කවිය කියන්නෙ හරි ඉසියුම් සුසුමක්! - Lanka News Web (LNW)

කවිය කියන්නෙ හරි ඉසියුම් සුසුමක්!

ඇය නමින් ලක්මිණී වික්‍රමසිංහ. උඩරට කෙල්ලක්. ජයවර්ධනපුර සරසවියේ දෙවන වසර සහෝදරියක්. ඉතින්, අපි කවුරුත් දන්නවා නුවර වැව කියන්නෙ ම කවි කිමිඳෙන තැනක්. සරසවිය කියන්නෙත් කවි උපදින බිමක්. ඒ නිසා ම කවිය ඈ වෙත වඩ වඩාත් සමීප වන්නට ඇතැ යි සිතෙනවා. මේ කතා බහ ඇගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වෙනුවෙන්.

 

1. ලක්මිණී ඇයි කවි පොතක් කරන්න හිතුවේ?

මං මට දැනෙන ගොඩක් හැඟීම් බෙදාගත්තෙ කවියත් එක්ක. ඒ මගේ ජීවිතයේ ළඟ ම මිත්‍රයා. එහෙම ලියපු කවි මං නැවත නැවත කියවලා රසවින්දා. ඒ කවි මං විතරක් නෙවෙයි, මා ළඟින් ඉන්න බොහෝ දෙනා කියවන්න ආසා කළා. ඒ වගේ ම මට අවශ්‍ය වුණා ගැහැණිය පිළිබඳ තියෙන සංවාදය පුළුල් පරාසයකට අරන් යන්න. සමාජයේ බොහෝ තැන් ගැන කතා කරන්න. ඒ සඳහා මට සුදුසු ම ප්‍රකාශන මාධ්‍ය වුණේ කවිය. ඒ සියලු දේ එක්ක යි මගේ කවි පොත ගොඩනැඟෙන්නෙ.

2. 'ගැහැණිය ගැන සංවාදය පුළුල් කරන්න' යනුවෙන් ඔබ අදහස් කළේ?

ගැහැණිය කියන ප්‍රතිරූපය අපේ සමාජයේ ගොඩනැඟිලා තියෙන්නෙ කොහොම ද? ඇයට මේ සම්ප්‍රදාය විසින් පවරලා තියෙන වගකීම් මොනවා ද? ඇත්තට ම ඔය කියන රාමුවේ ඇය සිටිය යුතු ද? මේ වගේ කරුණු මට කතා කරන්න වුවමනා වුණා. ඇත්තට ම ඇය එසේ සිර වී, කොටු වී ජීවත් විය යුතු ද? මං මගෙන් ම ප්‍රශ්න කරන්න ගත්තා. වර්තමානය තුළ ගැහැනිය කියන්නෙ තරඟකාරී චරිතයක්. මගේ පොත ඇතුළේ විවිධ කාන්තා චරිත නිරූපණය කරන්න මං උත්සාහ ගත්තෙ එ් නිසයි.

3. ලක්මිණීට අනුව කවිය යනු?

හරි ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. තමන්ගෙ දුක, සතුට සියුම් ව ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක්. සමාජයේ යම්කිසි වෙනසක් ඇති කරන්න, බලපෑම් කරන්න පුළුවන් මාධ්‍යයක්. මට අනුව, කවිය කියන්නෙ හරි ඉසියුම් සුසුමක්!

4. සාමාන්‍ය ජීවිතේ ඔබ කොයි වගේ කෙනෙක් ද?

මං නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අරමුණු වෙනුවෙන් කැපවෙන කෙනෙක්. මේ මොහොතේ අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක්.

5. 'මේ මොහොත' ඔබට දැනෙන්නෙ කොහොම ද?

ම්ම්ම්,
"දියවන්නාව
හිඳෙන්නෙම නෑ
කොයි තරම්
නියං ආවත්"

6. විශ්ව විද්‍යයාල ශිෂ්‍යයාවක් විදියට ඔබ මේ සමාජය මත තබන දෘෂ්ටිය කෙබඳු ද?

සමාජය කියන්නෙ සර්ව සම්පූර්ණ ශුද්ධ භූමියක් හෝ නරකාදියක් නොවේ. සියල්ල සමමිශ්‍රණය වූ තැනක්. අපි කොයිතරම් පෞද්ගලික අරමුණු පසුපස ගියත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට සමාජ ප්‍රගමනය උදෙසා විශාල කාර්‍යයභාරයක් පැවරී තිබෙනවා.

7. අපි ආයෙත් ඔබේ පොත දිහාවට හැරෙමු.
"සුසුම්ලන සිතුවිලි", එකී සිතුවිලි සුසුම්ලන්නට නියමිත විදිහ ගැන දැන් කියමු.

ඔව්... මගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය 'සුසුම්ලන සිතුවිලි' නොවැම්බර් 14 වෙනි බදාදා හවස 4.00ට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල කියවීම් ශාලාවේ දී එළිදක්වනවා. පොත ගැන කතා කරන්න එදාට මගේ ආරාධනය පිළිගෙන ආචාර්‍යය සමන් චන්ද්‍ර රණසිංහ, කුමාරි කුමාරගමගේ, සහ මිරාන් දමීන්ද්‍ර යන අයත් එන්නට නියමිත යි.

8. 'සුසුම්ලන සිතුවිලි' කෘතියේ අන්තර්ගතය ගැන සැකෙවින් කිව්වොත්?

මේ කෘතිය තුළ මං සමාජයේ විවිධ පැතිකඩ ස්පර්ශ කළා. දුක, සතුට, ආදරය, විරහව ආදී හැඟීම්වල නතර නොවී විවිධ භාවයන් කවි කිරීමට ගත් උත්සාහයක් මේ. ඒ වගේ ම සදැස්, නිසදැස්, සහ කෙටි කවි ආදී විවිධ ආකෘතීන් මං මට රිසි විදියට යොදාගත්තා. එතනින් එහාට 'මේ කවි කොහොම ද?' කියන දේ සහෘදයාට සාකච්ඡා කරන්න බාර දෙමු.

9. මෑතකාලීන ව 'කවි පොත් රැල්ලක්' නිර්මාණය වී තිබෙනවා. ඔබත් ඒ රැල්ලෙ ම නියෝජනයක් ද?

මෑතකාලීන ව කවි පොත් ප්‍රකාශනයේ විශාල වර්ධනයක් ඇති බව මාත් පිළිගන්නවා. ආසන්න කාලයේ එළිදැක්වූ කවි පොත් අතර දිනූ රාජගුරු, ටිම්රාන් කීර්ති, ළහිරු කිතලෙගම ආදීන්ගෙ කවි පොත් ගත්තොත් ඒව අපූර්වත්වය නිරායාසයෙන් ජනනය කරනවා. එතකොට ඒ අයත් රැල්ලෙ ද? ඔය කියන රැල්ල තෝරා බේරාගන්න පුළුවන් පාඨකයාට. මම කළේ මගේ කවි, මට සුදුසු යැයි සිතුණු අවස්ථාවේ ප්‍රකාශනය කිරීම යි. මං රැල්ලෙ ද? නැද්ද? කියන එක තීරණය කිරීම පාඨකයාට භාර යි.

10. කවිය සමාජ වගකීමක් ද? එය එසේ නම්, නූතන කවි කිවිඳියෝ ඒ වගකීම ඉටු කරනවා ද?

කවිය හරි ප්‍රබල ප්‍රකාශන මාධයක්නෙ. ඒ හරහා සුවිශේෂී සමාජ සාධනයක් සිදුකළ හැකියි. ඉතින් ඒ වගකීම උදෙසා කවිය මෙහෙයවීම කවියා සතු යි. එය වගකීමක් ලෙස නොව, වගවීමක් ලෙස හැඳින්වුවොත් වඩා නිවැරදි යි මං හිතන්නෙ.

11. ලක්මිණී කොච්චර කාලයක් කවි එක්ක වැඩ කරාවි ද?

මගේ හදවත වැඩ කරනකල් ම...

12. මේ කෙටි සාකච්ඡාවෙන් ඔබ්බට ඔබේ සහෘදයන්ට, ලබැඳියන්ට කියන්න දෙයක් තියේ නම් මේ ඉඩ ඒකට.

'සුසුම්ලන සිතුවිලි' මගේ ජීවිතේ එක් සුවිශේෂි පියවරක්. මේ දක්වා ආපු ගමනේ මට සහයෝගය දුන් සියලුම දෙනාට ස්තුතියි!

"මගේ කවි අතර, ඔබේ කවිය තිබිය හැකියි..."

කතාබහ;
දුලාජ් මධුශංක දේවපුර

 

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb