්ව හැර සටන් දිනා ගත හැකි අන් මඟක් නැත.

එක් වන්නට ඔබ එකඟ වූවත් නො වූවත් මා හෙට හෝ තව වසර ගණනකින් මිය යන්නේ ද සියලු වර්ගවාදයන්ට අන්තවාදයන්ට එරෙහි මනුෂ්‍යයෙකු ලෙස මිස හිස් ජාතිවාදියෙකු හෝ බයගුල්ලෙකු ⁣ලෙස නො වේ.

ඔබට සාමය වේවා!

- කල්පනා ඇම්බ්‍රෝස්