කල්පනාගේ 'පියා නොහැඹූ පියාපත්' සහ 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' දෙසැම්බර් 01 - Lanka News Web (LNW)

කල්පනාගේ 'පියා නොහැඹූ පියාපත්' සහ 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' දෙසැම්බර් 01

ඇය මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ය. විටෙක කවි ලියන , තවත් විටෙක කවි සිංහලයට නගන කල්පනා ය. ඇන්ටිගුවා සිට පැමිණෙන ඇම්බ්‍රෝස් එල්ල කළ බිහිසුණු වේග පන්දු හමුවේ දැවී ගියේ හිත් පිත් නැති කඩුළු පමණය. සයිබරයේත් ,මුද්‍රිත පිටු අතරත් සිටින ඇම්බ්‍රෝස් එල්ල කරන කවි කියවා දැවී නොයන්නේ මොනවාදැයි මම ඔබෙන් අසමි.

 

ඒකාකාරී කවි අනුභූතීන්ගෙන් අපෝ වී සිටි සයිබර් ජීවින් හට ඇය "මරියා" නමින් කවියක් ලියන්නීය. මරියා ගැන යළි යළිත් ලියන්නට ඇති සියලු දෑ විස්මිත ලෙස එහිම කැටි කොට තබන්නීය.

දැවි දැවී යවට වී උණුවෙත
මුළු අහස එකළු කළ තරු රැස
පණ ගැහෙන හදවතක ගැඹුරක
ස්නේහය ම පමණක් ද වරපට

ඉරි තලා ගිය වසත් ළය මත
තබන්නී අවසාන රතු මල
උතුරින් ද දකුණින් ද දිනයෙක
තරු නැගෙන තුරු දෑස නො පියෙන

හමුවුණා නම් ඔබට,
ඈ නමින් මරියා.

"මෙගා අහස යට" නමින් ඇය ලියුවාය. මෙගා වෙළඳ සැලක් ඉදිරිපිට විකට ඇඳුමකින් සැරසී වෙළඳ ප්‍රවර්ධනයේ යෙදෙන නාට්‍යකරණය හැදෑරූ සහෘදයෙකු වෙත මෙසේ හදබසින් ඇමතුවාය.

ගම තාම බලන් ඇති
ඊඩිපස් එන තුරා
නගා අත් අපි උඹට නැගු ගොස සිහිවුණා
ඒ අත් ම ඔය දූලි දෑතේ හිරවුණා

ජීවිතේ මහා බර
ඇඟිලි තුඩකට අරන්
හිනැහෙද්දි උඹ, මාව ගොළු වුණා
ගිහිං එන්නං කියා එන්නට
මල්ලියේ, අමතක වුණා

"මළගිය ඇත්තෝ" හි නොරිකෝ තෑගි දුන් සොඳුරු රුවැති වෙස් මුහුණ ඇගේ දොරකඩින් තැබූ දෙවොන්දරා , නිදිපෙති පානය කරන්නේ සමු ගැනීම පිණිසය. නමුත් කල්පනා වියෝ ගී ද ගයමින් , මතු පිළිණ නොදෙමින් ප්‍රේමයේ සමුගැනීම ගැන මෙසේ අකුරු කළාය.

බෙදා ගත් දිවියක
සදාකාලික මතකය
කිසිවකින් මකනු බැරි බව
නිදාගත් මා හෘදයට
නිරතුරුව සිහිපත් කර දුන මැන

රික්තයක් තුළ නිහඬ ගොළු බව
දරා ගනු බැරි දිනයෙක ,
සමුගැනුම් අවැසි නැත
කිසිත් නොකියා ඉවත යනු මැන

දසක දෙකකට පමණ පෙර ප්‍රභාත් මනබන්ධන ද සේරම් විසින් ඉනෝකා සෙව්වන්දි නම් හමුදා සෙබළිය මරා දමන්නේ ප්‍රේම කතාවට නැවතීමේ තිත තැබීම ඉවසා දරාගත නොහැකි තැනය. කල්පනාගේ කවි තුළ ප්‍රභාත් ලා නැති බැවින් ඉනෝකා ලා සෙවීම නිෂ්ඵල කරුණකි. එහි ඇත්තේ හැඟුම්බර ජීවිතය ය.

කම්පනීය අඳුර තුළ
සිහිවිකල් වනු පෙර
මට මතක එකම දෙය
දුරකථනයෙහි නාදය
ඔබේ බිඳුණ කටහඬ
"ඉතිං " අපි වෙන්වෙමු
එහෙම කීවේ ඔබ ද ?
නැත්නම් මම ද?........

"ගිනියම් තාර පාරක , නිලන ගහකොළ අතර , දාහය නිවන සුළඟක මුසුව තාත්තා සිටින බවද ඔහු පොරොන්දු වූ පණිවුඩය කිසිදාක නොඑව්වේ ඒ නිසා බව ද මටම කියා ගනිමි" යි ඇය තම අවසාන කවි සංග්‍රහයේ පෙරවදනෙහි සඳහන් කළාය. ඊට බොහෝ කලකට පෙර "තාත්තලා" ගැන මෙසේ ලීවාය.

පාත්තරේ මෙන් රැස් කළ දුක් ගින්නේ
කාත් කවුරුවත් නැති ගිරි දඹ නැම්මේ
පාත් නොකර හිස, දිවි පියවර ගැන්නේ
තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ

රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ ප්‍රිය බිරිඳ වූ හේමමාලි වියෝ වීම එකල සාහිත්‍ය ලෝකයම කම්පා කළ සිදුවීමක් විය. හේමමාලි ව සහ හේමමාලී ගුණ හඳුනන බොහෝ දෙනා ඇගේ නමින් කවි ලියුවේ එබැවිනි. හේමමාලි අදටත් අප අතර ජීවත් කරවන ඒ පණ ගැහෙන කවිය ලියන්නී කල්පනා ඇම්බ්‍රෝස් ය.

පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළිවෙන්න
හේමමාලි එකපාරක් යළි එන්න

අපේ කාලයේ උසස්පෙළ සිංහල විෂයයෙහි නූතන පද්‍ය සංග්‍රහයේ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කවියක් විය. එය නම් කර තිබුණේ " දිසාපති මිතුරාට" ලෙසිනි. ඒ සාමාර්ථයක් ලබා ගනු පිණිස ඒ කවියට විචාර ලියූ අපට තවත් කිවිඳියක් ලියූ " ඒ මිතුරියට" කවිය මුණ ගැසෙන්නේ දසකයකට පමණ පසුව ය. විභාගයට නොමැති බැවින් කල්පනාගේ කවියට විචාර නැත. නමුත් හදවතේ ඇත.

සමු අරන් දුර ඇවිද ගොස් බර හදවතින්
තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
අඳිමි අහසෙහි බිඳුණු බඳුනක රුව සෙමින්

කල්පනා ඇම්බ්‍රොස් නිරන්තරවම වචන සමග භයානක සෙල්ලමක යෙදී සිටින්නීය. ප්‍රොමිතියස් සොරකම් කරවිත් මිනිසාට ලබා දෙන ගින්දර සේම දැවෙන , දීප්තිමත් ශබ්දකෝෂයකින් යුතුව ඇය බොහෝ කවි සිංහලට නගන්නීය. අප බස පිළිබඳ මහත් වූ විස්මයෙන් යුතුව පැබ්ලෝ නෙරූදා කියවන්නෙමු.

හැමදිනෙක සක්වලෙහි එළිය සමගින් රඟන
සිහින බඳු අමුත්තිය, මල්වලින් නිල් දියෙන් මුණ ගැහෙන
මා තරව වැළඳගත් සුදු හිසට වැඩි යමක් වී දිලෙන
මියුරු ඵල අහුරක්ය නේක වර මා දෑත් තුළ රැඳුන

පොද වැස්සත් , මහ වැස්සත් වෙනසක් නොදකින කල්පනා මුරුගසන් වැසි වසින මේ මොහොත දක්වාම අකම්පිතව ලියන්නීය.

හිත දවන මහ වැස්ස
ඉතිහාස පාඩමක පිටු හැළුණ වීදියක
තෙත බරිත ජීවිතය මිරිකමින් වියළවන
සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ වැස්ස ණයගැතියි

කාලාන්තරයකට පෙර කල්පනා එසේ ලියුවාය. ඉදින් මේ මුරුගසන් වැසි ගැන ඇයට අමුතුවෙන් කිව යුතුමද ? එදිනට පැමිණ දැක බලා ගනු රිසියෙමි.

- සහන් කසීර වික්‍රමසිංහ -

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...