සයිබර් පවුර - Lanka News Web (LNW)

කොපි පොතක ලියාගෙන ජීවිතේ හොඳ හරිය
උමතුවෙන් හොයනවා මහරගම යන බසය
මඩෙන් මතුවී ජලය මතුපිටදි දෙන හැඩය
නෙලුම් මහනෙල් මිසක නොපැතුවෙමි උඩවැඩිය

කුණු ඕජස් සහිත
වමාරා කෑ සුවඳ ධූපය කොහිද?
ක්ෂය වීද;
දැල්වීමට දෙවොලකට දුන්නාද?

වයර් උඩ කරව් කරන
කාකයන් කොහිද?
නුවර මාරු කර ඇතිද
විදුලි සැර වැදී බිම හොත්ද?

දැන් දැනෙන අමානුෂික නිහඬකම
මරාගෙන මැරෙන;
එහෙත් මුහුණට මුහුණ ඉදිරියට නො එන
කළු පාට-අළු පාට කාක අවතාරද?

එහෙම නම්;
සුවෙන් නිදන්න
තුඩ තුඩඟ
පිළුණු නොදමන්න
උකුස්සකු හමු වන තෙක්ම
ඔහේ කරව් කර කර ඉන්න

නාඳුනන මළවුන්ට
රෝස මල් රැගෙන යමි
ඒ සොහොන් කොත් අවට
පහන් දල්වා තබමි
ඒ අවට වැවුණු වල්
දෙඅතින්ම උගුල්ලමි
හුදෙකලා නොකරමින්
නිතොර ගොස් තනි රකිමි
හැකිතරම් ඉක්මනින්
මා මෙහෙන් නික්ම යමි
තනිව වෙසෙනුව නොහෙන්
හනික මිතුදම් සදමි

- ඉන්දික ගුණවර්ධන

කවියකු, පරිවර්තකයෙකු සහ නවකතාකරුවකු වූ ඉන්දික ගුණවර්ධන සොයුරා අප අතරින් වෙන්ව ගොස් අදට වසරක් සපිරෙයි.

"පස් විදගෙන
වැලි විදගෙන
ගල් විදගෙන
පොළොව යටට යටට යටට යද්දි
මට හමුවිය මගෙ ප්‍රේමිය
උල්පත ලෙස"
.
"පොළොව යටම යටම යටම තියෙන
කුඩුගල් කුඩු කකා ඉද්දි
මෙන්න මාව හොයන් ආවා
මගෙ ප්‍රේමේ
දියසීරාවක් වගේම"
.
පොළොව පතුලෙ අන්ධකාරේ
මරියානාගාදේ
අපි දෙන්නගෙ ආදරයේ ආලෝකෙන්
එළිය කරමු.
ඇමෝනියා පුස් ගන්ධය නහය කපන
ආදරයේ මල් සුවඳින් ශුද්ධ කරමු.
.
කුණු වළ ළඟ
පාටිය ගමු.
ක්ෂුද්‍ර ජීවීන්ටත්
කාඩ් යවමු.
ජීවිතේට එක පාරනේ !
.
ඇවිදලා ඇවිදලා ඇවිදලා ටවුමේ
එකම කොම්පෝස්ට් වළක
රස්සා හොයාගමු.
හෙමින් ණය ටික ටික ගෙවාගෙන
රවුම් දිගැටි දරුවෙක් හදාගෙන
වළ වටේටම බඩගාමු
ජීවිතයම පොහොර කරමු
රස පොළොවක් අපිත් හදමු !

කිසිවෙක් සිහින දකිද්දී ගොඩ ගොඩ
සමාන අන්තර අතර පතිත කරමින් අළු ටික
කැරකෙමින් පසුපසට ටික ටික
චාරිකාව නිමා කරයි - මදුරු දඟරයක් හෙමිහිට

කෙටි ඇමතුමකි
ඉඳහිට එන
යුතුකමක් සේ දෙන

කියයි ඔබ අව්වැසි සුළං ගැන
රටතොට පුවත් ගැන
නිහඬව අසා ඉමි
තව බොහෝ දෑ ඇත
ඔබ නොකියන
මා නොඅසන

අමතනු එපා මින් පසු
ඔබේ කෙටි ඇමතුමට පසු
මිදෙයි දින හා සති
හිම බවට

 

තට්ටු ගොඩනැගිලි
අතරින් එබේ සඳ
හෙට පෝයට
විච්චූරණ ආලවට්ටම් සහිතව

" ...කොච්චරක් නං පෝයවල් පහු උනාද
ඒත් දරන්ඩම බැරි හීතල ගේන්නෙ ඉල් හඳ.. "

දෙඅත පොරවමින්
කවුළුව අසල සිටින
ඔබේ නෙත් වැසුනු
උපැසියෙන් පෙනේ
එක හා සමාන චන්ද්‍රයන් දෙදෙනෙක්

"..හඳ නාකි නෑ බිඳුවක්

හොර හොරෙන් රෝස් පවුඩර් ගානවා ඇති.. "

ඉවතට හැරී කියයි ඔබ
මිරිකා හරිමින් තවදුරටත්
රැළි වැටෙන දෙනයන

ඉන්පසුව ඔබ
ලේබල කියවමින් තෝරයි
පෙර මධුපාන ඔඩම තිබූ තැන
අක්‍රමවත්ව තබා ඇති
බෙහෙත් බෝතල
ගොන්නෙන් එකක්

එකින් එක බෝතල සෙලවී
මොහොතකට මැවේ
මිහිරි මෘදු නාදයක්

ප්‍රේමිය
හඳ නැවතිල්ලේ සිටින විට
ගලා යන කාලයෙන් මඬින ලද
අප කුඩා
කුහුඹුවන් දෙදෙනෙක්..... !!

පනින්නේ නිය විදා ගොදුරට
කඩුවක් මොකට ඒකට ?
වලිගෙ හිස එක කෙළින් තිබුනම
සමානද කැනහිලෙක් රජෙකුට...

ගහක අත්තක් බිමට දාපූ
හොරෙන් හතරක් වටේ ගහපූ
කොළ පාට බෝ කොලෙන් හැලුවේ
මොකද ඇත්තට ඤාන සාදූ...

පාට පාටින් තීරු තීරූ
එකම පාටින් මදේ තේරූ
එහෙව් රෙද්දක මැද සිටීමට
කකුල් තුනකට නැතේ වාරූ

ගැඩවිලෙක් රජ කඩුව වනනා
රටක හිස්ගෙඩි නිසා පාලූ
ලේ පාට පසුබිමක මැද්දට
ගැලපෙනා එක සතෙකි මහළූ

එහෙට පනිනා මෙහෙට පනිනා
රටක කොඩියට හරිම යාලූ
⁣නාකි කොට අස්සයෙක් ඇඳපන්
කඩුව නැතිවට කමක් නෑලූ..!

- චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

ආකාසේ කළු කරගෙන දුම පිරෙනා හැටි බලන්න
විසිරෙන ගිනි පුපුරු අතර මග කියනා තරු දකින්න
එතැනින් ඉගිලෙන විහඟුන් දැවෙන විටදි කවි ලියන්න
යමහල් ශිඛරය පාමුළ රතු පාටින් මල් හොයන්න

වනන්තරේ පිච්චෙනකොට ශාක පත්‍ර පිරික්සන්න
වනස්පතියො අළු වෙනකොට කොහිල කටුව බේරගන්න
දහස් ගණන් මිනිස් සෙනග උණු වී වැගිරෙනු බලන්න
නොදැක්ක වගෙ ෂේප් එකේ ළඟ ම එකා කොනිත්තන්න

ගිනි කන්දට අලුත් අලුත් අර්ථකථන හොයාගන්න
ජෝක් එකට විහිළු කරලා ෂෝක් එකට හිනාවෙන්න
ලාවා ගඟ ළං වෙනකොට ඒවා හට එන්න දෙන්න
කන්‍යාවනි අයින් වෙන්න ද්‍රෝහීන්ට දිවි පුදන්න !

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb