සුනිල් සාන්තයන් පිළිබඳ මතක ....

සුනිල් සාන්තයන් පිළිබඳ මතක ....

14 April 2019 06:41 am

අද (අප්‍රියෙල් 14, 2019) මගේ පියාගේ (ගුරුදෙවි සුනිල් සාන්ත ) 104 වැනි ජන්ම දිනයයි. මේ අපි දෙන්නා එකට ගත් අන්තිම පින්තුරය කියා මා සිතනවා (1980-81). අතීතයෙන් බිඳක් ලියන්නම්.

 


මට මතක ඇති මුල්ම කාලයේ අපි ජීවත් උනේ ජා-ඇල, දෙහියගාත ගමේ මගේ පියාගේ මිත්තනියගේ ගෙදරයි. අපි විතරයි එහි හිටියේ. ඒ වන විට තත්තාගේ පුංච් අම්මාට (තාත්තාගේ අම්මගේ නංගී) අයිතිව තිබුන ඒ ගෙදර මගේ පියා කුලියට අරගෙන තිබුනා. මේ වත්ත පුරාම කෙසෙල් වවලා තිබුනා තාත්තා සහ අම්මා. අම්මාගේ ගමෙන් (කෙහෙල්වතුගොඩ, කෑගල්ල) ගෙනවිත් අල වර්ග ද තිබුනා. කෙසෙල් කපල ඉදෙන කොට අපි අතේ යවනව වටෙටම තියන ගෙවල් වලට. අපි ඇතිවෙන්න සෙල්ලම් කරනව වත්තේ. ඉතින් කලිසම්වල පස්ස ගෙවිලා හිල් වෙනවා. අම්මා ඒ හිල් වලට වෙන රෙදි කෑල්ලක් තියල මහල පැච් දානව. දවසක් මට ගෙනියන්න උනා කෙසෙල් ඇවිරියක් අල්ලපු වැටේ හිටිය තියෝපිලස් අයියලාගේ ගෙදරට (අයිය කීවට ඒ මගේ යාළු ක්‍රිස්ටිගේ සීයා). කෙසෙල් ඇවිරිය දීල හැරිල එනකොට එයා කීව 'බබා කලිසමේ පස්ස ඉරිල නේද' කියල. මම ලැජ්ජවෙන් පස්ස අතගාල කීව නෑ කියල. පස්සේ තියෝපිලස් අයිය බලල කියපි 'අන්ඩ දාල තියෙන්නේ ඇඟේ පාට රෙද්දි කෑල්ලකින්නේ' කියල. මැච් වෙන රෙදි පැච් එකට කොහෙන් හොයන්නද අම්මා. පැච් දාපු කලිසම් ඇන්ද කියල අපිට කිසි ගානක් උනේ නෑ. ඒ ගොඩක් පොඩි නිසා වෙන්න ඇති.

මගේ පියා පාසැල් හැරයාමේ විභාගයෙන් ලංකාවෙන් පළමු වැනියා වන්නේ ද මේ ගෙදර ඉඳගෙන පාසැල් ගිහින්. ඔහු කියා තිබෙනවා ගෙදර තිබුනේ එක කුප්පි ලාම්පුවක් කියා. ඉතින් රැට ලොකු අම්මා (තාත්තගෙ අම්මාගේ අම්මා) උයන තැනට ගිහින් පාඩම් කරනව කිව. ලොකු අම්ම ලාම්පුව අරගෙන යන යන තැනට ඔහුත් පොත අරගෙන යනවා කීව. ඒ 1930-31 කාලේ. මම මේ කියන්නේ 1961-62 කාලේ. තත්තා අපි කුලියට හිටිය ගෙදර පිටිපස්සට ගේ ලොකු කලා. හොඳට මතකයි අලුත් කොටසේ වහලයට තාර ෂීට් දමා තිබුන බව. මහ ගෙදර වහලය සිංහල උළු. ඊලඟට තත්තා ගෙදර ඉස්සරහින් සහ පැත්තෙන් අත්තිවාරම් දැම්ම ගේ ටිකක් ලොකු කරන්න. මේ ඉදිකිරීම් ඔක්කොම තත්තාගේම අතින්. දැන් තේරෙනව ඒවා කලේ සංදේශය චිත්‍රපටියේ ගී වෙනුවට ලැබුන මුදල් වලින් බව. අපිව අරගෙන තාත්තා ගොඩක් චිත්‍රපටි බලන්න ගියා. සංදේශය චිත්‍රපටිය කීප වරක් බැලුවා. ඒක මට කටපාඩම්. ඉතින් ගෙදර වටේට තිබුන අත්තිවාරම් සංදේශයේ බලකොටුව හැටියට අරගෙන මම අසාවෙන් චිත්‍රපටියේ කොටසක් රඟපානව. මගේ සහය නළුවෝ මල්ලී ජගත්, ලයනල් සහ සිරිපාල. ඒ දෙන්නා ලඟ ගෙදරක මගේ වයසේ යාලුවෝ. මගේ ආසම කොටස දුන්න අරගෙන බලකොටුව උඩ ඉන්න පුර්තුග්‍රීසි සොල්දාදුවට විදින එක. ලයනල් තමා ඒ. සීන් එකේ හැටියට ලයනල් ඊතලය වැදිල වැටෙන්න ඔන. එක දවසක් ලයනල් නෑ වැටෙන්නේ. මම අම්මට කියල ඇඬුව 'අම්මේ ලයිය මැරෙන්නේ නෑ කියල'.

කෙසේ නමුත් තත්තා පුදුම ආදරක් කල මේ ගෙදරින් අපිට යන්න වෙනව. තත්තාගේ පුංචි අම්මාට වෙනත් නෑයන් කියල තත්තා ගෙදරින් නොගිහින් අයිතිකර ගනී කියල. ඒ දවස්වල මාසෙකට කුලිය රුපියල් 25 දුන්න බව මම දන්නව. අම්මගෙ පඩිය ගෙනාව ගමන් එක දෙනව. බිල් ගැනිල්ලක් නෑ. ඒ පුංචි අම්මා තාත්තා කුලි ගෙවන්නේ නෑ කියල නඩු දැම්ම. නඩුවෙන් අපිට යන්න උනා. අපි ගියා තාත්තාගේ ලොකු මාමාගේ ගෙදර පැත්තේ කාමර දෙකකට. ඒ ආච්චි තරම් අපේ පවුලට ආදරය කල කෙනෙක් නැහැ. මම ඒ ආච්චිට සදා නය ගැතියි. තාත්තාගේ ලොකු මාමා තාත්තාට ලොකු ආදරයක් තිබිල තියනව. ඉතින් ඒ ආච්චි ඒ ගුණයට අපිට ආදරය කලා. මේ මොන කරදරයක්වත් තාත්තා ගනන් ගත්තේ නැ. පුංචි අම්මා එක්ක හොඳින් කතා කරල හිටිය. ඈව කාරෙකේ ගිහින් ජා-ඇල ගෙදර ඇරලනව. තාත්තා එයාගේ පියාගෙන් ලැබුන ඉඩම් වල අයිතිය ඔහුගේ අයියාට සහ අක්කාට ලියල දී තිබුන. ඒ ඔහු විවාහවෙන්න කලින්මයි. ඒ වගේම ඔහුගේ බෙබි ඔස්ටින් කාර් එක විකුනා ඔහුගේ අයියාගේ ගේ හදා දී තිබුන, එත් ඔහු විවාහ වෙන්නත් කලින්.

මේ මොනවා උනත් ඔහු බොහොම සාන්තව අපේ ඉගනීමේ කටයුතු වලට අතදී, ඒ මගින් සතුටට පත් උනා. මා ඔහුගෙන් ලද බොහෝ දේ අතරින් එකක් සඳහන් කරනු කැමැත්තෙමි. ඒ නම්, කිසිවකුට ඊරිසියා නොකර, තමුන්ට ඇති දෙයින් සතුටු වන ගමන් කිසිවකුගෙන් හොරකම් නොකර දියුනුවට පාර තම අතින්ම කපා ගැනීම කර ගත යුතුයි යන්න. මා ඇමරිකාවේ පදිංචියට එන්න තීරනය කරන්නෙත් එහි කොටසක් හැටියටයි. මාගේ ජීවිතයේ මෙතෙක් ඒ ලෙස ගමන් කර ඇති බව මා දේමාපියනට පින් දෙන ගමන් සිහිපත් කරමි.
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!

- ලාල් සාන්ත