මචං මොහොමඩ් සහරාන් ....

මචං මොහොමඩ් සහරාන් ....

7 May 2019 09:08 am

මොහොමඩ් සහරාන්, මගේ පාසැල් කාලයේ පළමු අර්ධයේ සිටි හොඳම මිතුරා ය. එවකට පැවති මගේ පාසැල් නාට්‍ය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළේ ය. දිනපතා පාසැල වෙත යාමට අපව මෙහෙය වූ ප්‍රධානතම සාධකය වූ වේදිකා නාට්‍ය කෙරුවාව හැරුනුකොට කෑලි ටෝක් කිරීම ද, පාසැලේ තාප්පෙන් පැන වල් වැදීම ද, වලි වලට බැසීම ද, ගුරුවරුන්ගෙන් ගුටි කෑම ද සිදු වූයේ එකට ම ය. සහරාන් භක්තිවන්ත මුසල්මානුවෙකු වූ බැවින් මතින් තොර විය. එනමුත් කෑමෙන් නම් කිසිඳු අඩුපාඩුවක් සිදු නොකිරීමට වග බලා ගත්තේ ය. නෝම්බි කාලයට උගේ ප්‍රියතම කෑම ඌට පෙන්න පෙන්නා කෑම අපට ආශ්වාදජනක විය. එහෙත් රාමසාන් වලට පසු දින උගේ නිවසින් එන බුරියානි, වටලප්පන් ඌ හැම එකා සමගම බෙදා හදා ගත්තේ ය. එවකට අප සමග සිටි මිතුරු කවයෙන් ඉවසිලිවන්තම එකා සහරාන් විය. ඕනෑම ගැටළුවක දී සාවධානව, අනෙක් උන්ගේ ආවේගශීලී ප්‍රතිචාර යටපත් කොට, සාධාරන තීරන ගැනීමට ඌ උත්සුක විය. පාසැලට සමුදීමෙන් පසු අප අතර පැවති මිත්‍රත්වයේ සොදුරු මතක සටහන් හදවතේ කෙළවරක තැන්පත් කොට, එකිනෙකාට ආවේනික මාවත් දිගේ දෙපසකට පියවර තැබන්නට අපට සිදු විය. අප ගමන් ගත් මාවත් දිගු වත්ම අප වඩ වඩාත් එකිනෙකාගෙන් ඈත් විය.

 

අවසන් වරට එකිනෙකා හමුවී වසර 15කට පමන පසු මට මගේ හිතාදර හොඳම මිතුරා නැවත මුන ගැසෙන්නේ අහඹු ලෙස ය. ඒ මීට වසරකට පමන පෙර රාමසාන් සමයේ ය. ඉතාමත් කලාතුරකින් මුහුණු පොතට ගොඩ වදින්නෙකු වූ සහරාන් තමන්ගේ බිත්තියේ මොනවාම හෝ පල කළේ ඊටත් වඩා කලාතුරකිනි. මම ඉතා කම්මැලිකමින් මුහුණු පොත පීරමින් සිටි දිනෙක සහරාන් පල කර තිබූ රාමසාන් සුභ පැතුමක් අහඹු ලෙස නෙත ගැටී පැරණි මතක සමුදායක් දෝරේ ගලන්නට විය. "බුරියානි දීපිය" මම වහාම ඊට කමෙන්ට් කළේ පාසැල් සමයේ උගේ නිවසින් ලැබුනු බුරියානියේ රස මතක් වී කටට කෙල උනමින් ය. "ගෙදර වර" එකෙනෙහිම රිප්ලයි ය. වහාම මැසෙන්ජරයට ගොඩවැදුනු සහරානයා මගේ දුරකතන අංකය ඉල්ලා ගත්තේ ය. දිනය, වේලාව දුරකතනයෙන් තහවුරු කරගන්නා ලදි. ඉන්පසු සහරාන්ගේ බුරියානි කන දිනය උදා විය. බිරින්දෑත්, කොළු පැටියාත් කැටුව මම පිටත් වීමි. මම මේ යන්නේ වසර 15කට පසු මගේ හොඳම මිතුරා මුන ගැසීමට ය. ඒ වසර 15 තුළ ඌට මොනවා සිදු වී ඇත්දැයි මම නොදනිමි. ඒ වසර 15 තුළ මට සිදු වූ වෙනස්කම් ඌ කෙසේ බාර ගනු ඇත්දැයි ද මම නොදනිමි. "මොනවද ගෙනියන්නෙ? ඒ ගෙදර වෙන කවුද ඉන්නේ?" බිරින්දෑගේ ප්‍රශ්න මාලාව ඇරඹිනි. "මම දන්නෑ. ඕනෑම වර්ගයේ පවුලකට හරියන දෙයක් ගමු."

සහරානයා නොඉවසිල්ලෙන් අප එන තුරු බලා සිටියේ ය. ඌට දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම කොල්ලෝ ය. බාලයා අපේ එකාගේ වයසේම ය. උන් තිදෙනා හති වැටෙන තුරු එකිනෙකා බදාගෙන නැටුවෝ ය. සෙල්ලම් බඩු බෙදා ගත්තෝ ය. කාර් වලට රණ්ඩු කළෝ ය. ක්ෂනයකින් නැවත සිප වැළද ගත්තෝ ය. උන්ට ජාතියක් නොතිබිනි. භාශාවක් අවැසි නොවිනි. එකෙකු සිනාසෙන විට අනෙක් උන් දෙදෙනා ඌ සමග සිනාසුනේ ය. තව එකෙකු බිම වැටී හඬන විට අනෙක් උන් ඌ සමග හඬා වැටුනේ ය. සහරානයාගේ බිරින්දෑ රස වෑහෙන බුරියානියකින් අපට සංග්‍රහ කළේ ය. සවස් වන තුරු අපි අපේ ජීවිත බෙදා ගත්තෙමු. නැවත අපේ නිවසේ මුන ගැසෙන පොරොන්දුව පිට වෙන් වූයෙමු. මා එදින රාත්‍රියේ නිදා සිටියේ සිනා මුසු මුහුණකින් බව පසු දින බිරින්දෑ කීවා ය.

නැත. මේ මොහොමඩ් සහරාන්, ඒ මොහොමඩ් සහරාන් නොවේ. සෑම මොහොමඩ් සහරාන් කෙනෙක්ම ත්‍රස්තවාදියෙකු නොවේ. සෑම මුසල්මානුවාම අන්තවාදියෙකු ද නොවේ. නමුත්... මේ ඉතාමත් සරළ කරුණ මේ මොහොතේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ට නොවැටහෙන හෝ වටහා ගැනීමට අනවශ්‍ය බව පසුගිය දින කිහිපයේ අසන්නට දකින්නට ලැබුනු දේ වලින් ඔප්පු වී හමාර ය. හැම පෝයටම සිල් ගෙන "සියලු සත්වයෝ සුවපත් වේවා" යැයි කියන කටවල් වලින්ම තම්බින් මේ රටින් පන්නා දැමිය යුතු බව කියයි. මධ්‍යස්ත මතධාරී උගතුන්, බුද්ධිමතුන් ලෙස පෙනී සිටිමින් සිටි අය එකවරම අංශක 180කින් කනපිට ගසා ඇත. සහජීවනය ජෝක් වී ඇත. මනුෂ්‍යත්වය කුණු හරුපයකි.

මචං සහරාන්... මුන්ට මේ රට හදන්න බෑ. මුන්ට දේවල් දේශපාලනිකව තේරුම් ගන්න බෑ. ඒ නිසා මුං හදන්නෙ ඒක මිනිස්සුන්ගෙ වැරැද්දක් කියලා හිතන්න. ඊට පස්සෙ එක මිනිස්සු කණ්ඩායමකට වරද පටවන්න. උන් එක්ක ඇන කොටා ගෙන ත්‍රිල් එකක් ගන්න. දේශපාලකයන්ටත් ඕන ඒකමයි. මේ ඇන කොටා ගැනිලි වලින් ලකුණු දාගන්න. උන්ගෙ වැරැද්ද යටපත් කරන්න. මුං එක්ක මේ රට හදන්න බෑ මචං. උබ එක්කන් වරෙන් උබේ පොඩි එවුන් දෙන්නව අපේ ගෙදර. අපි උන්ට නිදහසේ හැදෙන්න දෙමු. උබයි මමයි වගේ ජීවිතේ බෙදා ගන්න දෙමු. ඇති තරම් රණ්ඩු වෙන්න දෙමු. ආපහු ආදරෙන් බදා ගන්න දෙමු. එකිනෙකා විශ්වාස කරන්න දෙමු. එකිනෙකාට ගෞරව කරන්න උගන්නමු. උන් කවදහරි මේ රට හදයි මචං. අපි එතකල් බලාගෙන ඉමු.

- කසුන් චන්ද්‍රනාත් පතිරණ