කවියෙක් කියන්නෙ නිර්මාණශීලී සමාජ අරගලකාරයෙක්! - එරංගා දිසානායක - Lanka News Web (LNW)

කවියෙක් කියන්නෙ නිර්මාණශීලී සමාජ අරගලකාරයෙක්! - එරංගා දිසානායක

එරංගා දිසානායක 'ඉගිල්ලෙන්න දිගැර තටු' නමින් ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කරන්නට සැරසෙන්නීය. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඇය සමඟ කළ කෙටි සංවාදයකි.

 

#. කවිය කියන කලා මාධ්‍යය ඔබට දැනෙන්නේ කොහොමද?

මට හිතෙන විදියට කවිය කියන්නෙ එක්තරා විදියකට සමාජය කියවීමක්. කවිය බිහිවෙන්නෙ සමාජය ඇතුළෙන්මයි. කවියෙක් කියන්නෙ වෙලාවකට නිර්මාණශීලී සමාජ අරගලකාරයෙක්. මිනිස්සුන්ගෙ හැඟීම් නිර්මාණශිලීව හරිම සියුම් විදියට සංස්පර්ශ කරන්න, සමාජය ඇතුළෙ වෙනසක් කරන්න ඒ කවියො කියන අරගලකරුවන් භාවිත කරන මෙවලම තමයි මම අදහස් කරන කවිය.

#. කවියත් එක්ක ගනු දෙනු කරන්න හිතුණෙ ඇයි?

මම කියන්නෙත් මේ සමාජ දම්වැලේ එක පුරුකක්. ඉතින් මේ සමාජය ඇතුළෙ ගැටෙද්දි ජීවිතේ විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දෙන්න අපිට සිද්ධවෙනවා. ඊට අමතරව වෙන මිනිස්සු අත්දකින සිදුවීම් මට දකින්න ලැබෙනවා. කවියෙකුට විතරක් නෙවෙයි හැම මනුස්සයෙක්ගෙම හිත ඇතුලෙ ඒ අත්දැකීම් ඔස්සේ යම් හැඟීම් දාමයක් ගලාගෙන යනවා. කවියෙක් අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ ඒ හැඟීම් පිට කරන නිර්මාණශීලිත්වය ඇතුලෙ. ඉතින් සමාජ සන්දර්භය තුල අත් විඳපු සමාජ අසාධාරණය, අසමානතාවය, සංස්කෘතික ගැටුම්, කාලීන ප්‍රබල සමාජ ගැටලු , නීතිය කියන විෂය පථය ඇතුලෙ සැරිසරද්දි මට හමුවෙන සිද්ධි දාමයන් වගේම ආදරය, විරහව ආදි පොදු අනුභූතීන් ඇතුලෙ මට ඇතිවෙන හැඟීම් පිට කරන්න මං ක්‍රමයක් හෙව්වා. පස්සෙ ඒකට මට ගැලපෙන හොඳම ක්‍රමය විදියට මං කවිය තෝරගත්තා. එතැන තමයි කවිය එක්ක ගනුදෙනු කරන්න මට හිතුණු පළවෙනි තැන.

#. 'ඉගිල්ලෙන්න දිගැර තටු' ඔබේ පළමු කාව්‍යමය ප්‍රයත්නය. ලියූ කවි පොතකට ගෙනෙන්න සුදුසු ම කාලය මෙය බව ඔබ තීරණය කළාද?

මම පාසල් කාලයේ විවිධ ජයග්‍රහණය හරහා එකතු කරගත්ත පන්නරයත් එක්ක ලේඛන කලාවට ප්‍රවේශ වුණත් මගේ කවිය සමාජ ගතවෙන්නෙ ඇත්තටම මුහුණු පොත හරහා. මෙතැනදි ජේෂ්ඨ කවියන්ගෙ කවිවල රස්නෙ මට හොඳටම දැනුනා. ඉතින් අවුරුදු දෙකක් විතර කවිය ඇතුලෙ සැරිසරද්දි මට තේරුණු එක දෙයක් තමයි නිකම්ම කවියක් ලියනවාට වඩා ඒක ඇතුලෙ ලොකු සමාජ අරගලයක්, පෙරළියක් කරන්න පුලුවන් කියන එක. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ටිම්රාන් කීර්ති, රුවන් බන්දුජීව, ධර්මසිරි බෙනඩික් වගේ කවියන්ගෙ ඒ සමාජ මෙහෙවර මම හොඳටම දැක්කා. සමාජය කියන කුලකය ඇතුලෙ බුකිය කියන්නෙ ඉතා සීමිත පිරිසක් ඉන්න උපකුලකයක් විතරයි. ඉතින් මට ඕනි වුණා ඒ සීමාවෙන් එලියට යන්න. මගෙනුත් කවියෙක් විදියට වෙන්න ඕනි ඒ සමාජ වගකීම කරන්න පුලුවන් වඩාත් ඵලදායීම විදිය ඒ කවි පොතකට ගන්න එක. මොකද එතකොට වැඩි පිරිසක් ආමන්ත්‍රණය කරන්න පුලුවන් වෙනව. ඉතින් සමාජ වගකීමක් ඉටු කරන එක ප්‍රමාද කරල බැහැ කොහොමටවත්. ඒක නිසා මම ඒක ඉක්මනින් විය යුතුයි කියල හිතුව. හුඟාක් ආධුනික කවියෙක් විදියට මගේ කවිය ඒ වගකීම ඉටු කිරීමේදී සමහර වෙලාවට අසාර්ථක වෙන්නත් පුලුවන්. ඒත් මම උත්සාහ කරල බැලුවා. මගේ කවියේ හොඳ හෝ නරක විවේචනය මගේ සහෘද පාඨකයන්ට බාරයි. තව අතකට මේක මගේ ජීවිතේ එක හීනයක් හැබෑ වීමක්. හීනවලට ඉගිල්ලෙන්න කල් දාල බැහැ. නැත්නම් ඒවත් බාලගිරි දෝශ වගේ වෙනවා.

#. කවි පොත දොරට වඩින උත්සවය සහ එදිනට වැඩ කටයුතු සිදුවෙන්නෙ කොහොමද කියල අපිට කියන්න?

'ඉගිලෙන්න දිගැර තටු' මගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය හරියටම නොවැම්බර් මාසෙ පළවෙනිදා හවස තුනට කොළඹ විශ්ව විද්‍යාලයේ College House - FGS ශ්‍රවණාගාරයේ දී එළිදක්වන්න තමයි සූදානම් කරගෙන ඉන්නෙ. එදාට 2018 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානය දිනූ ළහිරු කිතලගම, අපේ නීති පීඨයේම ආදි විද්‍යාර්ථීයෙක් වෙන ගීත රචක කසුන් මහේන්ද්‍ර හීනටිගල, සහ ප්‍රවීණ විචාරකයෙකු වන හෂිත අබේවර්ධන එක්ක කවිය ගැන වෙනස්ම සංවාදයකට මුල පුරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

#. ඔබ නීති ශිෂ්‍යාවක්. නීතිය සහ කවිය කියන වෙනස් විෂයය පථ දෙක සමඟ ගැටෙද්දී දැනෙන හැඟීම මොන වගේද?

එකිනෙකට වෙනස් කියල අපි වෙන් කරගෙන ඉන්න ඕනම විෂය පථ දෙකක වුණත් මොකක්හරි පුංචි බැඳියාවක් නෑ කියන්න බෑ. නීතියයි කලාවයි අතරෙත් ඒ වගේ බැඳියාවක් තියනව කියල මම විශ්වාස කරනවා. නීතිය ගනුදෙනු කරන්නෙත් මේ සමාජ සන්දර්භය ඇතුලෙ මිනිස්සු එක්ක. කවියත් එහෙමයි, සමාජෙ මිනිස්සුන්ගෙ හැඟීම් එක්කයි ගනුදෙනු කරන්නෙ. නීතිය ඇතුලෙත් එක්තරා විදියක කලාවක් තියනව. ඒ වගේම කලාව ඇතුලෙත් යම් නීතියේ අදාල වීමක් තියනවා. උදාහරණයක් විදියට කලාව ඇතුලෙ කෙනෙක්ගෙ නිර්මාණයක අයිතිය ආරක්ෂා කරන්න බුද්ධිමය දේපළ නීතිය හරහා නීතියේ මැදිහත් වීමක් තියනවා. 'ඉගිලෙන්න දිගැර තටු' මගේ කවි එකතුව ඇතුලෙත් මම නීතිය විෂය තුල හැසිරෙද්දි ලබපු අත්දැකීම්නුත් අනුභූතීන් විදියට පාවිච්චි කරල තියෙනවා. ඉතින් මම හිතන්නෙ කාව්‍ය නිර්මාණයන් ඇතුලෙ ලොකු පරාසයකට යන්න මට නීතිය හැදෑරීමත් එක්තරා විදියක රුකුලක් වෙනවා. කලාව කියන්නෙ මගෙ පෞරුෂය හදන තැන. සමාජ අසාධාරණයට එරෙහිව හඬක් නගන්න පුලුවන් මානුෂීය කෙනෙක් විදියට මට ඕනි පෞරුෂය හදන්නෙ මේ කලාව, පොත් කියවීම, කවි කතා ලිවීම තමයි. නීතිඥවරියක් විදියට කවදහරි ඒ පෞරුෂය මට වැදගත් වෙයි. ඇත්තටම නීතිය, කලාව කියන්නෙ සමාජයෙ තියන ගැටෙන්න පුලුවන් විෂය පථයන් දෙකක් වුණත් හරිම සමබරව මම මේ දෙක ඇතුලෙම සැරිසරනව කිව්වොත් නිවැරදියි.

#. කවියෙන් පරිබාහිරව ඔබ ගැටෙන අනෙකුත් සාහිත්‍යාංග මොනවද?

කවියට ආදරේ තරමටම මම කෙටි කතාවට, නව කතාවට පුදුම විදියට ආදරෙයි. මගේ පුංචි කාලෙ කියන්නෙ පිස්සුවෙන් වගේ පොත් කියවපු කාලයක්. ඉස්සර පංතිය වටේ එක දවසකට පොත ගානෙ පාස් වෙනව. හවස කියවන්න පටන් ගන්න පොත නින්දක් නැතුව ඊළඟ දවසෙ උදේ එලිවෙනකම් හරි කියවල ඉවර කරනව. ඒ තරමටම ඒ කියවන පිස්සුව තිබුණා. ඉතින් ඒ කියවීම ඔස්සේ මම මගේ ශබ්ද කෝෂෙ පුරවගත්ත වචන මාලාවක්, ලේඛනය පිලිබඳ කුසලතා ටිකක් තියනවා. මම කැමතියි ඒවා පාවිච්චි කරලා බලන්න. කවියට එහා ගිහින් කෙටි කතාව හා නව කතාව ඇතුලෙත් සැරිසරන්න මම ආසයි. ඉතින් ඒ සාහිත්‍යාංගයන් ඇතුලෙත් ඉස්සරහට පාඨකයන්ට මාව ගොඩක් දුරට හමුවෙයි.

#. විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සෙ ගොඩක් දෙනා වගේ ඔබෙත් කවි ලිවීම සහ සාහිත්‍යමය ගනුදෙනුව අවසන් වෙයිද, නැත්නම් ඔබ බලාපොරොත්තු තබාගෙන ඉන්න ඔබේ අනාගතය කොහොම එකක් වෙයිද?

තව අවුරුදු දෙක තුනකින් මං නීතිඥවරියක් වෙයි. ඒක තමයි මගේ වෘත්තිය. කවිය, කෙටි කතාව ඇතුළු සමස්ත කලාව කියන්නෙ පුංචි කාලෙ ඉඳලම මට තියෙන උණක්. ඒක කවදාවත් හොඳ වෙන එකක් නෙවෙයි. ලේඛන කලාව කියන්නෙ මගේ විනෝදාංශය. ඉතින් කවදාවත්ම ඒක නවතින්නෙ නම් නැතිවෙයි. ගොඩක් වෙලාවට කවිය කියන්නෙ මං හැඟීම් පිට කරන මාධ්‍ය. ඒ නිසා මම ලියන එක නවතින්න නම් මට හැඟීම් දැනෙන එක නවත්තන්න වෙනවා. කෙනෙක්ට දැනෙන්න ලියනව කියන්නෙත් හිතුණ පලියට හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඉතින් යම් හැදෑරීමක් ඇතුලෙ අත්දැකීම් එක්ක ප්‍රගුණ කරගෙන කවිවලින් එහාට ගිහින් ලේඛන කලාව ඇතුලෙ ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් තියනව. ඊට අමතරව මම සිත එෆ්.එම් නාලිකාවෙ ආධුනික නිවේදිකාවක් විදියට කාලයක් කටයුතු කලා. ඒ පටන් ගත්තු මාධ්‍ය ගමනත් ඉදිරියට කිරීමේ බලාපොරොත්තුවත් තියෙනවා.

සංවාදය - කසුන් සමරතුංග

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...