පරාජය නොවෙමු මැණික් සේ නිධන් වෙමු - ධර්මසිරි රාජපක්ෂ - Lanka News Web (LNW)

පරාජය නොවෙමු මැණික් සේ නිධන් වෙමු - ධර්මසිරි රාජපක්ෂ

ලාංකේය කාව්‍ය කෙතේ පීදුන වෙසෙස් ලකුණු සහිත අව්‍යාජ කවියා වන ධර්මසිරි රාජපක්ෂ පසුගිය 2016 නොවැම්බර් 04 වන දින සිය දිවිසැරිය අවසන් කළේ ය. දශක හතරක් පුරා කවියකු ලෙස සිය ආස්ථානය රැක ගත් ඔහු මහඟු කවි සම්පතක් අප වෙත තිළිණ කර නික්ම ගියේ ය. වත්මන් පරපුරේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැසුණු ඔහුගේ කවි පොළොව යට නිධන්ව ඇති මිණි කැට මෙන් ය. මිතුරණි, හාරා-පාදා ගෙන ඒ මිණි කැට සොයනු ! මෙම කෙටි සටහන ඒ සඳහා වන උත්තේජනයක් වේවා !

 

උස් නුස්ව නැගුණු කඳු පන්ති අතර සමනොල ගිර උසම කඳු සිරස යි. ඊට පහළින් බෑන සමනොල හෙවත් කුණු දිය පර්වතය පිහිටා තිබෙයි. එහි පාමුල ඇති ගම්මානය එරත්නයි. ඒ ගම උපන් කවියා ධර්මසිරි රාජපක්ෂයි.

මැදින් මස සිරිපා කරුණා කරන්නට ගමන් අරඹන සමනල් රෑන පහළ පිහිටි ගම්බිම් මතින් නඩ පිටින් පියඹා යයි. සමනලූන්ගේ කඳු තරණය අසිරිමත් ය. මෙසේ සමනොළ කඳු පා සිප ගනු පිණිස පියාඹා යන සමනල් නඩ එහි ළඟා වීමට පෙර කුණුදිය පර්වතයේ හැපී මියදෙන බව පැරණි ගම්වැසියන් අදටත් පවසනු ලබයි. දහස් ගණනක් ක`දු පර්වතයේ හැපී මිය ගියද එළඹෙන මැදින් මස උදා වෙත් ම, අලූත් සමනල් නඩයක් සමනොල ගිර තරණය සඳහා පියඹා එනු ඇත.

වඩා යහපත් වූ සමාජයක් ගොඩනගනු වස් සියවස් ගණනක සිට සමනලූන් මෙන් පැහැසර සිත් ඇති මිනිසුන් අරගල කරයි. ප‍්‍රභාමත් හිරු රැස් දකිනු පිණිස ඔවුන් අඳුරේ උස් ගිරි තරණය කරයි. සටන් බිම් පණ පොවයි. අරමුණු අත් නොහරියි. පරාජයන්ගෙන් පාඩම් ඉගෙන ගනියි.

70 දශකය ආරම්භ වන්නේ අරමුණක් වෙනුවෙන් දිවි පුදා සටන් කළ පරපුරක් මතිනි. සටන් බිම මහ හඬක් නංවා එසැණින්ම නිහඬ විය. පරාජයන්ගේ පසුබෑම් බොහෝ උන් විවිධ අහුමුළු තෙක් පළවා හැරියේ ය. සිරගෙවල් පිරී ඉතිරී ගියේ ය. සටනේ දී මිය ගිය සගයන්ගේ මතකයන්ගෙන් හා තම දුක්වේදනාවන්ගෙන් සිත පෑරුණු බොහෝ උන් නිහඬව ම කල් ගෙවී ය. ඒත්, ඒ නිහඬ බව හඬක් කළ හැකි මිනිසුන් කිහිප දෙනෙක් හුදෙකලාව ම තම කාර්යය පටන් ගත්තේ ය.

අප කවියා වන ධර්මසිරි රාජපක්ෂ ජන්මය ලද ගම වූ කලී යටිතල පහසුකම් අතින් ඉතාම නොදියුණු වූ බිම් පෙදෙසකි. අවට වූයේ සුද්දන් විසින් ඉතිරි කර ගිය තේ වතු, ෆැක්ටරි හා රබර් යායවල් ය. මාර්ග පද්ධතිය ද ඉතා අබල ය.

ධර්මසිරි රාජපක්ෂ කවියාට සිය කාව්‍ය සඳහා වස්තු බීජ වූ තම උපන් ගම් පියසේ ඇළ දොළ ගංගා, කඳු පන්ති අතිශය සුන්දරත්වයෙන් අනූන ය. එහෙත් එහි ජීවත් වූ මිනිස් ප‍්‍රාණීන් යනු අති දුක්ඛිත තත්ත්වයේ දිවි ගෙවූ අහිංසක ගම් වැසියන් ය.

එකල ‘හපුගස්තැන්න’ තෙක් දිව ගියේ එක් ලංගම බස් රථයකි. ‘කුඩාව’ නම් ගමට යා හැකි වූයේ පයින් සැතපුම් ගණනක් ගෙවා දැමීමෙනි. කවියා සිය ප‍්‍රථම කාව්‍ය කෘතිය සම්පාදනය කරන වකවානුවේ ඔහු විසූ ගමේ ස්වභාවය එපරිදි ය. එහෙත්, සිය කාව්‍ය කෘතිය තුළ අඩංගු කරන මිනිස් සමාජය, පැතිරුණ සංකීර්ණ අත්දැකීම් ගොන්නකි. කවියා ගම මෙන් ම නගරයේ පුසුඹ හො`දින් ස්පර්ශ කළේ ය. නගරයේ සිදු වෙමින් පැවැති ආර්ථික සහ සමාජ ගැටළු විනිවිද දැක්කේ ය.

ගෙවුණු ඉල්මහේ හතර වන දින ධර්මසිරි රාජපක්ෂ කවියා සිය ජීවිතයෙන් සමු ගත්තේ ය. ඔහු අප වෙත කාව්‍ය කෘති තුනක් ඉතිරි කළේ ය. ‘ඉතින් සහෝදරවරුණි (1975*, ශක්තියේ පුෂ්පය (1985* සහ සඳවතුර (2010* දී මෙම කෘති රචනා කරමින් සිය කවි ලකුණු නිශ්චිත දිශානතියක ස්ථානගත කළේ ය. කවියාගේ මුල් කෘති දෙක පිළිබඳ ප‍්‍රමාණවත් සමාජ කතිකාවක් ඇති වී තිබුණත් අවසන් කෘතිය වන ‘සඳ වතුර’ පිළිබඳව ඇත්තේ ගුහාගත නිහැඬියාවකි.

70 දශකයේ බිහි වී ආ කවියන් අතර ධර්මසිරි රාජපක්ෂ වෙනස් ආරක් ගත් කවියකු ලෙස පොදු පිළිගැනීම ඔහුට කරන ගෞරවයකි. කොළඹ යුගයේ කවියෙන් පසු නව සම්ප‍්‍රදායක් ගොඩනැගීම සඳහා වෙහෙස මහන්සි වූ කවීන්ගේ අත්හදා බැලීම් හා සම්ප‍්‍රදායික ජන කවි බස මුසු වූ නව කවි ආරක් තනා ගන්නට ධර්මසිරි රාජපක්ෂ කවියා සමත් විය.
එකල කවියට නව මානයක් එක් කරමින් සමාජ අරගලය හා බද්ධ වීමට නව කවියන්ට සිදු විය. 1971 තරුණ අරගලය සමඟ නව අත්හදා බැලීම්වලට නොබියව පා තැබීමට මෙම තරුණ කවියන් ඉදිරිපත් විය. සිරගෙවල් තුළ හා ඉන් පිටදීත් නව වස්තු විෂයන් සාකච්ඡාවට ගැනුණි. පරාජිත වේදනාව මුදා හරිනු ලැබුවේ කලාව තුළ ය. කවිය එහි ප‍්‍රබල අවිය විය. අප කවියා වන ධර්මසිරි රාජපක්ෂ අන් කවි, කිවිඳියන්ගෙන් වෙනස් වන තැන සිය මුල් කෘතියේ දී ම සලකුණු කරන්නේ ය. ඔහු සිය කවිය තුළ සමාජයේ පීඩිත ජනයාගේ දුක් වේදනා, පේ‍්‍රමය, මානව සබඳතා ඍජු ලෙස ස්ථානගත කරයි. භාෂා සෞන්දර්යය නොනසා සිය ප‍්‍රකාශනය ඉදිරිපත් කරයි. සෑම කවියක් ම හුදු සටන් පාඨවලින් මුදාගෙන ඊට අදාළ වූ කලා රසයෙන් පුරවාලනු ලබයි. විප්ලවවාදියකු ලෙස කවි අවි මුවහත් කරන අප කවියා සෞන්දර්යවාදී උරගලෙන් පන්නරය තියයි. එබැවින් ඔහුව, විප්ලවාදිත්වයෙන් උපන් සෞන්දර්යවාදියා ලෙස නම් කරමි.
ඔහුගේ ප‍්‍රකාශන ශක්තිය ඍජු ය. අදහස පැහැදිලි ය. සරල ය. කවි බසෙන් පිරිපුන් ය. ඉපැරණි කලා සාහිත්‍යයෙන් මෙන්ම ගැමි වහරින් ද පොහොසත් ය. ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක් සහිතව මානව පේ‍්‍රමය උත්කර්ෂයට නැංවීමට සිය ජීවිත කාලයම වෙහෙසුණු, නොසිඳුණු - නොනැමුණු සැබෑ මිනිසකු ලෙස ඔහු ජීවත් විය. මිය යන තෙක් ම ඒ ධර්මතාවයන් ආරක්ෂා කළේ ය.
‘ඉතින් සහෝදරුවනි’ කෘතිය තුළ අපට හමුවන්නේ, එම යුගයේ මිනිස් සමාජයේ කැඩපතයි. සමාජ විෂමතාව, විරැුකියාව ආර්ථිකය විවෘත කිරීම තුළ බිහි වුණු නගරයේ ඇති වූ වෙනස්කම්, අනෙක් පසෙන් සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීම තුළ උගත් පරම්පරාවක දුක් අදෝනා... පේ‍්‍රමය, පවුල - අම්මා... වැනි මානව සබඳතාවයන් ය. අනාගතය පිළිබඳව ඇති වූ අවිනිශ්චිතතාව ඔහු මෙසේ කවියට නගයි.

”ආං - කියා පෙන්නන්නට
නොහැකිය මට...
ජීවිතයේ මල් පිපෙන දවස ඔබට
කොයි දවසේ කොහොමින්
කෙළෙසින් ඒවිද
ජීවිතයට පවන් සලන සැන්දෑවක්...”

පළමු කෘතියෙන් වසර දහයකට පසු සිය දෙවන කාව්‍ය කෘතිය වන ‘ශක්තියේ පුෂ්පය’ සමාජගත කරන විට අප කවියා කවි බස මෙන් ම දේශපාලන දැක්ම අතින්ද වඩා මුවහත්ව සිටියේ ය. මානව සමාජයේ ප‍්‍රගමනය වෙනුවෙන් සිය පේ‍්‍රමය පුද කළ ඔහු මානව සමාජයට එරෙහි වන්නන් වෙත කොන්දේසි විරහිතව වෛරයේ අවි එස වූයේ ය.
‘තලමලේ කවිය’ ඔහු ආරම්භ කරන්නේ මෙසේ ය.

කියන්න කවිකර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියෙක් නිදි නම් ඇහැරි වර වර
බිම හෙළලා අර දෙනගම තලමල

1971 අරගලයේ දී, ඊට සම්බන්ධ යැයි පවසමින් කතරගම විසූ පේ‍්‍රමවතී මනම්පේරි නම් වූ තරුණිය යුද හමුදාව විසින් ¥ෂණය කොට මරා දමනු ලැබී ය. කවියා එයට විරෝධය පා යුක්තිය ඉල්ලා සිටියි. ඒ සඳහා දෙවියන් ද ස්වභාවධර්මයේ බලවේගයන් ද කැඳවයි. අනික් පසින් ඒවා අභියෝගයට ලක් කරයි.

ගුගුරා සත් දවසක් ඉර හඳ තරු
උතුරා ජන ගඟ පව් උඩුයටි කුරු
කරණා තුරු අපේ දිවිමඟ ගරු සරු
සුවපත් වෙත්වා දුක් දැරු මවු වරු!

අරගලය පරාජවීමෙන් පසු වෙන් වෙන් ව තනි වූ හුදෙකලා මිනිසුන් බොහෝ දෙනෙක් දිවි රැුක ගැනීමට ඈත ගම්බිම් වෙත පළා ගිය හ. එහෙත් තම ප‍්‍රාර්ථනාවන් මිය යා නොදී රැුක ගැනීමට වෙහෙස විය. සබඳතා බිඳවැටීම්, අත්හැරීම් හමුවේ සුපසන් හෙටක් මේ අඳුරෙන් පසු උදා කරගත හැකි යැයි ඔවුන් විශ්වාස කළේ ය. කවියා එම විසිරුණු මිනිස් සමූහයේ හඬ කවියට නංවයි.

ඈත කඳුවල තැන තැන පැල්කොටවල
කිරිකැටියන් ගැම්බර මවුන් සීතලකමින
රාත්තිරිය ගෙවනු සහතිකයි, ඔවුන ද අප වැනිය
තනිවෙලා නෑ අප - නිදිත් නැත - අවදියෙනි

පළමු අරගලයට තුඩු දුන් සමාජ හේතු පෙරටත් වඩා සමාජයේ පැටව් ගසමින් වැඩුණි. දෙවන කැරැුල්ලට උපත දෙන සිදුවීමක කලලය පේරාදෙණිය සරසවියේ දී පිළිසිඳ ගනු ලබන්නේ 1984 දී ය. ඒ සරසවි සිසුවකු පොලීසිය විසින් වෙඩි තබා මරා දැමීමෙන් ය. අප කවියාගේ පන්හිදෙන් බිහි වන අකුරු හදවත පත්ලෙන් උපදින ඒවා ය. ඝාතකයන්ට එරෙහිව මරා දැමුණු සිසුවන්ගේ පැත්තේ ඔහු සිට ගනියි.

පහනෙන් පොත බලන හිස ඔහේ නමා ගෙන
පෑනෙන් නොයෙක දේ ලියනා මුමුනමින
මූණෙන් මහන්සිය නිදිමත පෙරා ගෙන
හීනෙන් දුටිමි මල්ලියෙ නුඹ ඉකිබිඳින

ඒ ඉකිබිඳ හැඬූ නුඹ දෝ බිම වැටුණේ
ඒ ඉකි ගැහුම මට පමණක් ඇයි ඇහුණේ
ඒ ඉකි අපෙ නොවෙද පෙම්බර ලක් මවුණේ
සාක්කියක් කියමුද නපුරු කඩියනේ

සඳරැස් මහේ ගැලූ දම් කඳ කිලිටි කෙරු
දෙදහස් ගණන් කල් රැකි සිල් බිඳපු සොරු
දෙන රැස් බණ පොතෙන් මර අවි වසන් කෙරු
නිදහස් ගහේ මුල නාඹර මල් පොකුරු

මේ මල් පොකුරුවල ලේ මුසු සුවඳ දිගේ
තව මල් පිපෙනු ඇත නිදහස කරන අගේ
එම මල්වලට නව පණ නැණ එළිය මගේ
කවියක් නොවේ නම් කිම කවි පදවි මගේ

අන් බොහෝ කවියන් විසින් සඟවාලනු ලබන සිය දේශපාලන ස්ථාවරය අප කවියා නොවලහා කියයි. ඒ වෙනුවෙන් පෙනී සිටියි. ඔහුට ඔලමොට්ටල පාලක පන්තිය සමඟ අතරමැදි සමාදානයක් නැත ය. ඔහු තමන් නියෝජනය කරන පරපුරේ දුක්ගන්නාරාළ ය.

ඈතින් සිංහරාජය
අඬා වැටෙනු ඇසේ මට
නුඹේ කට හඬ විලාපයක් වී,
පුතුන් මළ අම්මෙක්
කෙළෙසුණු අමල් බිසෝවක්
සටනින් වැටුණු අය්යෙක්

තනි වී

පිරිවර මිතුන් නැති වී
හෙළන ගැඹුරු සුසුමක
අරුත ඇඹිරි හැපෙයි තුරුහිස...

දිගු නිහැඬියාවකට පත් වන අප කවියා සිය තෙවන කාව්‍ය කෘතිය වන ‘සඳ වතුර’ නිමවනු ලබන්නේ වසර විසිපහකට පසුව ය.

දෙදහසින් පසු ගෙවුණු වසර කිහිපය අතිශය වේදනාබර මතකයන් හා ඛේදවාචකයන්ගෙන් පිරුණු කාල පරාසයකි. ඔලමොළ නැති දේශපාලූන් සමඟ එක පෙළට සිටගත් කවියන් ඇතුළු සමාජයේ සියලූ පෙරමුණුවලට එරෙහිව ධර්මසිරි රාජපක්ෂ කවියා තනිව සිට ගත්තේ ය. ඔහු උඩුගංබලා තනිව පිහිනුවේ ය. රෝගී වූ කය ඔසවාගෙන නිරෝගී වූ මනසින් ඔහු සිය දේශපාලන දැක්ම මත විශ්වාසය තබා නොසැලී සිටියේ ය. විප්ලවාදී සළු පොරවා ගත්තවුන්ද, මානවවාදී ලේබල් අලවාගත්තවුන්ද රැල්ලේ ගසා යමින් සිටියෝ ය. කවියාගේ බසින් ම කියන්නේ නම්,

හිවල් වත හිස දැරූ නිවටුන
බඩ වඩන මැති ඇමැති හොර සඳ... සමඟ එක් ව පීඩිතයාට එරෙහිව එක පෙළට සිට ගත්තේ ය.

දැවැන්ත ජන සංහාරයක් සඳහා නම් දැරු සුප‍්‍රසිද්ධ කවියෝ කවි පබැඳුහ. ගීත රචකයෝ ගී ලියුහ. ගායකයෝ ගායනා කළහ. මතවාද සැකසවෝද බොහෝ ය. අඩුවක් නැතිව ගලා ගිය පීඩිතයාගේ රුහිරු මත ඔවුන් පීනුවේ ය. පරාක‍්‍රමලගේ පරපුරේ සිට රත්න ශ‍්‍රීලගේ පරපුරද ඊට දායක වූයේ ය. අනෙක් පසින් උතුරේ ජනයාගේ දුක් දොම්නස් ගසා කමින් තම බඩවියත රැක ගැනීමට තවත් පෙරමුණවල් බිහි විය. වෙඩිවර්ධන වැන්නන් එහි පේටන්ට් බලපත‍්‍රලාභීන් විය. ගලා ගිය ලේ, ගොඩගැසුණු මළ මිනී ඔවුන්ට හොඳ ඉල්ලමක් විය.
සියල්ලෝ එක පෙළට සිටගත් මොහොතක අප කවියා, උතුරේ පීඩිත මිනිසුන්ගේ සමාජ අරගලය පිළිබඳ තම ස්ථාවරය පැහැදිලිව ලියයි.

කවි කියන සඳවතුර
අයිති නම් උන්ට මය
රත්නදීපයේ
හිසේ
දෙනෝ දාහක් වැලපී
සඳ දෙව්ට කී

අහෝ

විලාපය

යාල්පානම් සුවඳ
අයිතිනම් උන්ටමය
තල් සෙවණ සඳ මිහිර
පොඩි නින්ද තොල් අතර ගෑ සුවඳ

දිවිපුරා රැක්ක උන් සුවඳ
උණ්ඩයෙන් ගසා කෑ නොහැක
යාපනේ සුවඳ
උන්ගේම සුවඳ
යාල්පානම් සුවඳ
අහස සුවඳ
පොළොව සුවඳ...

මෙවන් පැහැදිලි අකුරෙන් උතුරු පීඩිතයන්ගේ අයිතිය ගැන ලියැවුණු වෙනත් කවක් නැති තරම් ය. සිදු වූ ඛේදවාචකය කවියා දකියි. ඊට හේතු වූ කාරණා ද පැහැදිලි ය. පීඩිතයා වෙනුවෙන් එසවිය යුතුව තිබූ රතු කොඩි පාලකයන්ගේ පාවඩ බවට පත් විය. රතු පැහැය ලා රෝස පැහැ වී ඇත. සිදු නොවිය යුතු බොහෝ දෑ සිදු ව ඇත. කියවමු. ‘වසා දැමූ රතු පොත’

රතු පාට පොතක් ගෙන දෑතට මහිම
හිස නමා ගෙන සොඳසේ කියවන
කෝ එදා රතුපාට පුස්තකය අමාව
දවා අළුකෙරුවෙද අකුරු බැරි මව්සඳ

අයිය මලයවරු එක සෑයේ
ඇවිලි ඇවිලී අළුවෙලා ගිය
ඉතින් නම් වැලපිල්ලේ සුවඳ
හිස නැති මැතිවරුන් මල් පුදන...

රතු පොත තිබුණා දුක් ගඟ අද්දර
වෙඩි හඬ ඇසුණා විලාප දී දුර
කඳුළු සැලූවා සමනොල සෝබර
හිමින් කතා කරපන් අපෙ සුන්දර

අප කවියා සුන්දරට හිමින් කතා කරපන් යැයි කීවද, කවියා උස් හඬින් කතා කරයි. ඒ මොහොතේ කිසිවෙකුට එය නෑසුණා විය හැකි ය. නමුත් ඒ හඬ ඇසෙන දිනයක් එනු ඇත.

සොඳුර අඬනු දෝ දුක්බර උතුරබලා
අඹුදරු සිහිව සිත සසලේ විකල වෙලා
ඇසේ කඳුළු පේනවාද අවි දරලා
කෙසේ සෝදමුද අත් අංගුලිමාල වෙලා

පාන්දර විහඟුන්ගේ බර බර අඳේනා
අනේ මිනී ඇවිළෙනවා ඇවිළෙනවා
අනේ උතුරේ නෑයින් ටික වැලපෙනවා
අඹුදරු නිතර සීවෙනවා දුක දෙනවා..

ධර්මසිරි රාජපක්ෂ කවියා පිළිබ`ද කතා කළ යුතු සමාජ ව්‍යාපාරයක් අපට නොතිබී ම ඛේදවාචකයකි. ඔහු මිය ගිය පසු සමාජවාදීයැයි කියා ගන්නා කලා සංගම් ශෝක නිවේදන නිකුත් කරන ලද්දේ අවංකව ම ඔහු පිළිබ`දව ශෝකයෙන් නොවන බව ඉතිහාසය සාක්කි දරනු ඇත. එය ලියූ අය ධර්මසිරිගේ එක කවියක්වත් කියවා තිබුණේ දැයි සැක සහිත ය. සරත් විජේසූරිය, විමලරත්න කුමාරගම ගැන සිදු කරන ලද කතා බහක දී කියූ අදහසකින් ඩැහැගත් කොටසකින් එම ප‍්‍රකාශයෙහි ලියැවී තිබුණි. එම සමාජවාදීන්ගේ පැත්තෙන් ගත් කල ධර්මසිරි රාජපක්ෂ යනු මීට වසර දහයකට පෙර මරා දැමිය යුතු ‘ත‍්‍රස්තවාදියකු’ය. දෙමළාගේ අයිතිය දෙමළාට දිය යුතු බව කියපු කිසිවෙකු ඉතිරි නොකර මිහිදන් කිරීමට ඔවුහු පාලකයන් සමග අවි එසවූවෝ වෙති.

අප ජීවත් වන මේ යුගය තම වාසිය සඳහා මළ මිනි වුවත් විකුණා ජීවත්වීමට බල කෙරී ඇති බව ඇත්ත ය. එහෙත් යථාර්ථය එය යැයි කියා එය පිළිගැනීමට අප සූදානම් විය යුතු ද?
සටන් දිනන බව මෙන් ම පරාජය වෙන බවද ඇත්ත ය. එහෙත් අරගලය දිගටම පවතිනු ඇත. අප කවි ධර්මසිරි මෙන් නිහ`ඩව, හුදෙකලාව වුව එම කාර්යය කරන්නට අප සමත් විය යුතු ය. දුෂ්කරම මොහොතේදී පවා ජීවිතය අර්ථවත් කළ හැකි බවට, ධර්මසිරි රාජපක්ෂ පෙන්වා ඇති වීරත්වයට අපි හිස නමමු.
නව කවි මගට පිළිපන් අලූත් මිනිසුන් වෙනුවෙන් අප කවි ධර්මසිරි රාජපක්ෂ මෙසේ ලියා තැබුවේ ය.

”පරාජය
නොවෙමු
මැණික් සේ
නිධන් වෙමු”

ධර්මසිරි රාජපක්ෂ කවියා අප අතරින් සමුගෙන පසුගිය 04 වනදාට දෙවසරක් පිරිණි. ඔහු වෙනුවෙන් මො. ල. සෙනවිරත්න සහෘදයා විසින් තබන ලද සටහනකි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...