අනෙකාට කෙළින්නට ගෙනෙන නීතිවලින් ඉල්ලාගෙන කෑම හෙවත් වඩා භයානක ත්‍රස්තවාදයක් ඉල්ලීම !

අනෙකාට කෙළින්නට ගෙනෙන නීතිවලින් ඉල්ලාගෙන කෑම හෙවත් වඩා භයානක ත්‍රස්තවාදයක් ඉල්ලීම !

12 May 2019 04:26 am

දෙමෙල්ලුන්ට කෙලින්ඩ කියලා හිතලා හදිසි නීතියයි,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයි ගෙනල්ලා අවුරුදු 30 ක් තිස්සේ ඩබල් එකේම ඉල්ලං කෑවාය.

 

මරක්කයින්ට කෙලින්ඩ හිතාන ආයෙත් ඒ විගඩං නීති ගෙනල්ලා ඉල්ලං කන්ඩ හදනවාය.

සාමාන්‍ය රථ වාහන නීතිය අනුව පොලිස් අන නොතකා ධාවනය කිරීම හේතුවෙන් උසාවියකින් පනවන රු.1500 දඩය වෙනුවට, බීමතින් හරි, නොදැක්ක නිසා හරි, වෙන මගුලක් නිසා හරි යන එකාට වෙඩි තියලා මරන්ඩ තරං පොලිසියට, හමුදාවට බලය තියන බව කියලා,තව ඒ කරපු වැඩේ සාධාරනීකරනය කරන්ඩත් එනවාය.

හදිසි නීතිය නෙවෙයි, මොන මඟුල තිබ්බත් පොලිසියෙං,හමුදාවෙං අත දාපු පලියට වාහන නවත්තන්ඩ බැරි වන ප්‍රායෝගික තත්වයන් ඇත.

එවැනි විටකදී පොලිසිය,හමුදාව කල යුත්තේ ඉදිරියෙන් සිටින මුරපොලවලට ද දන්වා, එසේ අන නොතකා යන අය ලුහු බැඳ ගොස් අත් අඩංගුවට ගැනීමය.

පලා යන අය බරපතල ගනයේ අපරාධකාර⁣යෙක් බවට විශ්වාස කිරීමට සාධාරන හේතු ඇත්නම් සැකකරු මෙල්ල කිරීම සඳහා අවම බලය පාවිච්චි කිරීමට පොලිසියට ,හමුදාවට බලය ඇත.

ඒ අනුව පලා යන වාහනයේ ටයරවලට හෝ පලා යන සැකකරුගේ දනිසෙන් පහලට වෙඩි තැබීම දක්වා එකී අවම බලය විහිදී යයි.

පලා යන සැකකරු මනුෂ්‍යඝාතනයක් හෝ එවැනි බරපතල විනාශයක් කිරීමට සැලසුම් සහගතව පලා යන අයෙක් බව ද, ඔහුව ඝාතනය නොකලහොත් එයිට වඩා එහායින් යන බරපතල විනාශයක් විය හැකි බවටද , විශ්වාස කිරීමට තරම් ප්‍රබල කරුනු ඇත්නම් සැක කරුට වෙඩි තබා ඝාතනය කිරීම දක්වාද එකී අවම බලය විහිදී යයි.

මෙහිදී භාවිතා කරන අවම බලය සහ සිද්ධි දාමය අතර තාර්කික සම්බන්ධයක් තිබිය යුතු අතර,පොලිස්,හමුදා නිලධාරියාගේ හිතලු, සහ තරාතිරම සහ ඉහලින් ලැබුනු විධිමත් නොවන අන නියෝග එයට අදාල නොවේ.

මේ සියලු තත්වයන් උඩු යටිකුරු කරමින් පවත්නා හදිසි නීතියට මුවා වී, තමං අත දැමූ පමනින්, නොනවත්වා යන රියදුරෙකුට වෙනත් කිසිදු සොයා බැලීමක් නොමැතිව මහ පාරක් මැද වෙඩි තබා ඝාතනය කරන්නට පොලිසියට,හමුදාවට බලය ලැබෙනවනම්, මේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව එවැනි පොලිසියකට,හමුදාවකට භාර දිය යුතු නොවේ.

ඒත්, අනෙකාට කෙලින්ඩ හිතාන නීති අන පනත් ක්‍රියාත්මක කරන්නට ඉල්ලන,ඒවායෙන් අනෙකාගේ මෙන්ම තමංගේ පුද්ගලික නිදහස හා මූලික අයිතිවාසිකම් ද, පල් වතුරේ ගසා ගෙන යන වග නොදන්න, උන්මත්තක ආගමික ත්‍රස්තවාදයක් මැඩලීම වෙනුවෙන් ඊට වඩා භයානක ත්‍රස්තවාදයක් ආදේශ කරන්නට ඉල්ලන, එ්කටම හුරේ දාන ජාතියක් මැද අපේ මේ වචනවලට ලැබෙන්නේ අප බලාපොරොත්තු වන වඩාත් ශිෂ්ඨ සම්පන්න ජාතියකගෙන් ලැබෙන ප්‍රතිචාර නොවේ.

- නීතීඥ වසන්ත සිරි වටගොඩ