කවිය කියන්නෙ ජීවිතේ රිද්මය! - මහේල හෙට්ටිආරච්චි - Lanka News Web (LNW)

කවිය කියන්නෙ ජීවිතේ රිද්මය! - මහේල හෙට්ටිආරච්චි

මහේල හෙට්ටිආරච්චි 'ආදරණීය ඇළ පාර' නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කරන්නට සැරසෙයි. මේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ සිදුකළ කෙටි සංවාදයකි.

 

#. මහේල හෙට්ටිආරච්චි සහ ඇළ පාර ආදරය ගැන මුලින්ම අපි හැදින්වීමක් කළොත්?

මම කවුද කියලා ඇහුවොත් මම ලියන්නෙක් කියලා හඳුන්වා ගන්න ආසයි. ඔහේ නිනවුවක් නැතුව ලියන එකෙක්. ඊට අමතරව මම වෙබ් විශේෂාංග රචකයෙක් විදිහට හැඳින්වුවත් වැරැද්දක් නෑ. මාධ්‍යවේදියෙක් වීමේ හීනය හැබෑ කරගන්න යන ගමනක් මැද මම ඉන්නේ. ඊට අමතරව ඉදිරියේදී නීති උපාධිය හදාරන්නත් අදහස් කරගෙන ඉන්නවා. ආදරණීය ඇළ පාර කියන්නෙ මගේ කුළුඳුල් කවි පොත.ඒත් එක්කම මේකත් කියන්නම ඕන. කවුරුහරි පුදුම වුණොත් ඇළ පාරයි ආදරෙයි අතර සම්බන්ධතාව මොකක්ද කියලා. ඒක ඇවිල්ලා මාතර කතාවක්. ඇළ පාර කියන්නේ මාතර නගරයේ තියෙන ටියුශන් මාවත. මම මගේ බොහෝ කවි අත්දැකීම් මේ මාවතේ වුණු සිදුවීම් වලින් උකහාගත්තා. යොවුන් සිනහව, විරහව අස්සේ අපිත් ජීවිතය වින්දා. තාම විඳිනවා. අපි අත්දැකපු අන්න ඒ ටියුශන් ප්‍රේමයත් එක්කයි මේ පොතේ කවි බොහොමයක් හැඩ වෙන්නේ.

#. රීටා ඩෝව් කියන ඇමරිකානු කිවිදිය එක අවස්ථාවකදී කවිය කියන්නෙ හොදින්ම පෙරාගත් සහ බලවත්ම භාෂාව ලෙස හදුන්වනවා.ඔබට කවිය දැනෙන්නෙ කොහොමද?

කවිය කියන්නේ මටනම් මෙන්න මෙහෙමයි කියලා නිර්වචන අස්සට ඔබ්බන්න බැරි දෙයක්. අනෙක් අතට කවියට නිර්වචන දෙන්න තරම් මම මහා කවියෙකුත් නෙමෙයි. හැබැයි මම කවිය ගැන දකින එක දෙයක් තියෙනවා. කවිය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතයේ රිද්මය. අතිතයේ ඉඳලා බලද්දී ඒ ඒ කාලේ සමාජය ඒ ඒ කාලේ කවීන් අතින් නිර්මාණය වෙලා තියෙනවා. කවි කියන්නේ වෙන මොකුත්ම නෙමෙයි සමාජය. හොඳම උදාහරණය රාවණා කතාව. අද සමාජය මේ කතාව දකින්නේ එදා සමාජය දැකපු කෝණෙන් නෙමෙයි. පතිවත පෙන්නන්න ගින්නට පනින්න සීතාව යොමු කරපු රාමා අද සමාජයට අනුව ආදරයට ද්‍රෝහී වූවෙක්. අද කවියෙක් ඔය කතාව අලලා කවියක් ලිවුවොත් ලියවෙන්නෙ අන්න එහෙම. ඒත් එදා ලංකාවේ උදවියට පවා රාමා වීරයෙක්. ඉතින් කවිය කියන්නෙ තත්කාලීන සමාජයම නෙමෙයිද?

#. කවිය ආදරය,සතුට,දුක,තරහ වගේ හිත්වල උපදින හැගීමක් එක්ක කරන වචන හරඹයකට එහා යන දෙයක් බවට පරිවර්තනය වෙන්නෙ කොතනින්ද?

කවිය කියන්නේ කලිනුත් කිවුව වගේ සමාජය. කවි විතරක් නෙමෙයි ඕනම දෙයක් ලියන කෙනෙක් තුල සමාජය ගැන පෘථුල දැක්මක් තිබිය යුතුමයි. ඒ දැක්ම එන්නෙ අත්දැකීම් මත. මහා කවියන් වන රත්න ශ්‍රී ශූරීන්ගේ, මස්ඉඹුල ශූරීන්ගේ කවි වලට වචන එන්නේ ඔවුන් බොහෝ කාලයක් තිස්සේ එක්කහු කරගත් අත්දැකීම් වලින් බව හොඳටම පෙනෙන කාරණයක්. ඒ වගේම කවිය සමාජයෙහි ප්‍රගමනය සඳහා විය යුතුයි. සමාජයේ ප්‍රගමණය කියන්නේ හොඳ පුරුදු කියාදෙන කවි ලියන්න ඕනෑ කියන එකනම් නෙමෙයි. සමාජය තත් කාලීන ශිෂ්ටත්වය සඳහා යාවත්කාලීන කිරීමේදී කවියට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙනවා කියන එකයි මම ඒ අදහස් කලේ. කවිය අන්න ඒ අරමුණ සහිත මිනිසෙකු අතින් නිශ්පාදනය විය යුතුයි.

#. මීට මාසෙකෙට දෙකකට උඩදි ඔබ වෘත්තියෙන් බැංකුකරුවෙක්.හර බැර එක්ක ගෙවුණු ඒ ජීවිතය කලාවට,සාහිත්‍යයට විතරක්ම බැර කරන්න හිතුවෙ ඇයි?

පාසල් කාලයේදී මම නිවේදනය, කථික, විවාද වගේ කටින් කරන වැඩ වලට බොහෝ සෙයින් ආදරය කලා. ලිවීම මට හුරුවුණේ මගේ ගෙදරින්. තාත්තගෙන් සහ අක්කගෙන්. අක්ක කවි නොලියන දක්ශ කිවිඳියක්. ඉතින් මම ගියපු රැකියාව මම ආදරය කරන ක්ශේත්‍රයේ නොවන හන්දා වෙන්නැති ඒ ගැන මට තෘප්තියක් දැනුණෙ නැහැ. මම ඉවත් වෙන්න තීරණය කලා. දැන් මට හීනයක් වුණු ගමනක අතරමග මම ඉන්නවා. මම අද තෘප්තිමත්. ඉදිරියටම මේ ගමන යනවා අතරමග නැවතීමක් නැතුව.

#. ඔබේ ගම මාතර. මාතර වෙරළ තීරය අප දාන්න ආකාරයට පෙම්වතුන්ගේ පාරාදීසයක්.මෑත කාලයේ සිදු වුණ සිද්දි එක්ක බලද්දි ඇත්තටම මාතර වෙරල තීරයේ 'ආදරයට' ඉඩක් තියේද?

ආදරයට කෙසේ වෙතත් මාතර වෙරළ තීරයේ මනුශ්‍යත්වයටවත් ඉඩක් නැහැ කියලා කියන්නෙ ඉතාම කණගාටුවෙන්. ඔබ මේ පැනය යොමු කරන්නෙ මේ සිදුවීම ගැන දැනුවත්ව වෙන්න ඕන. ඔව් මාතර වෙරළ තීරයේ පෙම්වතුන් යුවළ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නවා. පසුගිය දිනකත් ඒ සිදුවීම සිද්ධ වුණා. මේ යෞවන යෞවනියන් මහා වරදක් කරල වගේ පොලීසියේ නිල රථ වලට සියල්ලටම පෙනෙන විදිහට නංවාගෙන පොලීසියට රැගෙන යනවා. අපි මේකට විරුද්ධව බොහෝ සෙයින් කතා කලා. ජනමාධ්‍ය වේදීන්, සිවිල් සමාජය සහ අනෙකුත් බලපෑම් කණ්ඩායම් එක තැනකට එකතු කරගන්න අපට පුලුවන් වුණා. මාතර පොලීසිය දැනට මාධ්‍යයට කියලා තියෙනවා එවැනි අත්තඩංගුවට ගැනීම් නැවත සිදු නොවන බව. අහන්න තිබ්බේ සරලම ප්‍රශ්නයයි. තාරුණ්‍යයෙන් රටේ වගකිවයුතු පොලීසිය බලාපොරොත්තු නොවෙන්නේ ආදරය නොවෙයිනම්, රටේ තාරුණ්‍යය තෝරාගත යුත්තේ වෛරයද..? අන්න ඒකයි මම කලිනුත් කිවුවේ සමාජය තත්කාලීන ශිෂ්ටත්වය සඳහා යාවත්කාලීන විය යුතුයි කියලා.

#. මහේල කැමති විදියකට කතාව ඉවර කරනව නම්?

'ආදරණීය ඇළ පාර' මගේ කුළුඳුල් කවි සංග්‍රහය එලිදැක්වීම එළඹෙන නොවැම්බර් 18 වෙනිදා හවස 3 සිට පැවැත්වෙනවා. මේක තියෙන්නේ අගනගරයෙන් බැහැරව, මාතර නගරයේ උයන්වත්ත ක්‍රීඩාංගණයේදීයි. කවිවලින්, සංගීතයෙන්, ආදරය ගැන සංවාද වලින් එදාට උයන්වත්ත ක්‍රීඩාංගණය හැඩ වේවි. ලංකාවේ රාජ්‍ය සම්මානිත් කවියෙක් වන ටිම්රාන් කීර්ති වගේම යොවුන් කවියෙක් වන ඉලක්ශ ජයවර්ධන එදාට සම්බන්ධ වේවි මේ දොරට වැඩුමේ උළෙල සමගින්. ඉතින් කවියට ආදරය කරන, ආදරයට ආදරය කරන කාටත් ආරාධනා කරනවා, එන්න..!

සංවාදය - පසන් සංජය සමරතුංග

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...