වඳ දොස්තර ප්‍රශ්නය කෙසේද යත් .....!!!! - නිර්මාල් දේවසිරි

වඳ දොස්තර ප්‍රශ්නය කෙසේද යත් .....!!!! - නිර්මාල් දේවසිරි

27 May 2019 05:50 am

ප්‍රශ්නය: අර කුරුණැගල රෝහලේ දොස්තර සිංහල සත්‍රීන් ඒ අයට නොකියා වඳ බවට පත් කර නැති බව ද ඔබ කියන්නෙ?

 

පිළිතුර: මම කොහොමද එහෙම කියන්නෙ?

ප්‍රශ්නය: එහෙනම් ඔබ කොහොමද කියන්නෙ ඒ පිළිබදව පළ වූ ප්‍රවෘත්තිය බොරු කියල?

පිළිතුර: මම කොහෙද එහෙම කියල තියෙන්නෙ? එහෙම කියන්න නං මම හරියටම දැනගන්න ඕනැනෙ ඒ සිද්ධිය එහෙම වෙලා ද නැද්ද කියල.

ප්‍රශ්නය: දැන් ඔබ කියල නැද්ද එතකොට "වඳ දොස්තර සිද්ධිය වැනි මිත්‍යා ප්‍රබන්ධ" කියල?

පිළිතුර: මොකද නැත්තෙ එහෙම කියල තියෙනව.

ප්‍රශ්නය: ඒකෙ තේරුම මේ ප්‍රවෘත්තිය බොරු කියන එක නෙවෙයි ද?

පිළිතුර: නැහැ. කිසිසේත්ම නැහැ.

ප්‍රශ්නය: ඔබට වෛද්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳ කතා කිරීමට ඇති සුසුසුකම කුමක්ද?

පිළිතුර: කිසිම සුදුසුකමක් නැහැ.

ප්‍රශ්නය: එහෙනම් ඒ ගැන කතා කරන්නෙ?

පිළිතුර: මම කතා කළේ මේ ප්‍රශ්නයේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක පැත්ත ගැන නෙවෙයි, සමාජ විද්‍යාත්මක පැත්ත ගැන.

ප්‍රශ්නය: ඒ කියන්න මේක ඇත්ත වෙන්න පුළුවන්ද?

පිළිතුර: ඇත්ත වෙන්න බැහැ කියල මට කියන්න බැහැ. හැබැයි මම ඒ ගැන මොකුත් දන්නෙ නැහැ. මම මේ ගැන මගේ බොහොම හිතවත් වෛද්‍යවරු තුන් දෙනෙකුගෙන් ඇහුව ඒක අයෙක් සිසේරියන් සැත්කම් කරන වෛද්‍යවරයෙක්. තවත් කෙනෙක් දීර්ඝ කාලයක් නිර්වින්දන වෛද්‍යවරයෙක් ලෙස සේවය කර විශ්‍රාම ලැබූ කෙනෙක්. මේ දෙදෙනා කිව්වේ ශල්‍යාගාරයේ ඇති වටපිටාව තුළ මේ චෝදනාවේ අඩංගු ආකාරයේ වඳ සැත්කම් හොරරහසේ කිරීමට හැකියාවක් ප්‍රායෝගික ලෙස නැති බව. මම කායික රෝග විශේෂඥයෙකුගෙනුත් ඇහුව මෙහෙම වද සැත්කමක් කරන්න පුළුවන් ද කියල. ඔහු සාමාන්‍යයෙන් මුස්ලිම් විරෝධී අදහස් දරන කෙනෙකුත් නෙවෙයි. ඔහු කිවුව පුළුවන් කියල. හැබැයි ඒ වගේම අවස්ථාවේ ශල්‍යාගාරයේ සිටින් සෙසු වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයට හොරෙන් එසේ කළ නොහැකි බවත් කීව. හැබැයි සමහරවිට අදාළ වෘත්තීන් හී ඇති බල සබදතා සහ වෙනත් හේතු නිසා ශල්‍යාගාරයේ සිටින සෙසු පිරිස මෙවැනි සිදුවීම් වාර්තා නොකර සිටීමටත් ඉඩ ඇති බව ඔහු කීවා. එවිට මම ඇහුව මේ විදිහට හෙද හා වෛද්‍ය ප්‍රජාව සම්පූර්ණයෙන්ම නොමග යවමින් එක වෛද්‍ය වරයෙක්ට වද සැත්කම් (පුවත්පත් වාර්තාවේ හැටියට) 4000 ක් වැනි ප්‍රමාණයක් කළ හැකිදැයි විමසුවා. ඔහු කීවා එය දුෂ්කර බව. මට මේ සිදුවීමේ වෛද්‍යවිද්‍යාත්මක පසුබිම පිළිබඳව කිව හැක්කේ මේ දේ පමණයි.

ප්‍රශ්නය: දැන් ඔබ කියන්නනෙ මෙවැනි දෙයක් වෙන්න බැහැ කියලද?

පිළිතුර: නැහැ මම එහෙම කියන්නෙ නැහැ. එහෙම වෙන්න ඕනැ තරම් ඉඩ තියෙනව. හැබැයි යම් යම් කොන්දේසි යටතෙ.

ප්‍රශ්නය: ඇයි එහෙම වෙන්න ඉඩ තියෙන්නෙ?

පිළිතුර: මෙහෙම හිතමු! අපි හිතමු මම ඉස්ලාම් ආගම ඉතාම භක්තියෙන් අදහන කෙනෙක් කියල. එවිට මම හිතනව නම් ලෝකයට මට කරන්න පුළුවන් යහපත මුළු ලෝකයම ඉස්ලාම් කිරීම කියල මම හිතන එකේ වරදක් නැහැනෙ නේද? ඕනෑම ආගමිකයෙක් එහෙම හිතන්න පුළුවන්නෙ. ඒ වගේම මම හිතනව ඉස්ලාම් ආගමිකයින් අතර එසේ සිතීමට නැඹුරුව ඇති පිරිස් සාමාන්‍ය වශයෙන් සෙසු ආගමිකයින් අතර සිටිනවාට වඩා වැඩි වෙන්න පුළුවන් කියලත්. එහෙම කෙනෙකුට අවස්ථාව ලැබෙනවනම් අන් ආගමික ජනයාගේ වර්ධනය අඩු කිරීමට හේතු වන මෙවැනි ක්‍රියාවල නිරත වීමට මම හිතන්නෙ නැහැ එවැනි අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට ඉදිරිපත්වන ආගමික භක්තියකින් යුතු වෛද්‍යවරුන් සිටීමට කිසිඳු සම්භාවිතාවක් නොමැති බව.

ප්‍රශ්නය: එතකොට මේ වෛද්‍යවරය එවැනි කෙනෙක් වෙන්න බැරිද?

පිළිතුර: වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය: එහෙනං සැක කිරීමේ වරද මොකක්ද?

පිළිතුර: දැන් අපේ ගමේ මිනී මැරුමක් වුනොත් ඒක කළේ මම වෙන්න පුළුවන් නේද? ඒ වගේම එහෙම නොවෙන්නත් පුළුවන් නේද?

ප්‍රශ්නය: මේ අවස්ථාව එතරම් සරළද?

පිළිතුර: නැහැ.

ප්‍රශ්නය: ඇයි ඒ.

පිළිතුර: මේක මේ අවස්ථාවේ සිංහල ජනයා අතර මුස්ලිම් ජනයා සම්න්ධව තියෙන සංජානනය සමඟ සම්බන්ධයිනෙ. දීර්ඝ කාලයක ඉදල චෝදනා තියෙනවනෙ මෙවැනි දේ සිදු වෙනව කියල. ඒ නිසා සැකය ඉක්මනින් ඇති වෙනව. ඒවගේම මේ වෛද්‍යවරයා රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සමඟත් සම්බන්ධ නිසා සහ දීර්ඝ කාලයක් සිසේරියන් සැත්කම් කර ඇති නිසාත්, ඔහු විශාල වශයෙන් ධනවත් කෙනෙක් බව කියැවෙන නිසාත් ඒ වැනි සැකයක ගොදුරක් වීමට හොදටම ඉඩ තියෙනව.

ප්‍රශ්නය: ඇයි ඔබ "සැකයක ගොදුරක්" කියල කිව්වෙ?

පිළිතුර: එහෙම කිව්වෙ චෝදනාව ආවේ මෙවැනි වඳ සැත්කමක් පිළිබද නිෂ්චිත සාක්ෂි ලැබිල වගේ මේ කතන්දරය නිර්මාණය වන නිසා.

ප්‍රශ්නය: ඉතින් මේක මිත්‍ය ප්‍රබන්ධයක් කියල ඔබ කියන්නෙ ඇයි?

පිළිතුර: මිත්‍යා ප්‍රබන්ධයක (Myth) තිබිය යුතු සියලුම ලක්ෂණ මේ කතාන්තරය තුළ තියෙන නිසා. මිත්‍යා ප්‍රබන්ධයක් අපි විශ්වාස කරන්නෙ එසේ කිරීමට අපි කැමති නිසා. අපේ ආශාව තමයි ඒක ඇත්ත විය යුතුයි කියන එක. අපි ඒක විශ්වාස කරන්නේ කිසියම් ප්‍රාග්අනුභූතික හේතුවක් (ඒ කියන්නෙ අදාළ සිදුවීමට - එනම් මෙතනදී නම් මේ වෛද්‍යවරයා පිළිබඳ පුවත පළ වීමට පෙර නිර්මාණය වූ කිසියම් කොන්දේසි) නිසා. ඒ නිසා අපි මිත්‍යා ප්‍රබන්ධයක් විශ්වාස කිරීමට පෙළඹෙන විට අපිට අදාළ නැහැ ඒක ඇත්ත වශයෙන්ම සිදු වූ දෙයක්ද කියන කාරණය. හැබැයි අපේ වාසියට යොදාගත හැකි විවිධ තොරතුරු අපිට අපේ විශ්වාසය තහවුරු කරගැනීමට යොදාගන්න පුළුවන්. අද (26-5-2019) ස්වර්ණවාහිනී රාත්‍රී 7 ප්‍රවෘත්ති විකාශයේ මේ සම්බන්ධව ඉදිරිපත් කළ දීර්ඝ විස්තරය මීට කදිම උදාහරණයක්.

ප්‍රශ්නය: ඔබ කියන්නෙ මේක මිත්‍යා ප්‍රබන්ධයක් ලෙස සලකා ඉවත දැමිය යුතුයි කියලද?

පිළිතුර: අපොයි නැහැ. මේ ගැන හොඳින් සොයා බැලිය යුතුයි. නමුත් මේ සොයා ලැබීම ම සෑහෙන කාලයක් මේ මිත්‍යා ප්‍රබන්ධය ප්‍රවර්ධනය වීමටත් හේතු බව බව අප මතක තබා ගත යුතුයි.
ප්‍රශ්නය: ඒ කොහොමද?

පිළිතුර: දැන් මේ සිදුවීම වාර්තා කරන විදිහෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. දැනටම අම්මල දෙන්නෙක් ඇවිල්ල තියෙනවලු මේ වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමට භාජනය කරන ලද. එතකොට මේව වාර්තා කෙරෙන්නෙ මේ සිද්ධියට අදාළ නියත සාක්ෂි වගේනෙ. මේවගේ සිදුවීම් පිළිබඳ නෛතික ක්‍රියාදාමය කුමක් වුවත් මහජනයා අතර විශේෂයෙන් මාධ්‍ය හා විවිධ අනන්‍යවූ අභිලාෂ සහිත කණ්ඩායම් වලට හැකියාව ලැබෙනව මේ මිත්‍යාව ප්‍රවර්ධනය කරන්න. ජනයාටත් ඒ සඳහා සැදී පැහැදී සිටිනවා. අපි හිතමු කාලයක් තිස්සේ මේ පරීක්ෂණය ඇදී ගොස් එය පදනම් විරහිත චොදනාවක් බව තහවුරු වුනා කියල. එවිට මිත්‍යා ප්‍රබන්ධයකින් සිදු වන සමාජයීය බලපෑම සිදුවී හමාරයි.