අරුමැසිම කවිවල අරුමය - Lanka News Web (LNW)

අරුමැසිම කවිවල අරුමය

දහ අටවන සියවසෙහි අග භාගයේ පටන් අද දක්වාම කලාව,සාහිත්‍යය, දර්ශනය තුළ පමණක් නොව දේශපාලනය තුළ පවා ඉතා පුළුල් අර්ථයකින් අද්භූත සම්ප්‍රදායී(Romantic) ව්‍යාපාරය හෙවත් රොමෑන්ටික්වාදයේ ආවේණික ලක්ෂණයක් වන්නා වූ හැඟීම බහුල වීමේ බලපෑම දක්නට ලැබේ. මෙය සක්‍රීය අන්දමින් හෝ නිෂ්ක්‍රීය අන්දමින් ඉහත සඳහන් කළ සියලු දේවල් වල බලපෑමට හසුව ඇත. ෂාන් ෂාක් රූසෝ (1712-1778) ගේ මාර්ගයෙන් එය මුල සිටම දේශපාලනය හා සමඟ සම්බන්ධ විය. මෙය පසුව දර්ශනය සමඟ සම්බන්ධ වූ අතර ආරම්භයේදී එය දර්ශනය සමඟ සම්බන්ධ නොවීය. මෙය ප්‍රධාන ස්වරූපයෙන් ගත් කළ පිළිගත් ආචාර ධර්මානුකූල හා රසික සම්මුතිවලට විරුද්ධව නැගී සිටීමක් වශයෙන් සළකා බැලිය හැක. මෙම සම්ප්‍රදායේ ප්‍රභවයට ස්විස් ජාතික රූසෝ මුල් වුවද එය මුලදී ප්‍රධාන වශයෙන් ජර්මන් විය. ජර්මන් රොමෑන්ටික්වාදීන් කෝල්රිජ් හා ෂෙලී වෙත බලපෑ අතර ප්‍රංශයෙහි දුබල ස්වරූපයකින් යුතුව වුවද රාජත්වය යළි පිහිටුවීමෙන් පසුව වික්ටර් හ්‍යුගෝ දක්වා පැතිර ගිය අතර ඇමෙරිකාවේදී සම්පූර්ණයෙන්ම ශුද්ධ වශයෙන් මෙල්විල්,තෝරෝ හා බෘක් ෆාම් තුළ දක්නට ලැබී ඉමර්සන් හා හෝතෝන් තුළ මඳක් අඩු වශයෙන් දක්නට ලැබුණේය.

ඉතිං, මෙම ලිපිය රොමෑන්ටික්වාදය පිළිබඳ අටුවාවක් ආඛ්‍යානගත කිරීමක් නම් නොවේ. සැබැවින්ම අප මෙම ප්‍රවේශය ගනු ලැබුවේ ජයසිරි අලවත්තයන් විසින් රචනා කරන ලද ‘අරුමැසිම කවි‘ නම් වූ කාව්‍යය කෘතිය පිළිබඳව ගුණාත්මක කියවීමක් සමාජගත කරලීමටය. අරුමැසි යන සිංහල වදනට පර්යාය ඉංග්‍රීසි වදන වනුයේ Romantic ය. අලවත්තයන් මෙම කෘතියට ‘අරුමැසිම කවි‘ යන නාමකරණය දී ඇති බැවින් අප එය කියවාගනු ලබන්නේ රොමෑන්ටික්වාදී සන්කලපනා තුළිනි. රොමෑන්ටික් යන වදන කියවීමෙන් එක් වරම කෙනෙකුට පහළ වන සිතුවිල්ල වනුයේ අනුරාගී ප්‍රේමයයි. නමුත් එය ප්‍රේමය පිළිබඳව පමණක් නොව සංවේද්‍යතාවය පිළිබඳව ද කියවෙන දෙයකි. නමුත් රොමෑන්ටික් යන වදන සම්බන්ධයෙන් කෙනෙකු තුළ බහුල වශයෙන් පහළ වන සිතුවිල්ල වනුයේ අනුරාගී ප්‍රේමයයි. අලවත්තයන් පවා මෙම කෘතිය තුළදී බහුල වශයෙන් එය යොදාගෙන තිබෙනුයේ ප්‍රේමය පිළිබඳ සඳහනකිනි. නමුත් කෘතියේ කවි කීපයක් එයින් ඔබ්බට ගොස් හැඟීම බහුල වීම හා සංවේද්‍යතාවය පිළිබඳ කථිකාවන් නිර්මාණය කිරීමට ද සමත් වන්නේය.

මෙම කෘතිය අලවත්තයන් විසින් රචනා කරන ලද්දේ අජිත් තිලකසේන විසින් හඳුන්වා දෙන ලද රූපාකාරය හා ශබ්දාකාරය සමපාත විය යුතුය යන අක්ෂර ආඛ්‍යානගත කිරීමට අනුව වන අතර මෙම ලිපිය ලියනු ලබන අපගේ පහසුව පිණිස එම ක්‍රමය යොදා නොගන්නා අතර අලවත්තයන්ගේ භාවිතාව පිළිබඳව විරුද්ධත්වයක් අපට නොමැත. එමෙන්ම කෘතියෙන් උපුටා ගනු ලබන කොටස් ද සම්මත අක්ෂර භාවිතාව අනුවම ලියනු ලැබේ. දැන්, කෘතියෙහි එන කවි කීපයක් දෙසට අපි පිය නගමු.

කෘතිය ආරම්භ වනුයේ, ‘ස්නායු වඩ්ඪකෝ‘ නම් වූ කවියෙනි. මෙම කවියෙන් කියවෙනු ලබන්නේ ‘කියවීම‘ යනු දැනුම සොයා යෑමට හැකි වටිනාම මාවත බවයි. නමුත් මොළයෙන් වැඩක් නොගන්නා මිනිසුන්ට පොතක් අතට දුන්න ද ඔවුන් එය කියවන්නේ නැත. එය ආභරණයක් විලාසිතාවට පළදින්නාක් මෙන් වූ විට, එනම් මෙහි උත්ප්‍රාසය; කියවීම කාලීනව කෙනෙකුට ආසක්තවන අයුරෙන් ලියන්නන් එය ලියූ විට කෙනෙකු කියවීමට නැඹුරුවක් ඇති විය හැකි බවයි. කවියෙහි උපුටනය දැක්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව යමක් කීම සුදුසු යැයි සිතමි.

ස්නායු ගැංගිලියාව
ඈලියාවට ගිය වුන්ට
දෙන්නේ කොහොම එය
පිහිටි තැන
සවි කළ ද පුස්තක
ඵලක් නැත ඇතිවන

කියා දෙන්ට හැකි නම් උන්ට
ඉගෙනීමට ඇති
රාජකීය මග
කීයවීම පමණක් ම බව

සපුරාලන්න නම් එය
අවැසිය අපිට
දිදාලය පලඳින්නා සදිසි
ලියන්නෝ...
ඒ මන්දැයි නැගේ පැනයක්...?
නැත කිසිඳු පැනයක්
ඒ, ලියන්නා ද
හඳුනන බැවිනි විලාසිතාව
(පිටුව-15)

සැබැවින්ම අපගේ ප්‍රවේශයෙහි සඳහන් වන රොමෑන්ටික්වාදී සම්ප්‍රදාය තුළ මෙ කව තැබිය හැකි සේම තැබිය නො හැකි ද වේ. තැබිය හැක්කේ, එය කියවීම නිශේධාත්මක වූ සමාජය පිළිබඳව හැඟීමක් කවියා සතුවන බැවිනි. එමෙන්ම රොමෑන්ටික්වාදී ව්‍යාපාරය තුළ විචක්ෂණ භාවය (Prudence)පරම සද්ගුණය වශයෙන් සළකන ලද අතර විප්ලවකාරී උන්මත්තකයින්ට විරුද්ධ ඉතාම ප්‍රබල ආයුධය වශයෙන් බුද්ධිය අගය කොට සැළකීය. නමුත් මෙය එවැනි වියුක්ත පසුබිමක නො පිහිටවා අලවත්තයන් එයට විසඳුමක් සංයුක්ත කරන බැවින් එය රොමෑන්ටික්වාදී සම්ප්‍රදාය තුළ තැබිය නො හැක. මක් නිසාද රොමෑන්ටික්වාදය තුළ පවතින තත්වයන් වියුක්තව ගෙන හඟින අතර පොදුවේ එයට සංයුක්ත පිළිතුරක් සෙවීමට රොමෑන්ටික්වාදීන් නොපෙළඹන බැවිනි. එම නිසා මෙය යම් ආකාරයක පරස්පරවිරෝධීභාවයක් නිර්මාණය කරනු ලබයි. නමුත් එය සවිඤ්ඤාණිකව අලවත්තයන් අතින් සිදු වූවක් බව නොපෙනෙන අතර එය වඩාත්ම පර්යාය වනුයේ ලියමන එහි අවසානය කරා පැමිණේ යන ලැකානියානු කියවීමටය.

දැන්, ‘අපි සතුරා කවුද?’ යන කව කියවා ගැනීමට උත්සාහ ගනිමු. බලන්න පහත උපුටනය

අභිමුඛ වූයේද
සැබෑ සතුරා
ශාන්තුවරයෝද
පහර දෙති
ඔවුන්ට

නිරයට ගියේ දෙව්දත්
එය පසක් කරමිනි.

මෙ කව සම්මත රසික හැඟීමෙන් නො ගැනීමෙන් එය රොමෑන්ටික්වාදී යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අටුවාවෙහි සඳහන් වන්නේ දෙව්දත් පසු කාලයකදී පසේ බුදු පදවියක් ලබන බවයි. යහපත සහ නපුර යනු එකම කාසියක දෙපැත්ත වැනි දයලෙක්තිකමය යමකි. අනිත් අතට නීට්ෂේ ෂාරතුස්ත්‍රා නොමළ වගයි හි දී ප්‍රකාශ කරනුයේ ‘අපායට මුල් අදින ගස් ස්වර්ගය කරා දළු ලන බවයි.’ ලෝකය අහුර මස්දා විසින් මෙහෙයවන ලද යහපත සම්බන්ධයෙන් වූ සේනාව ද අඃරිමාන් විසින් මෙහෙයවන ලද නරක පිළිබඳ සේනාව ද යන විශාල සේනා ද්විත්වයක රණබිම හැටියට සැළකූ ද්වෛතවාදයක් පර්සියාවෙහි තිබුණේය. භූත ලෝකයෙහි අඃරිමාන් හා ඔහුගේ අනුගාමිකයන්ගේ ආධාරය ඇතිව අණ විණ හූනියම් කරන ලද බව කිය වේ. සාතන් වූ කලී අඃරිමාන් ගේම විකාසනයකි. දෙව්දත් ගේ ඉරණම මෙහිදී කවියා දකින්නේ සම්මතවාදී නොවන අයුරිනි. එම සම්මතවාදී නොවීම එය රොමෑන්ටික් හෙවත් අරුමැසි කවියක් බවට පත් වීම නොවැළැක්විය හැකි කරුණකි.

ග්‍රීක දර්ශන විචාරක එඩුවඩ් සෙලර් පවසන පරිදි ග්‍රීක සභ්‍යත්වයට සුවිශේෂී වශයෙන් හා බටහිර සභ්‍යත්වයට සාමාන්‍යය වශයෙනුත් මහත් සේ බල පෑ දාර්ශනිකයන් අතළොස්සෙන් එක් අයෙකු වන හෙරක්ලයිටස් (ක්‍රි.පූ.535-ක්‍රි.පූ.475) ඔහුගේ ලෝ පතල කියුමකට එසේත් නැතිනම් ආප්තයකට තම සමස්ථ දර්ශනයම කැටි කළේය. එම ආප්තය නම්, ‘එකම ගඟට දෙවරක් බැසිය නො හැකිය’ (You can't step twice into the same river) යන්නයි. මුළු මහත් විශ්වයටම පොදු ධර්මතාවයක් පිළිබඳව කියවෙන මෙම කියමනෙහි අර්ථය සරලව ගතහොත්, සියල්ල වෙනස්වන සුළු යන්න වේ. එනම් සියල්ල සනාතන ප්‍රවාහයක් යන්න බවයි(All things are in flux). නමුත් මිනිසෙකු ප්‍රේමය තුළදී බලාපොරොත්තු වන්නේ, වෙනස් නොවන ප්‍රේමයකි. එය සදාතනික විය යුතුය යනු ප්‍රේමයේ මූලික අඩිතාලමකි. පෙම්වතා හෝ පෙමිවතිය අනෙකාගේ වෙනස් වීමට රිසි නොවේ. නමුත් සම්බන්ධතාවයක් පටන්ගෙන ටික කලක් ගතව ගිය පසු මෙම මූලික කරුණ වෙනස්වන අවස්ථා අනන්තවත් අපට සොයා ගත හැක. ඒ සම්බන්ධයෙන් ලිය වුණ කවක් වශයෙන් ‘රැවටීම’ නම් වූ කව ගත හැක. බලන්න පහත උපුටනය දෙස‍.

දැන සිටියේ නම් මා
බැසිය නො හැකි බව
දෙවරක් එක ම ගඟකට
සත්තමයි...!
නොගිලෙමි මම
එක ම එක වරක්වත්
ඔය ගං කොමලිය තුළ
(පිටුව- 21)

නීට්ෂේ දෙවියන්වහන්සේ මළ බවට මරණ සහතිකයක් නිකුත් කිරීම නිසා ඔහුට විරුද්ධව තිබූ අධිචෝදනා පත්‍රයට තවත් චෝදනාවක් එක් කරගත්තේය. දෙවියන්වහන්සේ මරණයට පත් වී ඇති නිසා මිනිසා යනු සර්වාධිකාරී බලයකින් හෙබි අයෙකු බවට පත් වේ. ඔහු දෙවියන් හා ඒකාත්මික වීම වෙනුවට තමන් දෙවියන්වහන්සේ බවම හඟියි. මෙය අරාජකවාදී විප්ලකාරයෙකුගේ ලක්ෂණයකි.‘ රූපයට(Matter) හා අපගේ අසල්වාසීන්ට අප යටත් බව නියෝජනය කරන්නා වූ සත්‍යය හා සෞන්දර්ය , දෙවියන්වහන්සේ බවට පත් වූ මිනිසා ඉදිරියෙහි තවඳුරටත් නො පවතියි, සෙස්සන් ඉදිරියෙහි , සත්‍යය යනු ඔහු ඉදිරිපත් කරන දෙයක් වේ, යුතුකම ඔහු අණකරණ දෙයක් වේ.‘(බ්‍ර‘ට්‍රන්ඩ් රසල්)

යම් ආකාරයකින් මිනිසාම දෙවියන් බවට පත් වන්නේ නම්(දෙවියන් හා ඒකාත්මිකවීම වෙනුවට), එහිම දයලෙක්තිකය තුළින් ඔහු යක්ෂයා බවට ද පත් වේ. අලවත්තයන්ගේ කාව්‍යය චින්තාවලිය මෙය පාඨකයා අභිමුවට ගෙනෙන්නේ ‘ජේසුගෙන් පණිඩිඩයක්‘ නම් වූ පැදි පෙළ හරහාය. මෙය හෙරොද් රජු ජේසුස්වහන්සේ රජකම ලබා ගත හැකි අයෙකු යැයි අනාවැකි පහළ වූ බැවින් බෙත්ලෙහෙම හා ඒ අවට ප්‍රදේශයේ ජීවත් වූ ළමුන් මරා දැමීම අන්තර්ගතය කොටගත් පැදි පෙළකි. බලන්න පහත උපුටනය.

‘අවසන දෙවියන් ද
එරෙහි විය මට
පසක් වූවේ කුමක් ද එයින්
නැති බව නොවේද
ලොව කිසිදු දෙවියකු

ඉඳින් සබඳ ලොව සිටින
එකම දෙවියා ද
එකම යක්ෂයා ද
වෙනෙකෙකු නොව
මිනිසා ම ය

මිනිසා බිය විය යුත්තේ ද
ඒ ‘‘මිනිසාට’’ ය
ප්‍රවේශම් විය යුත්තේ ද
ඒ “මිනිසාගෙන්’’ ම ය (පිටුව-35,36)

“මගෙ ‘රන් මැණික’ , ‘බිඳුන මී පටලය’ යන පැදි ද්විත්වය අහිමි වීම(තමන්ට හිමි විය යුතු දෑ තමා සතු කරගැනීමට ඇති නො හැකියාව) සම්බන්ධයෙන් දිග හැරෙන මනරම් පැදි ද්විත්වයකි. “මගෙ ‘රන්’ මැණික’’ යන පැදි පෙළ හරහා අස්තිත්වය කරනුයේ, මාගම්පුරයේ සිට රත්නපුරයට යන මිනිසෙකු පතලක සේවය කරමින් මැණික් සෙවීම සම්බන්ධයෙන් හා ඔහුගේ පෙම්වතිය පිළිබඳ ස්මෘතියයි. පතලේ සේවය කරන ඔහු අගනා මැණික් ඉල්ලම තුළදී සොයා ගත්ත ද පතල් හිමිකරුගෙන් ඔහුට ඒ මැණික තමා සතු කරගැනීමට ඉඩක් නොලැබේ. එනම් ඒ මැණික් සොයා ගැනීමට ඔහු තම ශ්‍රමය යෙදවූවද මැණිකට හිමි මූල්‍යමය වටිනාකම ලබා ගන්නේ පතල් හිමිකරුවාය. නමුත් මේ සියලු මැණික් වලට වඩා ඔහුට ඔහුගේ ප්‍රේමය වටියි. ඔහුගේ ප්‍රේමයට කෙතෙක් බාධාවල් පැමිණිය ද, ඇය වටා නොයෙක් රැකවල් ඇගේ දෙමාපියන් හා නෑදෑයන් යෙදවූවද ඇගේ සිත වටා රැකවල් යෙදීමට, එනම් ඔහු පිළිබඳ ස්මෘතිය ඈ තුළින් අතු ගා දැමීමට ඒ කිසිවක් සමත් නොවන බව කවියා කවි බසින් පවසයි. බලන්න පහත උපුටනය දෙස.

“කොපමණ රැකවල් යෙදුව ද ‘රන්’ මැණිකේ වට
‘රන්’ මැණිකගෙ හිත වට කරනට කිසිවකු නැත
එ ‘රන්’ මැණික විහිදාලන ‘රන්’ ආලෝකය
සදාකල් ම මගෙ ලෝකය එළිය කරනු ඇත (පිටුව-40)

“බිඳුණ මී පටලය’’ නම් කාව්‍යය හරහා කියවෙනුයේද මී වදය බඳින මී මැස්සාට එහි හිමිකම නොලැබී එම වදයේ මී පැණි මිනිසා තමා සතු කරගැනීම සම්බන්ධවයි. ඉතිරි වී ඇති එක මී මැස්සෙකු නැවත මී පටලය සාදයි. නමුත් යළිත් සිදු වන්නේ ද පෙර සිදු වූ පරිද්දෙන්ම මිනිසා එම පැණි තම පරිභෝජනයට ලබා ගැනීමයි. මෙය එක් අතකින් අද්භූත සම්ප්‍රදායේ උපයෝගීතා මිනුම් වෙනුවට රසික මිනුම් ‍භාවිතාවට ගැනීමක් වශයෙන් ද අපට කියවා ගත හැක. (මිය නොගිය මෙරුවා නම් පද්‍යය ද එවැනිම භාවිතාවක් වේ.)

“ඒත් මේ අසාපන් මිතුරේ
නැසුණ මී මැසියො අතරේ
ඉතිරි එක ම එක මී මැසි
යළිදු එක් කරයි මී බිදු

දැන් කැඩී බිදී ගොස් ඇති
මෙ‘මී පටලය ද මතු දින
යළිත් පුරවමින් මල් පැණි
නිමා කරන්නෙමි පෙර ලෙස’’ (පිටුව-42)

හමාර කීම

මෑතක පළ වූ කවි පොත් හා සසඳා බලන කල අලවත්තයන්ගේ මෙම කවි පොත රචනා වී තිබෙන කවි බස සැබැවින්ම මනරම් ය. කුකවියන් ටොන් ගණන් මුහුණු පොත හරහා බිහි වී ඇති බැවින්, සැබැවින්ම අද්‍යයතන කවිය දියාරු වී තිබේ. මක් නිසාද යත් ප්‍රකාශන අයිතිය සැමට එක සේ හිමි වීම නිසා භාෂාව හා කාව්‍යය රීතීන් නො දන්නා බොහෝ දෙනෙකු අද පට්ට කවියන් වී ඇති බැවිනි. ඔවුන් කවියේ එළි සමය, ලඝු ගණ පිහිටුවීම වැනි දේ සම්බන්ධයෙන් නො දැනුවත්ය. එමෙන්ම පැරණි කවි බස අදට ගැළපෙන සේ යොදා ගැනීමට බොහෝ කවියන් මැලි කමක් දක්වන බවක් පෙනේ. එවැනි සන්දර්භයක් තුළ අලවත්තයන්ගේ අරුමැසිම කවි අඩංගුව සැබැවින්ම කවි යැයි කියා හැඳින්විය හැකි කවි සංගෘහිතයකි. නමුත් වස්තු විෂයේ පටු බව සම්බන්ධයෙන් අපට විරුද්ධත්වයක් නැතිවාම නොවේ. බොහෝ කවි ප්‍රේමය හා විරහව සම්බන්ධයෙන් පමණක් ලියවී ඇති අතර එය සමකාලීන සමාජ විඤ්ඤාණය හා සමකාලීන සමාජ විඤ්ඤාණයේ අවිඤ්ඤාණය ද සමකාලීන සමාජ යථාර්ථයේ ෆැන්ටසිමය අවකාශය ද මගහැර ඇති බව අපේ හැඟීමයි. කෙසේ වුවද ඉදිරි නිර්මාණයකදී අලවත්තයන් එම සීමා රේඛාවන් කණ්ඩණය කරනු ඇති යැයි අපි සිතන්නෙමු. ඉතිං, ප්‍රේමය සම්බන්ධයෙන් (වැඩි වශයෙන්ම ප්‍රේමය සම්බන්ධයෙන් වූ) වූ මෙම කවි සංගෘහිතය ගැන අපේ කියවීම මෙසේ හමාර කළ යුතු යැයි කියා අපි සිතුවෙමු.

“ඔබ සැබෑ ලෙසම ප්‍රේමයෙන් බැදෙන විට ලොව පවතින සියල්ල චමත්කාරජනක වනු ඇත!!!’’

බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ජනවාරි 10, 2019

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන්...