සයිබර් පවුර - Lanka News Web (LNW)

කපු‍ටු කූඩුව පහළ ගල් උඩ පහන් වල හිත් බිඳී වැතිරී
ගිතෙල් තිර වරදක් කළා මෙන් ඒ අසල පැත්තකින් ඇතිරී
එ'සඳ පෙරදා සේම නුබ ගැබ නුඹේ මෘදු වත සේම ඉහිරී
කඳුළු පැන් මල් මත වැටෙන විට මලට එය බර වැඩියි සොඳුරී..

පපුව පිච්චෙන හඳුන් කූරක ඉර‍ටු හදවත වැටෙයි දියවී
සුළඟ සුසුමක් සලන්නට ඇති පරණ උරහිස උඩට බරවී
මලසුනක් මත ඉකි බිඳින සුදු නෙළුම් මලකට වචන හිරවී
දෙහිරු කුමරුන් අසල ගොලුවී පතයි අවසර යන්න පරවී

ආත්මය මත හැපී වද දෙන සරුව පිත්තල හීන වලදී
ගාණ්ටාරය පවා හැඬුවේ වෙන්ව යන්නට තමයි මග දී
සුළඟ මැද වුව හොඳම බෝ කොළ බව්න් වඩමින් සිටින විටදී
නුඹත් සඳ මෙන් වැවෙත් අහසෙත් එකට ඉන්නා එකයි වැරදී

 

තඹලගල බසයකට නැඟ
තඹ සතයක් නැති
'ජෝතිකා'ගේ පින්තූර විතරක් ම ඇති
පසුම්බිය පිරික්සන
දෙමළ කොල්ලෙකි ඉදිරිපස
දුකක සතුටක
ඉඟි සොයනු අපහසු
විලම්බීත කළු මුහුණක්
ඔහු සතු ය

කහ නූලක් ගෙලෙහි බැඳි
පිච්ච මල් පොකුරක් ම හිසේ පිපි
දෙමළ කෙල්ලකි ය වම් පස
'ධනුශ්'ගේ මුහුණ රැඳි
ජංගම දුරකතන තිරය මත
දබරැඟිල්ල දුවවන
ඉඳහිට හිනාවක් විසි කරන
ක්ශණික ව ම එය යළි මකන
දැකුම්කළු මුහුණක් ඇය සතු ය

උංගළුක්කු තමිළ් තෙරියුමා?

කොන්දොස්තරගේ ප්‍රශ්ණයට
හිස දෙපසට වනන
රජයේ නිවාඩු දින
ජංගම සේවා රාජකාරියකට යන
රාජ්‍ය සේවකයෙකි පිටුපස
අත රැඳි ලිපි ගොනුවක්
හදිසියේ පෙරළා බලන
එසැණින් ඔරලෝසුවට එබෙන
වෙහෙසකර මුහුණක්
ඔහු සතු ය

ගැස්සෙන උඩ යන
බස් රථය තුළ
නිහඬ මඟියන් තිදෙනෙකි ය

'ධනුශ්'
'ජෝතිකා'
සහ
මම

'මිතුරිය!

ඔබ සුවෙන්ය
සතුටින්ය.
පෙණුම සිත් බඳනා සුළුය.
ඇස් වටා කලු වී නැත.
නාඩි ගමන සාමාන්‍යය.

සිහිවෙයි
කඳු නැග ,පල්ලම් බැස
වෙහෙස වූ ජීවිතය.
සිනා හුන්ඩුවක් උපයන්න
කඳුළු බුසලක් වැපිරූ යුගය.

කෘෂ අතැඟිලි වලින්
බර පොත් පෙරලා
ජීවිතය ජයගත් අයුරු
විශ්මිතය,සතුට දනවන සුළුය.
රහස දැනගනු කැමතිය.'

"මිත්‍රය!

එක්තරා දවසක
ඇතුළු වූයෙමි සිමෙන්ති නලයකට.
බාධා කිසිත් නැති හෙයින්
දිව්වෙමි ඉදිරියට.
ජය කනුව අසලටම.

කාලයක් ගතවත්ම
සිමෙන්ති සිනාවක් සහිත
සිමෙන්ති ගැහැණියක් වීමි මම .
රැවුම් ගෙරවුම් නොපෙනෙන
හැඟුම්,රසතැන් නොදැනෙන .

ඔබ දුටු අයුරින්ම
මා සුවෙන් සතුටින් මෙනි.
රූමත්ව ධනවත්ව වෙසෙමි.
ඉඳහිට හෙලන කඳුළුද
සිමෙන්තියෙන් සැදුනේ වෙති."

නිල් අහස පුරා අළු තීන්තක් විසුරුවාගෙන,
ගල් ගහල හඳට - වීදි පහනුත් නිවාගෙන,
කළුවර අරන් උන් ආවේ,
වව්ලුවන් වගෙයි තටු අද්ද අද්දා පියාඹන.

බක්කියට යන කහට රොඩු බී
දළු කඩන පොඩි නංගියේ
උඹට රත්‍රන් ඔටුණු අරගෙන
එනවා ඇති උන් හංදියේ
හිවල් අත් රැඳි බාල රත්‍රන්
දිස්නේ අගුණයි පැංචියේ
ගිහින් විගහට බැඳගනින්
ඇස් අන්ධ වෙයි මේ වංගියේ

දැන් ඔය අනාගතේදි ලංකාව දියුණු රටක් වෙලා ලංකාවෙ උන් ගගනගාමියො වෙලා උන් අභ්‍යවකාශෙ තරණය කරද්දි ඔය පැල් කවි, කරත්ත කවි, පාරු කවි වගේ ගගනගාමී කවිත් කියයි නේද ප්‍රෙන්ස්....

ඉන්නෙත් දුෂ්කරයි ග්‍රහලෝකයක පිට....
කන්නෙත් ටින් කෑම ප්‍රිසවේටිව් රසට....
බොන්නෙත් ආයෙ ආයෙත් ෆිල්ටර්ඩ් වෝට....
යන්නේ කවදාද පෘතිවිය දකින්නට....

" ඒ කර්මයෙන් ස්වර්ග මාර්ගාන්තරයෙකුත් නැත්තේය. ජන ශ්‍රේෂ්ඨය: මරණ ලද මිනිසුන් එකෙක් හා අඩක් වන්නේය . තිසරණ පිහිටි එකෙක, තිසරණ පංසිල් පිහිටි අනිකෙක. සෙසු මරණ ලද්දාහු මිත්‍යා දෘෂ්ටි දුස්සීල වූ සිවුපාවුන් සමයෝය." ( රහතුන් අට නම)
මහා වංශය MV: XXV 109-111

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb