මුස්ලිම් කඩ වර්ජනය කිරීමේ අවටියල් තත්වය

මුස්ලිම් කඩ වර්ජනය කිරීමේ අවටියල් තත්වය

4 May 2019 05:51 am

ජාතිවාදී ලෙස මුස්ලිම් කඩ වර්ජනය කිරීම නවත්වන්න කියන සාකච්චාවට ප්‍රතිතර්කයක් විදියට ආපු කාරනාවක් තමා,

 

"....මුස්ලිම්වරු වෙනම හලාල් කෑම, වෙනම උසාවි... වෙනම නීතී, වෙනම බැංකු ඇතිකරගෙන, ඒව සමග පමනක් ගනුදෙනු කරගෙන සිටිනකොට සිංහල අය තමන්ගේ ජාතියේ අයගෙම කඩේකට යන්න කියන එකේ වරදක් නෑ නේද.. මෙච්චර දෙයක් වෙලත් සිංහල අපි විතරක් සහජීවනයෙන් හිතල තේරුමක් නෑ. මුස්ලිම් සමාජයත් ලාංකීය සමාජෙට මුසු වෙන්න ඕනෙ. එහෙම නොවෙනවානම් සිංහල අපිටත් සිදු වෙනව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න...."

කියන එක. බැලූ බැල්මට මෙම තර්කයේ පදනමක් තියෙන බව පෙනී ගියත් මෙය ප්‍රශ්නය තවත් දුරදිග යවන ක්‍රියාවක් මිසක් ප්‍රශ්නය නිවන විසඳුමක් නොවන බව පැහැදිලි වේවි.

පලමු කාරනාව දැං ලංකාවේ සියලු සමාජ කතිකාවත් ගොඩනැගෙන ප්‍රධාන මාද්‍ය ෆේස්බුක් එක. ලංකාව තුල ෆේස්බුක් ගිණුම් මිලියන 5ක් පමන තියෙනවා කියල කිව්වට ඕකෙන් මිලියන 2ක් වත් ක්‍රියාකාරීව ඉන්නවද කියන එක පැහැදිලී. එනයින් මෙසේ කාලෙන් කාලෙට ඇතිවන සමාජ කතිකාවත් ලංකාවෙ මුලු ජනගහනයෙන් 10%කට ආසන්න ප්‍රමානයක් අතරේ තමා හුවමාරු වෙන්නෙ. එහෙව් පසුබිමක අන්තවාදයට නැඹුරු වූ මුස්ලිම් වරුන්ගේ ශ්‍රී ලාංකීකරනය එක රැයින් ෆේස්බුක් පෝස්ට් තොගයකින් ගොඩ ගන්න බැරි දෙයක් බව තේරුම් ගත යුතුයි.

ඒ වගේම දැං දැන් මුස්ලිම් සමාජයේ අන්තවාදයට එරෙහිව නැගීහිටින මුස්ලිම් විද්වත් පිරිසක් ෆේස්බුක් තුලින්ම ගොඩනැගෙමින් තියෙනව. ඊට අමතරව බිම් මට්ටමේ සංවිදාන කිහිපයක් දෙමල භාශාවෙන් අමතමින් මේ සත් ක්‍රියාවට අත ගසා තියෙන බව ආරංචි. අද ඊයෙ උනු දෙයක් නෙමේ. කාලෙක සිට උනු දෙයක්. නැවත පණ ගහල ගන්න අවශ්‍ය ප්‍රචාරය අප විසින් ලබා දිය යුතු වැඩපිලිවෙලක්. අනෙක් අතට කාත්තන්කුඩියේ තව්ජිත්ජමාත් ත්‍රස්තවාදීන්ට විරුද්දව මුලින්ම පාර බැස්සෙත් ඒ පළාතෙම මුස්ලිම්වරු කියලත් මතක තියාගමු.

ඉහත ප්‍රතිතර්කයට යොමු උනොත්....

පැහැදිලිවම එක් ජාතියකගේ විශේශිත වූ ආහාර අවශ්‍යතාවක් වෙනුවෙන් අනෙක් සියලු ජාතීන්ගෙන් බෙදී යන මුදලක් අය කිරීමේ අසාදාරනයක් තියෙනව. මුස්ලිම් වරුන්ට හලාල් සහිතකය සහිත කෑම වල අවශ්‍යතාවක් තියේනම්, අන් ජාතීන්ට අසාදාරනයක් නොවන විදියට, එම සහතික ලබා දීමේ ආයතනය එය නොමිලේ කල යුතු ක්‍රියාවක් විය යුතුයි. එය පළමු පියවර. දැං අපිට ලැබිල තියෙන හොඳම අවස්තාවේදී අප විසින් ඇතිකල යුතු කතිකාවත ඒක. කාලෙකට කලින් මුස්ලිම් නීතීඥවරයෙක් රූපවාහිනී වැඩසටහනකදි පැහැදිලි කරා මේ හලාල් කියන තත්වය සහතිකයකින් මැනීම අනවශ්‍ය බවත් එය විශ්වාසය මත පදනම් විය යුතු බවත්. ඒක තමා දෙවන පියවර. 'වෙනම' කියන තත්වය අහෝසි වෙන තැන එතැන. මුස්ලිම් සමාජයේම විදවතුන්ගෙන් පැමිනෙන මේ වගේ අදහස් වලට ප්‍රමුකතාවය දෙන එකයි වෙන්න ඕනෙ. One country one law කියන ජයග්‍රහනය අපිට ලබාගන්න පුලුවන් වෙන්නෙ මේ ඔස්සේ.

කඩ වර්ජනය

මුස්ලිම්වරු බහුතරේ ව්‍යාපාරිකයො. ඉතිං ඔවුන්ව කොන් කිරීමක් වශයෙන් තමා මේ මුස්ලිම් කඩ වර්ජනය කියන මාතෘකාව ඇදිල එන්නෙ. නමුත් මුස්ලිම්වරුන්ගේ කඩ වල අලෙවි වන භාණ්ඩ සියල්ලම මුස්ලිම් වරුන් නිපදනව භාණ්ඩද?

ශ්‍රී ලංකාවේ වැඩිපුරම පරිබෝජනය කරන භාණ්ඩය වන හාල් නිශ්පාදනය කරන්නෙ අති බහුතර සිංහල බෞද්ද ගොවීන් විසින්. එලවලු සහ කුලු බඩු නිශ්පාදනයේ ප්‍රමුකයො සිංහල බෞද්ද සහ දමිල ගොවීන්. නිශ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හුවමාරු වීමේදී මුස්ලිම් වරු මෙහි අවසාන පුරුක විතරයි. එතකොට මුස්ලිම් කඩ වර්ජනය කිරීම මුස්ලිම්වරුන්ට පමනක් රිදෙන තත්වයක් විදියට අවබෝද කරගැනීමම මෝඩයි නේද?

ගාල්ලේ මුස්ලිම් තරුණ සංසදයක් කියාගන්න පිරිසක් විසින් යුදෙව් නිශ්පාදන වර්ජනේ කරන්න කියල කරපු ඉල්ලීමක් දැක්ක. ඒකෙ තිබ්බෙ KFC, Mcdonalds, pizza hut වගේ කඩ වර්ජනේ කරන ලෙස. ඉල්ලීම එන්නෙ යුදෙව්වට රිද්දවන්න. නමුත් රිදෙන්නෙ යුදෙව්වන්ට විතරද? KFC, Mc, Pizzahut වගේ ප්‍රමුක පෙලේ කෑම නිශ්පාදන ආයතන වලට කුකුල් මස්, හරක් මස් සපයන ව්‍යාපාරිකයින් අති බහුතරය මුස්ලිමවරුන් කියල මුන්ට අවබෝදයක් නෑ. එහෙම වර්ජනයක් වුනොත් ව්‍යාපාර ආයතතන වල සිටින මුස්ලිම් සේවකයින්ගේ රැකියා අවස්තාවන් අවදානමකට පසු වෙනව කියන මුන්ට අවබෝදයක් නෑ.

එහෙමනම් තේරුම් ගත යුතුයි. රටේ භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වූ ජාලය තුල සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ බර්ගර් හැම ජාතිකයම පිරිස් ඒ ඒ තැන් වල ස්තානගත වෙලා ඉන්නව. මුස්ලිම් කඩ වර්ජනය කිරීම කියන ව්‍යායාමය හුදෙක් එක ජාතිකට පමනක් රිදෙන දෙයක් නෙමේ. සමස්ත ජාතීන්ටම රිදෙන කාරනාවක්.

කෙනෙක් හිතන්න පුලුවන් මේ වර්ජන ව්‍යාපාරයෙන් මුස්ලිම් වරුන් අත තියෙන ව්‍යාපාර ක්ශ්‍රේත්‍රය ටිකෙන් ටික සිංහල අය අතට ගත්තොත් ඒක ජයග්‍රහනයක් විදියට. නමුත් ඒක අප තවත් අති දැවැන්ත ගැටලුවකට පාර කපාගැනීමක් මිසක් ජයග්‍රහනයක් නෙමේ.

දැනට කොළඹ ප්‍රදේශයේ තියෙන මුස්ලිම් හෝටල්, සිල්ලර කඩ ඇතුලු ව්‍යාපාර තුල නැගෙනහිර ප්‍රදේශවලින් පැමිනි තරුණයින් බහුතරයකට රැකියා අවස්තා සපයනව. මොවුන් එන්නෙ ජීවිත් වෙන්න මුදල් හොයාගන්න. කොළඹ කටු කාල, වෙලාවක් කලාවක් නැතුව රස්සාව කරල, ඉන්න දීල තියෙන අගු පිලේ හරි නිදාගෙන, කන්න දෙන මොනා හරි කාල කීයක් හරි හොයාගෙන මාස තුන හතරකට සැරයක් තමා ගමට යන්නෙ. එහෙම අසරන ජීවිත ගත කරමින් ජීවත් වෙන්න වෙර දරන තරුණයො පිරිසකට මේ මුස්ලිම් කඩ වර්ජනය කිරීමක් මගින් ඇතිවන බලපෑම තේරුම් ගන්න පුලුවන්ද? කොළඹ මුස්ලිම් වරුන්ගේ ව්‍යාපාර බිඳ වැටුනොත් ඔවුන්ට ආපහු නැගෙනහිරට යන්න වෙනව. එහෙ ගියාට ඔවුන්ට සරිලන රැකියා අවස්තා ප්‍රමානාත් විදියට නෑ.

ඒ කියන්නෙ විරැකියාව වැඩිවෙනව. විරැකියාව වැඩිවෙනකොට දුප්පත්කම වැඩිවෙනව. විරැකියාව දුප්පත්කම වැඩිවන තැන ඇතිවන සමාජ ප්‍රශ්න වල කෙලවරක් නෑ. යාපනයේ ආවා කල්ලියේ නැගිසිටීම වෙන්නෙත් විරැකියාව නිසා. උදේ හවා රස්සාවක් කරල ආදායමක් ගන්න උංගෙං අති බහුතරේකට තව එකෙකුට කොටන්න කඩු අරං හන්දි ගානෙ රස්තියාදු ගහන්න අවශ්‍යතාවක් නෑ. ඒ මිනිහගෙ ජීවිතේට කරන්න ඊට වඩා වෙන වැදගත් වැඩ හැදෙනව.

විරැකියාව දුප්පත්කම අන්තවාදයට සහ ත්‍රස්තවාදයට පාරා වලල්ලක්. උතුරු හා මධ්‍යම අප්‍රිකාවේ අන්ත දුප්පත් රාජ්‍යයන් තුල ඉස්ලාමික ත්‍රස්තවාදය ව්‍යාප්ත වුනු ප්‍රධාන හේතුව විරැකියාව හා දුප්පත්කම. නයිජීරියාවේ කතෝලිකයින් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශ වල විරැකියාව සාපේක්ශව අඩු වුනත් මුස්ලිම්වරු ජීවත් වන ප්‍රදේශ වල විරැකියාව අති ඉහලයි. බොකෝහරාම් ත්‍රස්තවාදීන් ඒ ප්‍රදේශවල නැගීසිටියෙ ඒ තත්වය උඩ. විරැකියාව නිසා ඇතිවන දුප්පත්කම, දුප්පත්කම නිසා ඇතිවන අපේක්ශා භංගත්වය අනාරක්ශිත බව ත්‍රස්තවාදයට ආශිර්වාදයක්.

එහෙම කොළඹට වෙලා රැකියාවක් කරගෙන හිටපු නැගෙනහිර කොල්ලො ටිකකට හිටි අඩියේ රස්සාවල් නැතිවෙලා ගමට යන්න උනාම ඒ අය අන්ත්වාදයට යොමු නොවී ඉඳීවි කියල සහතික වෙන්න පුලුවන්ද? මේ තරුණයින්ව ත්‍රස්තවාදයට පොලොඹොවන්න ඕනෙ තරම් මුදල් වැය කරන්න සූදානම් අරාබිකාරයො ඉන්නව. 2014දි හරක් මඩුවක් වගේ තිබුනු ජාතික තව්ජිත් ජමාත් ත්‍රස්තයන්ගේ ගොගනැගිල්ල, 2019 වෙනකොට වර්ග අඩි 10,000 කට එහා ගිය නවීන ගොඩනැගිල්ලක් උනේ උං මහන්සි වෙලා හම්බු කරපු සල්ලි වලින්ද? පැහැදිලිවම නෑ. විදේශ සංවිදාන වල ආධාර. කොළඹ ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගෙන, එංගලන්තෙ උපාදියක් කරල, ඕස්ට්‍රේලියාවෙ පස්චාත් උපාදියක් කරල ආපු, ලාංකාවෙදි මාසෙකට කෝටි ගනනාවක් හම්බ කරන ව්‍යාපාරිකයො දෙන්නෙක් ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයො වුනු රටක,... දුප්පත්කමින් මිරිකෙන, මුස්ලිම් කඩ වර්ජනේ නිසා තිබ්බ රස්සාවටත් කෙලවුනු, මාසෙට රුපියල් 5,000ක් හොයාගන්න බැරි නැගෙනහිර කොල්ලෙක් ත්‍රස්තවාදියෙක් නොවී ඉඳී කියල සහතික වෙන්න පුලුවන්ද?

මුස්ලිම් කඩ වර්ජනයේ බැරෑරුම් කම තේරෙනවද?

සාරාංශය

පැහැදිලිව රට තුල ඉස්ලාම් අන්තවාදයක් තියෙනව. මුස්ලිම් සමාජය විසින් මෙය ගිලගනිමින් ඉන්නව. මුස්ලිම් සමාජය අන්තවාදීන්ගෙන් මුදවා ගන්නා මෙහෙයුමක් කිරීමට අවශ්‍යයි. මේ මෙහෙයුමට ලාංකීය මුස්ලිම් සමාජයේම විද්වත් පිරිස් එකතුවෙමින් තියෙනව. අන්තවාදී වෘක්ශයට පොහොර දමනවා වෙනුවට ඒ එකතුවට ශක්තියක් වෙමු.

ශ්‍රී ලංකාව සකලවිද අන්තවාදයෙන් මුදවාගන්න අවශ්‍ය විසඳුම් මිලියන 21ක් තියෙනව. ඔබත් එයින් එක විසඳුමක්. කරුනාකර නියම විසඳුමක් සේ හැසිරෙන්න.

- පණ්ඩුල නයන බණ්ඩාර