සෑර්, අපි මේ රටේ නෙත්තං මේ රටට අයිතිත් නෙත්තං ....

සෑර්, අපි මේ රටේ නෙත්තං මේ රටට අයිතිත් නෙත්තං ....

24 May 2019 04:02 am

"සෑර්..අපි ලංකාවට ආව දවස අපි දන් නෑ..අපේ සීයලාගේ ඉඳං තියෙන උප්පැන්න සහතික , හැදුනුම්පත්වල දාලා තියෙන්නේ නියම නම් නෙවෙයි.. මහම්මදු කියන වාසගම වෙනුවට ග්‍රාමසේවකලා මොහොමදු, මහමුදු, මොහිදීන්, කියලා හිතෙන හිතෙන නම් දාලා..අපි බැංකුවකිං නයක් ගන්ඩ ගියාම, නියං සානාධාර ගන්ඩ ගියාම, අපේ කඩ කුඩු කරපුවාට වන්දි ගන්ඩ ගියාම , නම වැරදියි කියනවා, ලෝයර් කෙනෙක් ලඟට ගිහිං දිව්රුම් පකාශද මොනාද ගේන්ඩ කියනවා, ග්‍රාම නිලධාරිගෙං ලියුං ගෙනාවම තව මොනාද මොනාද ගේන්ඩ කියනවා...පොලිසියට යන්ඩ කියනවා,ඒට යන්ඩ කියනවා..මේට යන්ඩ කියනවා... කවදාවත් අපේ වැඩේ වෙන් නෑ.."

 

මේ ඊයේ පෙරේදා දවසක මගෙ ලඟට ආව මනුස්සයෙක් මට කීව කතාවක් ය.

සිදු වී ඇති වරද නිවැරදි කරමින් දිව්රුම් ප්‍රකාශයක් සකස් කර දුන්නෙමි.

සතියක් යන්ඩ කලිං අරූ ලියුං කඩදහියක් උස්සං ඔපිසිය ඉස්සරහා ය.

"මෙය ඔබ විසින් සහතික කරන ලද දිව්රුම් ප්‍රකාශයක් ද යන්න නැවත තහවුරු කර අප වෙත දැනුම් දෙන්ඩ"

ලියුමේ සඳහන් ව ඇත.

සාක්ෂි ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව නිල මුද්‍රාව මත අත්සන් තබන ලද නීතිඥවරුන්ගේ සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන්ගේ අත්සන් සහ නිල මුද්‍රා නිවැරදිය යන්න අධිකරනයකදී පවා පිලි ගන්නා පූර්ව නිගමනයකි.

නමුත් ලංකාවේ බැංකු පද්ධතිය එය පිලි නොගනී.

ඒ අනුව මම මා විසින්න්ම සහතික කල දිව්රුම් ප්‍රකාශය මත නැවත සටහනක් යොදා සහතික කර අර මනුස්සයාට දුන්නෙමි.

"සෑර් මේක දෙන්නේ සෑර් අපිට තියෙන ආදරේට...ඒ වුනාට ..මේක අරං ගියාම එතන ඉන්න එවුං තව එකක් ගේන්ඩ කියයි...

සෑර් නිකමට කියන්ඩකෝ..අපි මේ රටේ නෙත්තං මේ රටට අයිතිත් නෙත්තං ..සෑර් ලියුමක් ගාලා දෙන්ඩකෝ අපි ඔක්කමලා මේ රටෙං එලවලා දාන්ඩ කියලා.. අපි ලස්ස විස්සක් විතර ඉන්නවා..අපි ඔක්කමලා ට යන්ඩ කියලා ලියුමක් දෙන්ඩ."

දැන හෝ නොදැදැන මේ මනුස්සයා ඉල්ලන්නේ රටෙං පිටුවහල් කිරීමේ නියෝගයක් උසාවියකිං ලබා දෙන ලෙසය.

ඒ වෙලාවේ මට දැනුන දේ ඔබට දැනෙනවාද?

- නීතීඥ වසන්ත සිරි වටගොඩ