සාහිත්‍ය පරිශීලනය මගෙන් ඈත් වුණොත් මම පවතින එකක් නැහැ - ගීත්මා මදනායක

සාහිත්‍ය පරිශීලනය මගෙන් ඈත් වුණොත් මම පවතින එකක් නැහැ - ගීත්මා මදනායක

27 March 2019 09:05 am

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියකු වන ගීත්මා මදනායක තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමට සුදානමින් ය.ඇයගේ "සිකුරාදා හැන්දෑව" වෙනුවෙන් මේ ඉඩ...

 

#කවියට විවධ ආකාරයේ නිර්වචන අපි දැකල,කියවල තියනවා .ඔබට අනුව කවිය නිර්වචනය කරොත්?

කවිය නිදහස් මාධ්‍යයක්. කවියට සම්භාව්‍ය අර්ථකතන වගේම අතිශය පෞද්ගලික පුද්ගලානුබද්ධ අර්ථ දැක්වීමුත් තිබෙනවා. මට තියෙන්නෙත් අන්න ඒ වගේ අර්ථ දැක්වීමක්. මට අනුව කවි කියලා කියන්නේ හැඟීම්. හැඟීම් රහට ලියන එක කවි. තමන්ට දැනෙන හැඟීම් වචන බවට පත් කර පිට කර හැරීම එක්තරා ආකාරයක සැහැල්ලුවක්.

#සිනමාවයි ටෙලිවිෂනයයි ගැන ඉගනගන්න ගමන් ඇයි කවි ලියන්න හිතුනේ?

විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යයන පථය වන්නේ සිනමා හා රූපවාහිනි අධ්‍යයනය. කවි ලියන්න පටන් ගත්තේ පාසල් කාලයේ පටන්. විජය මිහිර පත්තර අම්මා ගෙනත් දෙනවා ඒ කාලයේ. මං හරි අප්‍රකට කවි ලියන්නියක්. මගේ ඩයරිය, නෝට් බුක්වලට පමණයි මගේ කවි සීමා වෙන්නෙ. කුඩා කාලයේ මං කැමති වුණේ නෑ මං ලියන කවි කවුරුවත් කියවනට. ඉතින් එහෙම හැකියාවක් තිබෙන බවවත් පවුලේ අයවත් දන්නෙ නෑ. ඉතින් විශ්වවිද්‍යාලයේ මගේ ලියැවිලි රචනා කවි දකින යෙහෙලියන් විශේෂයෙන් නදුනි ජයසූරියගේ බල කිරීම මත මං හොරෙන් හොරෙන් ලිව්ව කවි මේ විදියට දිග හැරෙන්නේ.

 

# "Handsfree" සහ "The missing Part" මේ ඔබේ තිර රචනයෙන් නිමාව දුටු කෙටි චිත්‍රපට. මේ ගැනත් යමක් සදහන් කරොත්?

ඔව්, මම දැනට කෙටි චිත්‍රපට දෙකක් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කර තිබෙනවා. මගේ පළමු කෙටි චිත්‍රපටය වුණේ Handsfree කියන කෙටි චිත්‍රපටය. එහි මා කතා කරනවා විශ්වවිද්‍යාලයේ පළමු වසර ඉගෙන ගන්නා කාන්තා විද්‍යාර්ථින් කොතරම් බාධකවලට මුහුණ දෙනවද කියන කාරණය. එය මගේ සැබෑ අත්දැකීම් පාදක කරගෙන බිහි වූවක්.


දෙවන චිත්‍රපටය The Missing Part. එය එක්තරා සයිබර් අපරාධයක් ගැන කතා කරනවා. සමාජ් මාධ්‍ය ජාල ඔස්සේ නිරුවත් ඡයාරූප හුවමාරු වීම ,ප්‍රේමය ලෙස හඳුනාගෙන සිටින වර්තමානයකයි අප ජීවත් වෙන්නෙ. ඉතින් ඒ ගැන කතා කරන්න මට ඕන වුණා. ඒ වගේම The request නමින් මුහුණු පොත අදාල කරගෙන කෙටි චිත්‍රපටයක තිර රචනය සිදු කළා. එය නිවන්ත විදුෂධ සහ ඕෂධ දිලුම් සමග සම අධ්‍යක්ෂණය සිදු කළා. මේ සියලුම කෙටි චිත්‍රපට කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනිය උපාධිය හදාරන මගේ යහලු යෙහෙලියන්ගේ පූර්ණ සහයෝගයෙන් නිපදවූ ඒවා. වාර්තා චිත්‍රපටයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා මේ වසරේ. මේ වන විට එහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා.

#බොහෝ දක්ශ කිවිදියන් විවාහයෙන් පස්සෙ එහෙම නැත්නම් විශ්ව විද්‍යලයෙන් ඉවත් උනාම කවියට තිත තබනවා.මේ ගැන ඔබේ අදහස?

ඒක ඇතැම් විට කාලය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. අපේ රටේ ආර්ථිකය දේශපාලන සහ සමාජ පසුබිම නිරන්තරයෙන්ම අපව තල්ලු කරමින් ඉන්නේ පීඩනයකට. උපාධියක් සමඟ මහා සමාජයට පිට වෙනවා කියලා කියන්නෙම විශාල පීඩනයක්. ඇතැම් විට අප හදාරන උපාධි සෘජුවම රැකියා වෙත අපව යොමු කරන්නේ නැහැ. විශේෂයෙන් කලා උපාධි. විශ්වවිද්‍යාලවලින් ඉවත් වූ කිවිඳියන් විවාහය හො රැකියාව නිසා හො වෙනත් කාර්‍යයන් නිසා කාර්‍ය බහුළ වෙනවා ඇති. නමුත් ඉඳහිට හො කවි ලියනවා ඇති. විශ්විද්‍යාලයෙ කවි ලියන්න ලැබුණු අනුභූතින්ට වඩා වෙන්ස් අනුභූතින් මේ මොහොතේ ඔවුන්ව පෙළමින් ඉන්නවා වෙන්න පුලුවන්.

#ඔබත් විශ්ව විද්‍යාලයට සමුදීම පෙනෙන මානයේදී කවි පොතකට සුදානම් වෙනවා.විශ්වාසයිද දිගින් දිගටම සාහිත්‍ය එක්ක රැදෙයි කියල?

ඔව්. මම දැන් විශ්වවිද්‍යාලයෙන් සමු ගන්න ලඟයි. දැන් මම අවසන් වසරෙයි සිටින්නේ. දිගටම සාහිත්‍ය සමග මා රැඳි සිටිය යුතුමයි. මොකද මම මේ උපාධි ය අවසානයේ මගේ වෘත්තිය බවට පත් කර ගන්නේ තිර රචනය. සිනමා තිර රචනය තමයි මා විශේශයෙන් ඉගෙන ගන්නේ. ඉතින් සාහිත්‍යය මගෙන් ඈත් වෙන එකක් නෑ.. මගේ ප්‍රකාශකතුමිය කාංචනා ප්‍රියකාන්ත මහත්මිය කවි පොත නිකුත් කරන්නත් කලින්ම මගෙන් ඇහුවා දැන් නවකතාවක් ලියමු නේද කියලා. ඉතින් තිර රචනය ඇතුලු සාහිත්‍ය පරිශීලනය මගෙන් ඈත් වුණොත් මම පවතින එකක් නැහැ. ඒ නිසා ඈත් වෙන්නෙ නැහැ.

#රට තුල ක්‍රමයේ වෙනසක් එහෙම නැත්නම් ආකල්පමය වෙනසක් වගේ කාරණා මේ වෙද්දී සුලබව කතා බහට ලක් වෙනවා.මේ පවත්නා රටාවේ වෙනසක් වෙනුවෙන් කවිදියකගේ වගකීම ගැන යමක් සදහන් කරොත්?

සමාජ මාධ්‍ය ජාලවල ශෙයාර් වෙන පෝස්ට්වල හරි අපූරු හැඟීම්බර නිසදැස් ලියපු පොස්ට් share වෙනවා ඔබ දැකලා ඇති. ඒවා ශෙයාර් කරන බහුතරය සැබෑ ලෙසම ඒ පෝස්ට්වල ලියලා තියෙන විදිහට ජීවත්වෙන අය නෙමේ. ඒ වගේ තමයි මේ මොහොතේ ආකල්පමය වෙනසක් බලාපොරොත්තුවෙන් බහුතරයක් දෙනා නිකන් පෝස්ට්වලට පමණක් අනෙකා ගැන සිතමින් ඉන්නවා කියලා පේනවා. ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නේ අතළොස්සක් . මොනිකා රුවන්පතිරණ කිවිඳිය, කුලියට ගත් සාජ්ජය ලියූ යමුනා මාලිනි කිවිදිය වැනි අය මේ කියන ආකල්පමය වෙනස කවියෙන් ඇති කරන්න උත්සහ කළා. ඒ කවිවල තිබුන මානුෂීය ගුණය පසු කලෙක අප තුළ මානවයින් ගැන සංවේදී සිතුම් පැතුම් ඇති කරගන්න උදව් වුණා. ඒ අතින් ඒ කිවිදියන් තමා ජීවත් වූ සමාජයට වටිනා යමක් දුන්නා. අනෙකා ගැන හිතන සමාජයක් ඇති කිරීමට කිවිදියන්ගේ සක්‍රිය දායකත්වය අත්‍යවශයි.

#ස්ත්‍රීවාදය,කාන්තා අයිතීන් වැනි කතා බස් මැද්දේ 'කාන්තවන් සදහා වෙන් වුනු දුම්රිය මැදිරි'.ඔබේ මතයට අනුව මෙය කාන්තාවන් ලබා ගත්ත ජයග්‍රහණයක් ද?

ඒක තමයි කාන්තා දිනය දවසේ කාන්තාවන් ලැබූ ලොකුම පරාජය. එහෙම කෝච්චි පෙට්ටියක් දීමේ යටි පෙළින් කියවෙන්නේ මොකද්ද මේ රටේ පිරිමින් පොදු ප්‍රවාහන සේවාවල යනකොට ජැක් ගහන එක වළක්වන්න බෑ. ඒක පිරිමින්ට ඉබේටම වෙනවා, "අනේ ඒ හින්දා ඔයාලා වෙනම පෙට්ටියක යන්න, පිරිමි අයව වළක්වන්න බෑ" වගේ පණිවිඩයක් තමයි යටි පෙළෙන් කියැවෙන්නේ. පොදු ප්‍රවාහන සේවාවල මීට වඩා පහසුකම් ඇති කිරීමත් පිරිමින් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට කටයුතු කිරීමත් කළ යුතුයි. ගැහැණු පිරිමි කියලා මිනිස්සු බෙදන්න කලින් එකම ලේ ඇට මස් නහර තිබෙන මනුෂ්යයන් බව කියා දිය යුතුයි .ගැහැණියත් මනුෂ්යයෙක්. මිනිසෙක් ලෙස තවත් මිනිසෙකුට දෙන ලද ගරුත්වය මෙහිදී කාන්තාවට ලැබිය යුතුයි. හවසට කාර්යාල දුම්රිවල වැඩ නිමවී නිවසට එන කාන්තාවක් කියන්නෙම කටුක අත්දැකීම් නිරන්තරයෙන් ලබන්නියක්. නමුත් විසඳුම වෙනම කෝච්චි පෙට්ටියක් දෙන එක නෙවෙයි, අතෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරමින් ඉන්න ඇතැම් පිරිමින්ගේ චෛතසිකයන් සකස් කරන්න වැඩපිළිවෙළක් ගෙන යාම.

#මාර්තු මාසේ විසි නවවෙනි සිකුරාදා හැන්දෑව වෙනුවෙන් ඔබට මේ ඉඩ!

මාර්තු මාසයේ 29 වන සිකුරාදා මගෙ ප්‍රථම කාව්‍ය සංග්‍රහය "සිකුරාදා හැන්දෑව" නමින් ජනගත වෙනවා. එය ප්‍රේමය පසුබිම් කරගෙන ලියැවුණු වචන සමූහයක් . එය ජනගත කිරීම සිදු වන්නේ චිත්‍ර ප්‍රදර්ශනයක් හා සමගාමීවයි. විශ්ව විද්‍යාලයයේ මගේ හොදම යෙහෙළිය, චිත්‍ර ශිල්පිනිය නදුනි ජයසූරියගේ සිතුවම් දැක්ම කවි පොත හා සමගාමිව පැවැත්වෙනවා. සිකුරදා හැන්දැව කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම වෙනස් විදියකට කරමු කියලා යෝජනා කලෙත් ඇය. ඉතින් මගෙ කවි කියෙව්වම ඇගේ හිතේ මැවෙන රූපය ඇය කැන්වසයක සිතුවම් කලා. එය තමයි සිකුරාදා හැන්දෑව කාව්‍ය සිතුවම් දැක්ම බවට පත් වෙන්න නියමිත වෙන්නෙ. නදුනි ජයසූරිය වෙනස් විදියට හිතන දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. ඇගේ නිර්මාණශීලී සිතුවම් සමග සිකුරාදා හැන්දෑව ජනගත වීමට නියමිතයි.

සංවාදය-පසන් සංජය සමරතුංග