සැකෙන් බැලීම ගැන ...

සැකෙන් බැලීම ගැන ...

4 May 2019 05:44 am

මීට දින හය හතකට පෙර ඇගේ ප්‍රියතම මසාලා තෝසේ ආහාර වේල ගැනීමේ අදහසින් අප නිවසට ආසන්න නගරයක වූ අපට සුපුරුදු තෝසේ කඩයට ගොඩ වුනෙමු.

 

මතකයේ හැටියට වේලාව සවස හයහමාරට පමණ විය. වෙනදාට ඒ කඩයට ගොඩවන අපට එහි සේවාව ගැන කීමට තිබුනු එකම චෝදනාව වූයේ වේටර් වරුන්ගේ පමාව පමණි. ඊට හේතුව බොහෝ විට කඩය පිරෙන්නටම සෙනඟ සෑම විටකම වාගේ සිටි නිසා බව අප නොදැන සිටියා නොවේ.

කඩය ඇතුළට ගොඩ වූ අප අපට සුපුරුදු අසුන වෙත ගොස් ඉබේම වාගේ හිඳගත්තෙමු. වෙනදාට කඩිසරව ඔබ මොබ දුවනා වේටර්වරුන් තුන් හතර දෙනා මුල්ලක වාඩිවී අප දෙස බලනා අයුරු දුටුවේ තත්පර දහයක් පහළවක් ගෙවී ගියාට පසුවය. මොකක් හෝ කතාබහක අතරමං වී සිටි අප දෙදෙනා එකවර අප අවට ලෝකය ගැන සංවේදී වුනෙමු.

අප දෙස බලා සිටි වේටර් වරුන්ගෙන් කෙනෙක් කිසිවක් නොවූවාක් මෙන් අප ළඟට පැමිණ කෑම ඕඩරය ලබා ගත්තේය.

"මසාලා තෝසේ දෙකක්... තව උළුඳු වඩේත් ගේන්න"

මුළු කඩයටම සිටියේ මමත් ඇයත් පමණි.

දින කිහිපයකට කලින් පිපුරුනු බෝම්බ මාලාව... එය මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් සිදු කරනු ලැබූවක් වීම.... මෙම තෝසේ කඩය මුස්ලිම් කඩයක් වීම... කවදාවත් නැති විදියට කඩේ සෙනඟගෙන් හිස්ව තිබීම...රෑ දහයේ සිට වැටෙනා ඇඳිරි නීතිය.....

වෙනදා ආසාවෙන් ආහාර වේල රසවිඳිනා ස්ථානය වටා ගොඩනැඟී ඇති කථාව අද සපුරා වෙනස්ව ඇත. මේ වෙනදා අපි කෑම කන කඩයමද? මේ ඉන්නේ වෙනදා අපට සංග්‍රහ කරන ඒ සේවක මහතුන්මද? මේ කෑම කන්නේ වෙනදා මොකක් හෝ කතාවක් ඇදගෙන සිනහසෙමින් ආහාර රසවිඳිනා මමමද? ඇයමද?

අවට සෑම දෙයකම මොකක් හෝ අමුතු වෙනසක් සිදුව ඇත. අප දෙදෙනා කෑම කා අවසන් කරන තුරුම එකිනෙකා හා සමඟ අඩුවෙන් කතා බහ කලේ සිතා මතාම නොවේ.

"අපි දෙන්නා විතරයි නේ.." ටික වේලාවකට පසු ඇය හෙමින් කීවාය.

මගේ සිතට දැනුනේ වේදනාවකි. මේ අවස්ථාවේ මේ මිනිසුන්ට මොන විදියේ හැඟීමක් දැනෙනවා ඇත්ද?

අප කෑම කා අවසන් වන කාල සීමාව අතර කඩයට පැමිණියේ තව පිරිමින් දෙදෙනෙක් පමණි.

බිල ගෙවනා අතර තුර මම වේටර්වරයා සමඟ සිනහසෙමින් මෙසේ ඇසුවෙමි.

"අද සෙනඟ අඩුයි නේද?"

මඳ සිනහවක් නැඟූ ඔහු "රෑට ඇඳිරි නීතියනෙ. මිනිස්සු වැඩිය එළියට බහින්නෙ නෑ"

ඔහුගේ කතාවේ ඇත්තක් තිබෙන බව මට සිහි විය. සමහර විට මේ සෙනඟ නැති බව "කොන් වීමේ" ප්‍රතිපලයක් නොවිය හැක. එය මගේ සිතින් මම ම හදාගත් හිතළුවක් වන්නටත් බැරි නැත.

***

එවෙලේ සිදු වූයේ කුමක් වුවත්, මේ සිදුවුන සිදුවීම් මාලාව නිසා අප සියලු මුසල්මානුවන් එකම පාට පැන්සලකින් පාට කොට, එකම මිම්මකින් මැන, එකම අන්තවාදී කුලකයකට දමා බලන්නේ නම් එය මහා ඛේදජනක තත්වයක් බව ලියා තබමි.

උපතින් සිංහල ලේබලය අලවනු ලැබූවෙක් වු මම අලුත්ගම ප්‍රහාර වලට වගකිව යුතු නැති තරම්ම සියලු මුසල්මානුවන් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නැත.

ගෙවුනු සති කිහිපයේ අප නිවසේද, රටේ සෑම ගෙදරක සේම කතා වුනේ එකම මාතෘකාවක් ගැන පමණි. ඒ මාතෘකාව ඇතුළත මගේ එකම උත්සාහය වුනේ "සියලු මුස්ලිම් මිනිස්සු අන්තවාදී කියල කියන්න බෑ" කියනා කාරණය මගේ ප්‍රියයන්ට පැහැදිලි කර දීමටය.

දන්නා සියලු දත්ත, තර්ක ඉදිරිපත් කලද මගේ උත්සාහය සාර්ථක වූයේ නැති බව කණගාටුවෙන් වුවද සඳහන් කරමි.

ඒ අපේ ගෙදර තත්වයය. මේ තරම් සරල කාරණයක් තේරුම් ගැනීමට අපට නොහැකි නම්, අප හමුවේ ඇති ප්‍රශ්නය අප තේරුම් ගන්නේ කෙලෙසකද? ඒ ගැන සිතා ගැනීමටවත් අපහසු තැනකය, මා මේ මොහොතේ සිටින්නේ.

"පුතා.. මම අන්තිම සැරේට කියන්නෙ. ඔය රැවුල කපා ගනින්. උඹ මුස්ලිම් එකෙක් වගේමයි. දැන් කොයිවෙලේ හරි පාරෙදි පොලිසියෙන් උස්සන් දාගෙන යනවා උඹව.."

අම්මාගේ බිය අසාධාරණ නැත.

මුසල්මානුවෙක් සේ මොහොතකට හරි වරදවා වටහා ගනු ලැබීමම අප සිතට ගේන්නේ අනාරක්ෂිත බවක හැඟීමකි.

තමාගේ පුත්‍රයා රැවුල වවා තිබීම පමණක්ම නිසා මගේ මවගේ සිතේ චකිතයක් ඇති වේ නම්, සැබවටම මුසල්මානුවන් වූ ඔවුන්ට ඇත්තේ කුමනාකාරයේ අනාරක්ෂිත හැඟීමක්ද කියා මම තේරුම් ගන්නට උත්සාහ නොකරමි. මන්ද, උපතින් සිංහලයකු මට මේ හට ගෙන ඇති පරිසරය නිර්මාණය කර ඇති ඒ හැඟීම තේරුම් ගන්නට හැකි නොවනවා කියා සිතෙන බැවිනි.

"ඔය මොනව කිව්වත් මිනිස්සුන්ගෙ බය සාධාරණ නැද්ද?"

ආවේගශීලීව මගෙන් එසේ අසන්නේ මගේම නැඟනියයි.

"බය සාධාරණයි නංගි. මොකක් හරි අවාසනාවන්ත සිද්ධි දාමයක් නිසා අද අපි මෙතනට ඇවිත් තියෙනවා. මුස්ලිම් මනුස්සයෙක් දැක්කාම මෙවෙලෙ හිතට සැකයක් එන එක සාධාරණයි. මම කියන්නෙ නංගි, ඒ මනුස්සයා දිහා සැකෙන් බලන්න. මූත් අන්තවාදීන් ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්ද කියන සැකෙන්. ඒ සැකය තියා ගන්න. කල්පනාවෙන් ඉන්න. ඒත්, තමා ඉස්සරහට මුස්ලිම් මනුස්සයෙක් හම්බුනාම, මූ මොනවා කලත් බොරුව කරන්නේ, මූ මොකා වුනත් අන්තවාදියාම තමයි කියලා හිතන් බලන්න එපා. ඒක හරිම අසාධාරණ කුරුරි ආකල්පයක්..."

ජීවිතය දෙස මොන තරම් සෘණාත්මකව බලන්නෙකු වුවත්, මේ අවස්ථාවේ මම මගේ මුස්ලිම් සගයා දෙස ධනාත්මකව බලමි. ඔහු මා මෙන්ම මනුශ්‍යත්වය අගයන මනුස්සයෙකු වීමට ඇති ඉඩ මම පිළිගනිමි. මගේ ඒ පූර්ව නිගමනය වැරදි නම්, මා වැරදි බව ඔප්පු කිරීමට මම ඔහුට ඉඩ ලබා දෙමින් ඔහු දෙස බුද්ධිමත්ව බලමි.

සියලු මුසල්මානුවන් අන්තවාදීන් නොවනා බව කියන්නා සේම සියලු මුසල්මානුවන් "තොත්ත බබාලා" කියාද මා නොකියමි. මා කියන්නේ ඔය මොන ඇසකින් බැලුවද, සියලු මුසල්මානුවන් ඔය කුලක දෙකෙන් එකකට දමා බලනවා නම්, එය පටන් ගත් තැනම ප්‍රශ්නය නැට්ටෙන් අල්ලා ගැනීමක් බව පමණකි.

මේ සරල සත්‍යයවත් සමාජයක් විදියට අපට තේරුම් ගැනීමට නොහැකි නම් අප ඉදිරිපිට ඇති, අප පිළිතුරු නොදන්නා මේ 'ප්‍රශ්නය අඩුම තරමේ තේරුම් ගැනීමට' වත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම උගහට බව අවසාන වශයෙන් සටහන් කර තබමි.

- සංජය ශ්‍රීකාන්ත්