අඳින ලද සුදු පැහැ ඉරි සටහන්

අඳින ලද සුදු පැහැ ඉරි සටහන්

3 January 2019 07:01 am

පශ්චාත් ධනවාදී සමාජ සන්දර්භයක් තුළ පොදුවේ පුරුෂයා සහ ගැහැණිය අත්විඳිනු ලබන පෙළීමට (Suffer) මූල හේතුව, ඔවුන්ගේ සම්බන්ධතාවල පවතින සංකීර්ණත්වයයි.

කොටින්ම ඔවුන් සම්බන්ධතා සමඟ හැල්මේ දුව යනු ලබයි. මෙම දිවීමෙන් හති වැටෙන ඔවුන් අවසානයේ තනිකමේ නොහොත් හුදෙකලාවේ ගොදුරක් බවට පත් වේ. අවසන ඔවුන් එම හුදෙකලා දිවිය තම ජීවන විලාසිතාවන්ගෙන් සහ නිර්මාණාත්මක ක්‍රියාදාමයන් හරහා උත්කර්ෂයට නංවනු ලබයි. මෙම අහිමිවීමේ ක්‍රියාවලියට ඔවුන් දක්වන ප්‍රතිචාරයන්ට ලැකානියානු මහා අනෙකාගේ අහිමිවීම ද සෘජුව හා වක්‍රව බලපානු ලැබේ.

අඳුරත් මමත්
ස‍‍ලෙලුන් නොවෙයි
සලෙලා වුවත්
ඉමිහිරි ඔබයි

ප්‍රබල මහා අනෙකෙකු සමඟ ජීවත්වීම යනු, ‘දේවල් පැවතිය යුතු ආකාරය පිළිබඳ පබල හැඟීමක් සමඟ ජීවත් වීමකි. සෑම සමාජ තත්වයක් තුළම කෙනෙකු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රභල හැඟීමක් සමඟ ජීවත් වීමකි. පසු ධනවාදයේ නැගීමත් සමඟ මෙම වර්ගයේ බෙදා හදා ගන්නා ලද සංස්කෘතික අර්ථයන් බිඳවැටීමට පටන් ගැනින.‘ (මහාචාර්ය ජොනතන් ඩිල්)

මහාචාර්ය ඩිල්ගේ අදහසට අනුව බලන කල මෙම සංස්කෘතික අර්ථයන් බිඳවැටී තිබෙන බැවින් සම්බන්ධතාවල පැවති පැරණි සංස්කෘතිකමය අර්ථයන් බිඳ වැටීමද නොවැළැක්විය හැකි කරුණකි. පියා සහ මවට තිබුණ පැරණි අර්ථය, එනම් එම සබැඳියාවන් මහා අනෙකා තුළ පූජනීයත්වයේ භූමිකාවන් වුවද වත්මන තුළ එම භූමිකාවන්හි කාර්යය වෙනත් සම්බන්ධතාවයක කාර්යයට මාරුවිය හැක. පියා තම යෙහෙළියකට පෙම් කිරීම මෙම පසු ධනවාදී සමාජ ක්‍රමය තුළ සිදුවිය නොහැක්කක් නොවේ. මක්නිසාද එම සබැඳියාවන්ට තිබූ සංස්කෘතිකමය අර්ථයන් අහෝසි වී ඇති බැවිනි.

සංජීව මූණමල්පේ විසින් රචනා කරන ලද ‘ අඳින ලද සුදු පැහැ ඉරි සටහන් ‘ කෙටි වියමන් එකතුව තුළින් අනුරාව නැංවෙන මූලික කරුණක් වන්නේ ද මෙම සම්බන්ධතා ප්‍රපංචයන්හි ඇති ශුන්‍යයත්වය හේතුවෙන් එකකට එකක් මාරුවෙන සම්බන්ධතා ජාලයකට මිනිසා මැදිවීමයි. මැදි වී පෙළීමට පාත්‍ර වීමයි. මෙම වර්ධනය වෙනු ලබන ප්‍රතීකත්වය (තමා වෙතටම නැඹුරු වීම) කාංසාව වර්ධනය කිරීමට හේතුවක් බව සිසැක් පවසා තිබේ. මෙම ප්‍රතීකත්වයේ වපසරිය තුළ කාංසාව අත්විඳිමින් වත්මන තුළ හිඳ නැති වී ගිය පැරණි සම්බන්ධතා ජාලය අවලෝකනය කිරීමට මිනිසෙකු පෙළඹීම සාමාන්‍යය තත්වයකි. අප කේවල් කරන ප්‍රමාණයටත් වඩා හුදෙකලාව අපට ලැබීම එයට හේතුවයි. මේ නිසා ප්‍රතීකත්වයේ උත්කර්ෂය තුළ කිදී යමින් ‘නිර්මාණකරණයේ ‘ යෙදීමක් වශයෙන් ‘අදින ලද සුදු පැහැ ඉරි සටහන්‘ කෘතිය හඳුනා ගත හැක.

මෙම සවිස්තරාත්මක ප්‍රවේශය හරහා කෘතිය කියවීමට අප නැඹුරු වුවද සංජීවගේ කෙටි වියමන් එකතුව තුළ එයින් ස්වායත්ත කියවීම් සහිත නිර්මාණයන් ද ඇතුළත් වේ. ‘පෝලියෝ කකුල‘, ‘අලි මුඩුක්කුව‘වැනි කතා ඊට නිදසුන් වේ. වියමන් දහයක් අඩංගු වන මෙම කෘතියේ එක් එක් වියමනට ඇතුළු වී ඒවා කියවීමට දැන් අපි උත්සාහ කර බලමු.

මම

අපේ ප්‍රවේශය තුළ සඳහන් වූ ආකාරයටම ‘චින්තක‘ යනු පසු ධනවාදී සමාජයේ සම්බන්ධතා සංකීර්ණයකට මැදි වූ චරිතයකි. ඔහු තම බිරිඳගෙන් දික් කසාද වී දුර්ගා නම් වූ ගැහැණියක් සමඟ දිවි ගෙවයි. නමුත් එම සම්බන්ධතාවයෙන් පවා ඔහු තෘප්තිමත් වන බවක් නොපෙනේ. වියමන අභ්‍යන්තරයේ සඳහන් වන ආකාරයටම හිස්ටීරියාව යනු එක් අයෙකුගෙන් අනෙකා මත බලපවත්නා අපත්තිදායක තත්වයකි. චින්තක දුර්ගා නම් වූ තම පෙම්වතිය තුළින් එවැනි අපත්තිදායක තත්වයකට මුහුණ පානු ලබයි. පහත උපුටනය එයට සාක්ෂියකි.

“අපි තවමත් නිදන්නෙ එකම ඇදේ. ..ඒත් වෙන වෙනම එකිනෙකාට පිටු පා දිසා දෙකක් බලාගෙන. මම ඊයෙත් උත්සාහ කළා දුර්ගාගේ සෙළු කය මත වැතිරී මේ හිස්කමෙන් එතෙර වෙන්න. එහෙත් කෙහෙල් කඳක් වගේ මම අප්‍රාණිකව ඈ මත නිදි කිරා වැටුණා. “ (පිටුව-17)

චින්තකගේ ප්‍රතීකත්වය හේතුවෙන් ඇති වෙන කාංසාව මෙම තත්වයට හේතුවයි. එමෙන්ම චින්තක අත්විඳින පසු ධනවාදී සමාජය තුළ ආගම ‘ආර්ථිකය වෙතට නැඹුරුවීම‘ නොවැළැක්විය හැකි දෘශ්‍යමාන වීමකි. එම තත්වය වියමන තුළ විග්‍රහ වනුයේ ඔහුගේ මිතුරෙකු වන සුනිල් අයියාගේ දෙබස් තුළිනි.

“අරහෙ එක ගණින්වහන්සේ නමක් හඳහනයි වෙදකමයි විකුණනවා...හෝටල් ගහනවා....බඩු...බෞද්ධයෝ ඡන්දෙ දීලා ධර්මිෂ්ඨ රාජ්‍යයක් ප්‍රාර්ථනා කරනවා.“ (පිටුව-17)

මෙම තත්වය තුළ ‘මම‘ යනු කවරෙකුදැයි යන්න කියවා ගැනීමට චින්තකට අවශ්‍යය වේ. ඒ සඳහා ඔහු යොමු වනුයේ බෞද්ධ දර්ශනය වෙතටය‍. ‍බෞද්ධ දර්ශනය තුළ මමය මාගේය යනුවෙන් ගැනීම හදුන්වනුයේ ප්‍රපංච ගොඩ නැගීම යනුවෙනි. පටිච්ච සමුත්පාදයේ ආරෝහණ පිළිවෙළ ප්‍රපංච ගොඩනැගීමක් වන අතර එහි අවරෝහණය නිර්ප්‍රපංචකරණය හෙවත් නිර්වාණයයි. කතාව අවසන් වනුයේ මෙම නිර්ප්‍රපංචකරණය දැක්වීමෙනි.

ප්‍රතීකත්වය හේතුවෙන් ඇතිවන කාංසාවට දක්වන ප්‍රතිචාර තුනක් සිසැක් විස්තර කොට තිබේ.

1.කුඩා අන්‍යයන් වෙත ආකර්ශනය වීම.
2.ශික්ෂණයේ පෞද්ගලික මාදිලි වෙත ආකර්ශනය වීම.
3.ලැකානියානු අනෙකාගේ අනෙකා බිහිවීම.

චින්තක මුහුණ දෙනුයේ මෙයින් තුන්වන කරුණටය. ඔහු මෙම සංකල්පය නැති කිරීමට තවමත් නූල අදින ‘මම යන සංකල්පයෙන් පීඩනෝන්මාදයට පාත්‍ර වූවෙකි. එම පීඩන උන්මාදය ඔහුව යොමු කරනුයේ මම යන සංකල්පය බිඳ දැමීමටය. එනම් මේ ජාලගත සම්බන්ධතා සංකීර්ණයට මුහුණ දෙන ‘මම‘ නැතිකිරීමටය. එම මමත්වය අහෝසි කිරීමට ඔහුගේ ශික්ෂණයේ මාදිලිය වාණිජත්වයෙන් තොර බෞද්ධ දර්ශනයට ආකර්ශනය වීමයි.

එමෙන්ම මෙම වියමන තුළ අධියථාර්ථමය පදඝටනාවන් (Syntax)මගින් කථකයා අතිවිඳිනු ලබන සමාජ වපසරියේ තත්වයන් හුවා දැක්වීමට කතුවරයා සමත්ව ඇත. බලන්න පහත උපුටනය.

“ඔළු කට්ට හිල්කරගෙන අප්‍රමාණ නගර ඝෝෂාව මගේ මොළයට කිදා බහිනවා. සුපර් මාර්කට් එක ඉස්සරහා ගිනි මද්දහනේ සංගීත සාජ්ජයක්. භූමිකම්පාවක් වගේ සද්දෙට මහපොළව දෙදරනවා. ආ නගින්න..නගින්න...හයිස්කූල්-මුල්ගම්පොළ...අද අදිනවා...අද අදිනවා..මහජන..ලොතරැයිය..ආ...ලාබයි..ලාබයි...එන්න..ගන්න. සර්..ගන්න..ගන්න..අද විතරයි...ලාබෙට ගන්න..පෝං.ඈම්..භ්‍රෑම්..මම කන් දෙකේ ඇගිලි ගහගෙන දූවිලි කාගෙන කොළඹ වීදියේ තැබෑරුමකට රිංගුවා. ගල් භාගයක්.(පිටුව-16)

සිහිනයත් අප සමග මිය ගියා නොවේද?

මෙම කෙටි වියමන තුළ සමාන්තර අන්තර්ගතයන් දෙකක් ආඛ්‍යාන ගත කිරීමට කතුවරයා සමත්ව තිබේ. එනම් කථකයා සහ ඔහුගේ යහළුවන්ගේ බීමත්කම සහ ඔවුන්ගේ සංචාරය ද ක්‍රිෂ් ගේ සංකීර්ණ සම්බන්ධතා ජාලය ද වේ. ක්‍රිෂ් විවාහ වී සිටින්නේ ඔහු සැබැවින්ම ආදරය කරන ගැහැණිය නොවේ. ඔහු ඔහුගේ ආදරය ෆැන්ටසිගත කරමින් වෙනත් සම්බන්ධතා අනුභූතියක වෙනත් ස්ත්‍රියක් සමඟ දිවි ගෙවනු ලබයි. ඔහුගේ පැරණි ආදරය සම්මත විවාහයක් තුළට ලඝු කිරීම වෙනුවට ඔහු එයට ෆැන්ටසිමය සත්තාවක් ලබා දී අනුභූතීමය සත්තාවක් ලබා නොදෙනුයේ එහි සුන්දරත්වය වියැකී යෑමට හැකි නිසා යැයි කියා අපට සැක පහළ වුවද සැබැවින්ම මෙය පසුධනවාදී සමාජයක් තුළ කේවල් කරන ප්‍රමාණයට වඩා හුදෙකලාවක් ලබා ගැනීමට ඔහු හිස්ටරිකව පෙළඹීමකැයි යන්න වඩා වැඩියෙන් සිතීමට අප යොමු කරවනු ලබයි. මන්ද බොහෝ සහෘදයන් මැද පිරිසක් තුළ පවා ක්‍රිෂ් හුදෙකලා වීමට කල්පනා ලොවේ සැරිසැරීමට පුරුදු වී ඇති බැවිනි. ඔහු ප්‍රේම කළ ගැහැණිය විවාහ කරගත්තා නම් ඔහුගේ ෆැන්ටසිමය ජීවිතය හුදෙකලාවේ පහස ලබමින් ෆැන්ටසි ජනනය කිරීමට වස්තුවක් නොමැති කමින් යාවත්කාලීන වීම වැළකිය හැක.

අනිත් සමාන්තර වියමන හරහා ක්‍රිෂ් සහ ඔහුගේ යහළුවන්ගේ බීමත් සංචාරය පිළිබඳව යමක් පවසන්නේ නම්, සැබැවින්ම බීමත්කම සමග ක්‍රිෂ් දාර්ශනිකව පවසන ජීවිතය පිළිබද විග්‍රහය බටහිර දර්ශන ඉතිහාසයෙන් යමක් ගෙන පැවසීමට අපව යොමු කරවනු ලබයි. සැබැවින්ම මධ්‍යසාර පානය හා දාර්ශනික ප්‍රස්තූත විග්‍රහය ඉතා ඈත ඉතිහාසයක් ඇති යමකි. ත්‍රෙසියානු දෙවියෙකු වන ඩයනීසස් හෙවත් බැකස් වන්දනය බීර සාදා ගැනීමත් සමග වෙරිමත්වීම දිව්‍යමය යැයි සිතා වෙරිමතින් ත්‍රෙසියානුවන් බැකස්ට ස්තෝත්‍ර කීහ. පසුව ඔවුන් මධුපානය සෑදීම දැනගත් පසුව ඩයනීසස් හෙවත් බැකස් සම්බන්ධ ඔවුන්ගේ සිතුවිලි වඩාත් ඉහළ ගියේය. අනිත් අතට ප්ලේටෝ ගේ මධුසාදය ද මධුපානය හා දාර්ශනික කථිකාව අතර ඇති සම්බන්ධය පෙන්වන තවත් යමකි. එමෙන්ම පොළොන්නරු යුගයේ එන ‘හැම්මෙන්න‘ යන වදනින් පවා පැවසෙන්නේ මධුමතින් මත් වී දාර්ශනික ප්‍රපංච ගැන විග්‍රහයක යෙදීමයි. (මෙම හැම්මෙන්න යන වදන කවියෙකු හා ලේඛකයෙකු වන ජී.එවරස්ට් ආරච්චිගේ විසින් මෙම ලේඛකයාට පවසන ලද වදනකි.)

පිහි පාර

මෙම කෙටි වියමන තුළ අන්තර්ගත වනුයේ කාලීන සමාජයේ ප්‍රවෘත්තිමය වටිනාකමකින් හෙබි ප්‍රවෘත්තියක් ප්‍රබන්ධකරණයට ලක් කොට තිබීමයි. ප්‍රවෘත්තිය නම් තම බිළිදා ගඟට වීසිකොට දමන මවක් සම්බන්ධයෙනි. සත්‍යය හා ප්‍රබන්ධය අතර පවතිනුයේ කිනම් ආකාරයේ බෙදුම් රේඛාවක් ද යන්න හඳුනා ගැනීමට මෙම කෙටි වියමන සාක්ෂියකි. එමෙන්ම තමන්ට හිරිහැර කරන තම ස්වාමිපුරුෂයා ඝාතනය නොකොට තම බිළින්දන් සමඟ තමරා කළු ගඟට පැන දිවි නසා ගැනීම බැලූ බැල්මටම ඛේදනීය සිදුවීමක් වුවද සැබැවින්ම එය ඛේදනීය අවසානයක්ම නොවන බවට තවත් සාහිත්‍යයමය නිර්මාණයක් අපට පෙන්වා දෙනු ලැබේ. එනම් ෂිනුවා අචිබෙ තම එක් නවකතාවක් වන හිරු බැස ගිය පසු හරහා පවසන මරණය යනු සෑම විටම ශෝකාන්තයක් (Tragedy) නොව සුඛාන්තයක් යන්න බවයි. සුඛාන්තය නම්, තමරා සැමියා ඝාතනයකොට ළමුන් දෙදෙනා සමඟ ජීවත් වීමට සැදුවා නම් සැබැවින්ම ඇය මුහුණ දෙන ප්‍රශ්න කන්දරාව මෙතෙකැයි කියා පෙන්වීමට බැරි තරම්ය. නමුත් ළමුන් දෙදෙනා සහ ඇයගේ මරණය තුළින් ඉදිරියේදී මුහුණ දීමට සිදු වන සියළු ප්‍රශ්න අවසන් වන බැවින් එය සුඛාන්තමය අවසානයක් ලෙස ගැනීමට අපි සිතුවෙමු. බලන්න, පහත පැදි පෙළ දෙස.

එන්න පෙර මෙහි
දරා මුළු වැර
සිඳගනිවු ඔය ‍
නොදරු කළලය
තවත් අම්මා කෙනෙක්ගේ ගිනි
එවිට හැකි වෙයි නිවාලන්නට
නොදුටු අප දරු සිඟිති කළලය(පිටුව-33)
- ඔපරේෂන් එම්.සී.37

මෙම වියමන සම්පූර්ණයෙන්ම පාහේ අපගේ ලියමනේ ප්‍රවේශයට යළි පොළා පැනීමට අපව පොළඹවනු ලබයි. එම නිසා මේ සම්බන්ධයෙන් වැඩි දුර යමක් ලියනවාට වඩා කතුවරයාම පවතින සමාජ තත්වය තුළ සම්බන්ධතාවයන්ට සිදු වී ඇති ‘අකරතැබ්බය‘ ආඛ්‍යානගත කොට ඇති ආකාරය හුවා දැක්වීම මැනවැයි සිතමි.

‘ලැප් එක තුරුළු කරන් බස් හෝල්ට් එකේ ඉන්නව දකිද්දි මම හිතුවෙ අඩුම තරමින් මගේ ජීවිතේ සාංකාව අවුරුද්දකට හරි ගොඩදාන්න පුළුවන් එකියක් කියල‘(පිටුව-35)

ඉහත උපුටනය අනුව පැහැදිළි වනුයේ එකකට එකක් මාරු වෙන ක්ෂණික සම්බන්ධතා ජාලයකට අප මෙම පසු ධනවාදී සමාජය තුළදී නැඹුරු වී ඇති ආකාරයයි. අනිත් අතට මෙම පසු ධනවාදී සමාජය තුළ ආදරය අයත් කරගනුයේ සැබැවින්ම කිනම් අර්ථයක්ද?. ඇත්තවශයෙන්ම අප අමතක නොකළ යුතු තවත් කාරණයක් මෙහිදී සඳහන් කළ යුතුය. එනම් අර්ථ දැක්වීම් වෙනුවට අද අප මුහුණ දෙනුයේ කරුණු සමුදායකට පමණි යන්නය.

‘පූර්ව ධනේශ්වර සමාජය තුළ ඇති වුන කාර්මික දියුණුව සහ ධනවාදයේ නැග ඒමත් සමඟ ආදරයේ රෝග කාරක ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. ආදරය නමැති රෝගය පාලනය කර ධනවාදී වෙළඳ සබඳතා වර්ධනය කිරීම තමයි පූර්ව ධනේශ්වර ක්‍රමය විසින් මානව ශිෂ්ඨාචාරයට කරපු විශාලම සේවය. පශ්චාත් ධනවාදී සමාජය ඒ කියන්නෙ මේ අපි ජීවත් වෙන සමාජය මේ රෝගයෙන් සියයට අනූවක්ම පාලනය කරල ඉවරයි.‘(පිටුව-35)

ඉතිං, සම්බන්ධතා සංකීර්ණයකට මැදි වී ඇති පශ්චාත් ධනවාදී මිනිසා(මෙම වියමන තුළ නම් කථකයා) මෙවැනි සිදුවීමක් , එනම් කෙටි හමුවීමක් තුළින් ඇති වෙන සම්බන්ධතාවයක් හඳුන්වනුයේ එය කේත ගත කිරීමෙනි. එනම් ඔපරේෂන් එම්.සී.37 යනුවෙනි. ඉතිං, බලන්න අර්ථ දැක්වීම් අහෝසි වී ගොස් ඇති ආකාරය.

අදින ලද සුදු පැහැ ඉරි සටහන්

පශ්චාත් ධනවාදී මිනිසා සම්බන්ධතා සංකීර්ණයකට පමණක් නොව ඒ හරහා ලිංගික සම්බන්ධතා ජාලයකටත් හසු වෙන බව පෙන්වීමට කතුවරයා මෙහිදී මනා රූපිකයක්(Metaphor) ඉදිරිපත් කොට ඇත. එනම් සිහිනයක් මඟින් සක්දා(වියමනෙහි එන චරිතය) පොළොං පැටව් කන ආකාරය දැකීමයි. පොළඟා යනු ‘පැන පැන කන‘ සර්පයෙකු වශයෙන් අපගේ ජන ව්‍යවහාරයේ කියමනක් තිබේ. මෙහිදී පොළොං පැටව් අහුරු පිටින් සිහිනයෙන් කන සක්දා එයින් නිරූපණය කරනුයේ ඔහුගේ ලිංගික සම්බන්ධතා සංකීර්ණයයි.

ෆ්‍රොයිඩ් සිහින අවිඥානයේ දොරටුවක් වශයෙන් හදුනා ගත් අතර , සිහින යනු අපේක්ෂා පූරණය වීමක් යැයි ඔහු පවසා ඇත. කාල් යුං සිහින විසින් විඥානය සහ අවිඥානය අතර සමෝධානයක් ඇති කරන බව පැවසුවේය. ඔහු සිහින හා සංකේත අතර පවතින ගුප්ත සම්බන්ධය විග්‍රහ කිරීමට උත්සාහ ගත්තේය. ඉහත අප විසින් සදහන් කරන ලද සක්දා ගේ සිහිනයෙහි අර්ථ ගැන්විම වඩාත් පර්යාය වනුයේ යුංගේ මතයටය.

මේ අතරම සක්දා යනු තම පළමු ප්‍රේමයේ බිඳ වැටීමෙන් පෙළීමට පාත්‍ර වී ඇති අයෙකි. නමුත් එම පෙළීමට පෙරළා ඔහුගේ පෙම්වතිය ගොදුරු වී නොමැත. මෙම වියමනෙහි ඉතා සුන්දර පැදි පෙළක්ද වරින් වර කියවා රස විඳිය හැකි කියවිමක් ද තිබේ. එම කියවීම මෙසේය.

“ආලය අර්ථ විරහිත වූවක් යැයි සිතුන තැන ජීවිතය මහා බොරුවක් යැයි සිතෙන්න ගන්නා බව ඔහු දැන නොසිටියේය. ඔහුට ප්‍රහේළිකාවක් වූයේ ආලය සහ ජීවිතය මහා බොරුවක් බව දැන දැනම මිනිසුන් ජීවිත ගත කරන ආකාරය ගැනය.“(පිටුව-41)

අකාල අවතාර

ලියෝතාද් පවසන පරිදි පශ්චාත් නූතනවාදයට අඩිතාලම වැටුනේ හිට්ලර් විසින් සිදු කරන ලද මහා සංහාරය මතිනි. මෙහිදී හිට්ලර් යනු හුදු නාමකරණයක් පමණක් වන අතර සංහාරය යනු විශේෂණයක් ලෙස ගත හැකි බව මගේ පුද්ගලික මතයයි. මෙම වියමනෙහි එන මහාචාර්යවරයාද ලියෝතාද් ගේ මතය සමඟ එකඟ වන්නෙක් බව ඔහු පවසන දේවල් වලින් අපට අනුමාන කළ හැක. බලන්න පහත උපුටනය දෙස.

“කිසිම තෙතමනක් නැති සමාජෙක දරුවො හදනවට වඩා තනිකඩව ඉදල මැරිල යන එක හොඳයි කියලා මම හිතුවා. සාහිත්‍යය පටන් ගන්නෙ ඔන්න ඕ වගේ තැන් වලින්. දැන් බලන්න, දෙවන ලෝක යුද්දෙදි මුළු යුරෝපයම අළු දූලි වුණා. යුරෝපයේ හිටපු මිනිස්සු හිතන්න ගත්ත මේ සිද්ද වුණේ මොකක්ද- මේ තරම් විනාශයක් සිද්ද වුණේ මොනව ආරක්ෂා කරන්න ගිහින්ද - මිනිස් පැවැත්ම කියන්නෙ මොකක්ද? එහෙම හිතලා ඒගොල්ලො එතෙක් ලෝකයේ බිහි වෙලා තිබුණ දර්ශනවාද - විද්‍යාත්මක ක්‍රමවේද ප්‍රශ්න කරන්න ගත්ත. එහෙම තමයි සාංදෘශ්ටිකවාදය වගේ දාර්ශනික මතවාද - සාහිත්‍යය ක්‍රමවේද පහළ වුණේ. සාහිත්‍යයයේ නිරූපණය වෙන්නෙ සමකාලීන මිනිස් විඥාණය. ඒත් අපේ රටේ සිද්ද නොවෙන්නෙත් ඒ දේ.(පිටුව- 48)

මහාචාර්යවරයාගේ ආඛ්‍යානගත කිරීම හා සංජුගේ සම්බන්ධතා සංකීර්ණය අපගේ ප්‍රවේශයෙහි සඳහන් වූ සම්බන්ධතා ජාලගතවීම හා සමාන්තරව වියමන තුළින් ගලා ගෙන යනු ලබයි. සැබැවින්ම මෙම වියමන විශ්ව විද්‍යාල ජීවිතයේදී ඇති වෙනු ලබන සුන්දර ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් ලියවුණ ඉතා රසවත් ආඛ්‍යානයකි. තනිකඩව සිටින සුජීව සර් අසලට සංජු(කථකයා) වියමන අවසානයේදී හැල්මේ දුව යෑම සුජීව සර් සහ ඔහුගේ න්‍යායික මතවාද සමඟ පර්යාය වීම රූපිකාර්ථවත්ව දැක්වීමකි.

දිව්‍යමය ප්‍රේමය

මෙම ලිපිය මේ වන විටත් දීර්ඝව ඇති බැවින් මෙතැන් සිට සාරාංශගත කිරීමෙන් වියමන කියවීම ඔබට පහසුවක් වේ යැයි සිතමි. දිව්‍යමය ප්‍රේමය යන වියමන සකූ නම් තරුණියකගේ ෆැන්ටසි ප්‍රේමය සම්බන්ධ දිග හැරුමකි. නමුත් ඇගේ ෆැන්ටසිය කිසිදා යථාර්ථයක් නොවන බව පසක් වන අතර ඒ වෙනුවට ඈ විවිධාකාර වූ පුරුෂයන්ගේ අතවරයන්ට බඳුන් වේ. මෙම අතවරයන් අතරදී පවා ඈ සිතන්නේ ඇගේ බර්මියුඩා ෆැන්ටසි ප්‍රේමය තමා ස්පර්ශ කරන බවයි. නමුත් තත්වය එසේ නොවන බව පසක් වන විට ඈ ශෝකයට හා පළායෑමට ගොදුරු වන්නීය. බර්මියුඩා ත්‍රිකෝණය සහ සකූ ගේ ප්‍රේමය ද ඈ බඳුන් වන අතවර ලැයිස්තුව හරහා ස්ත්‍රියකගේ ඉරණම රූපිකාර්ථවත්ව දැක්වීමට කතුවරයා මෙහිදී උත්සාහ කොට ඇත.

පෝලියෝ කකුල

බුදුන් වහන්සේ සූත්‍ර පිටකයේ එක්තරා සූත්‍රයකදී දේශනා කළේ, ලොව පවතින සියලු දාර්ශනික ප්‍රශ්නවලට හේතුව භාෂාව බවයි. එබැවින් මෙම වියමනෙහි එන පහත උපුටනය සමඟ එකඟ වීමට අපට නොහැකිය.

“විමුක්තිය ලද හැකි යැයි බුදුන් වහන්සේ පට්ටපල් බොරු දේශනා කළ සේක (භාෂාව ද බැඳීමකි)“ (පිටුව-59)

පෝලියෝ රෝගියෙකු වන අමරබන්දු ආර්ථිකවිද්‍යා විශේෂවේදී උපාධිධරයෙකි. නමුත් ඔහු රැකියා විරහිත උපාධිධරයෙකි. එමෙන්ම විවාහක දෙදරු පියෙකි. ඔහුගේ දරු දෙදෙනාද පෝලියෝ රෝගයෙන් පීඩා විඳින්නෝය. අමරබන්දු ජීවිතක්ෂයට පත් වන්නේ‍, බලහත්කාරයෙන් හුස්ම ගැනීම නතර කිරීමෙනි. එය 71 කැරැල්ල සමඟ සමපාත කිරීමට කතුවරයා තැත්කොට තිබේ. එමෙන්ම අමරබන්දුගේ රැකියාව සම්බන්ධ ෆැක්ස් පණිවිඩය සන්නිවේදනය වනුයේ ඔහුගේ මරණයෙන් පසුවය. මෙය තාක්ෂණික ධනවාදය හේතුවෙන් මානූෂීයභාවය යන්ත්‍ර සූත්‍රවලට විතැන් වීම සාහිත්‍යයිකව නිරූපණය කිරීමකි.

අලි මුඩුක්කුව

අලි මුඩුක්කුව යන වියමන දිග හැරෙනුයේ බේබි මහත්තයා නම් සමාජයේ වැදගත් භූමිකාවක් දරණ පුද්ගලයෙකුගේ ලිංගිකාශාවට එහා ගිය ගණිකාවක් සම්බන්ධයෙන් පවතින ප්‍රේම වෘත්තාන්තයක් ලෙසිනි. සුචරිතවාදී මහත්වරුන්ගේ පහත් ලිංගිකාලයන් ගණිකාවන් ඉදිරියේ රෝමෑන්තික අයුරින් විවෘත වන ආකාරය දැක්වීමට කතුවරයා මෙහිදී උත්සාහකොට ඇත‍.

සංසිදීමක්

මෙම වියමන අපගේ ප්‍රවේශයේදී කථිකාවට බදුන් වූ පෙළීමට හේතුවන බීජයන් මුලිනුපුටා දැමීමක් වශයෙන් කියවිය හැකි බව අපේ හැඟීමයි. එනම් සම්බන්ධතා ජාලය සහමුලින්ම අඩපණ කරනු ලැබීමෙන් සංසිදීමට පාත්‍ර වීමයි. සහන්ගේ මුවින් පිට වන පහත දෙබස් කණ්ඩය එය අස්තිත්වය කරනු ලැබේ.

“බෙදීම් හදාගත්තොත් තමයි බං මේ හැමදේකම අසම්පූර්ණත්වයක් අපට පෙනෙන්නෙ. මේ හැමදේකම මම නම් දකින්නේ ශූන්‍යයත්වයක් විතරයි. “

ඉතිං, පෙළීමේ හේතුව වන බැඳීම් අහෝසි කිරීමෙන් බුදුන්වහන්සේ දේශනා කළ පරිද්දෙන්ම දුක නැති කළ නොහැකිද යන්න සිතීමට කතුවරයා මේ වියමන හරහා අපව පොළඹවනු ලබයි. නමුත් ලෝ ප්‍රකට කවියෙකු වන ඛලීල් ජිබ්රාන් ඔහුගේ ‘ලී ප්‍රොපෙට්‘ නම් සුප්‍රකට ග්‍රන්ථය හරහා ලොවට පැවසූ කියමනකින් මෙම ලිපිය අවසන් කිරීමට මම රුචි කරන්නෙමි.

“සැබැවින්ම සම්බන්ධතාවයක ගැඹුර, විප්‍රයෝගයේ මොහොත උදා වන තුරු ඔබට නොවැටහේ“

- බාසුරු ජයවර්ධන | basurujayawardana@gmail.com