ජනතාව ගේ හුස්ම නොදැනෙන කිසිදු කලාවක් ප්‍රබල නැහැ ! - නයනසේන වන්නිනායක

ජනතාව ගේ හුස්ම නොදැනෙන කිසිදු කලාවක් ප්‍රබල නැහැ ! - නයනසේන වන්නිනායක

18 April 2019 02:48 am

නයනසේන වන්නිනායක එතෙර සිට මෙතෙර දකින්නෙකි. දකින දේ ලියන්නෙකි. වෙනස් විය යුතු තැන් සමඟ තදින් ගැටෙන්නෙකි. කවියෙකු, ගීත රචකයෙකු, තීරු ලිපි රචකයෙකු ආදී බොහෝ සාහිත්‍යය භූමිකා රඟ දක්වන ඔහු සමඟ අප කළ සංවාදයක සංක්ෂිප්තය මතු දැක්වෙයි.

 

#. අපි පොඩි කාලෙන් පටන් ගමු. කොහොමද ළමා විය, පාසල් විය සහ යොවුන් විය?

මා ඉපදුණේ රජරට රනෝරාව කියන ගමේ. වැඩිකලක් ජීවත්වුණේ මහවිලච්චියේ ගොවි ජනපදයේ. මුල් පාසල් විය එහේමයි. පසුව අනුරාධපුර මැදි මහ විදුහලට ආවා. යොවුන් විය පාසලේත් සරසවියේත් ගත වුණා. ගමේ සුන්දර පරිසරය තුළ හැමදේම සුන්දරයි කියන්න බැහැ. ජීවිතය දුෂ්කරයි. එහෙත් ලොකු හීන නැති නිසා ලද දෙයින් සතුටු වුණා. අසුන්දර අතීතයේත් සුන්දරත්වයත් මා වින්ඳා. පරිසරය වින්ඳා. හැබැයි කුඹුරේ, හේනේ ඉන්න කාලේ බොහොම පොත් කියන්න ලැබුණා. මාර්ටින් වික්‍රමසිංහ, මහගම සේකර, කරුණාසේන ජයලත් වගේම ඩීමන් ආනන්දත්, දොස්ටොවුස්කි. ගෝර්කි, ටෝල්ස්ටෝයි වගේම ලෙනින්, කැස්ත්‍රෝලාත් මගේ පාසල් මිතුරෝ. එයාල මුණ ගැහුණේ හද්ද කැලේ හේනේවල පැල් රකිනකොට, නැත්තම් වෙලේ කුරුල්ලෝ එලවනකොට. උග්‍ර වාමාංශිකයෙක් වෙච්ච මුතුබණ්ඩා මාමගේ පොත් ගුලේත්, අප්පච්චි ගෙනාපු පොත් සඟරාවලත් 'රතු උණුසුම' මම පුංචි කාලේ ඉඳල වින්ඳා. කොහොමටත් ඒ පරණ අතීතය මා ටිකක් වෙනස් විදියට හිතන්න පුරුදු කළා වෙන්නැති.

#. ඒ කාලෙ හද්දා පිටිසර ඉඳන් ලෝකෙ පෙනුනේ කොහොමද?

නගරය කියන්නෙත් අපේ ගම්මුන්ට හීනයක් වෙච්ච හින්දා ගමේ ඉඳල බාහිර ලෝකය දුටුවේ පොත්වලින්. ඊට අමතරව ගැමියන්ගේ ජීවන අරගලය හා නිර්දය සුරාකෑම මා දුටුවා; වින්ඳා. ඒ ඔස්සේ ලෝකය තේරුම් ගන්න උත්සාහ කළා.

#. දැන් රටෙන් පිට ඉඳන් ලංකාව පේන්නෙ කොහොමද?

මං හිතන්නේ ගතින් විතරක් පිට ඉඳන් බැලුවාම අපේ මබ්විම ගැන දුකයි. වේදනාසහගතයි. අපේ රට බලලෝභී චෞර දේශපාලකයින් විසින් හයිජැක් කරලා ඉවරයි. මුදාගන්න සෑහෙන කැපකිරීම් කරන්න වෙනවා. නැත්නම් අනාගත පරපුර අපට ශාප කරාවි. ලෝකය අප පසු කරමින් යන්නේ. අපි තාම ගෝත්‍රවාදයේ එරිලා, ගිලෙමින් ඉන්නේ.

#. ආපහු අතීතය යමු. අනූ ගණන්වල මුල විකල්ප පත්තරවලට එන්. වන්නිනායක නමින් ලියපු ලේඛකයා ගැන අපට යමක් කියන්න?

මා 'එන්. වන්නිනායක' නමින් කාව්‍ය නිර්මාණ කළා. ඒ වගේම සුනිල් මාධව, විමලසිරි ගම්ලත් (දැන් එහෙම කෙනෙක් නෑ. ඉන්නේ විමල් වීරවංශ කියල වෙනස්ම කෙනෙක්.) මට විශේෂාංග ලේඛකයෙක් හා ප්‍රාදේශීය වාර්තාකරුවෙක් හැටියට 'හිරු' පුවත්පතේ මැද පිටු දෙක හා ඇතුළු පිටුවල ලිපි ලියන්න ආරාධනා කළා. රෝහිත භාෂණත් මට ලිවීමට යම් යම් උදව් කළා. මම ආශාවෙන් ඒක කළා. මගේ නියම නමින් පෙනී සිටීමට නොහැකි තත්ත්වයන් ඒ දිනවල තිබුණා. 'අපේ එකා', 'වන්නි' සහ තවත් නම්වලින් ලිපි පළ කළා. මගේ දේශපාලන දැක්ම ඒ තුළින් තරමක දුරට මුදා හරින්න මට හැකි වුණා. කුඩා කාලේ 'මිහිර, ටිකිරි, මාවත, ඇත්ත' ආදී පුවත්පතටත් මම කවි සහ ලිපි ලිව්වා. පසුව තරුණ කාලේ වැඩිපුර ලිව්වේ 'දිවයින' කවි පිටුවට.

#. ඇයි පිට රටකට යන්න තීරණය කළේ?

රැකියාව හා දරුමල්ලන්ගේ අනාගතය වෙනුවෙන් මට ගිහිගෙය හැර දා යන්න සිදුවුණා. මා ලියූ, කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියා ගයන 'නෑර එකක්' (යසෝධරා) ගීතය ඇතුළෙ මම ඒ කතාව කෙටියෙන් ලිව්වා. ගීතය ඔහුගේ අලුත් සී.ඩී. පටයෙ තියෙනවා පුළුවන් නම් අහල බලන්න.

#. රටෙන් පිට ඉඳගෙන වුණත් ඔබ ලිවීම අත හැරියෙ නැහැ?

කලින් කිව්වා වගේම මා ලියන්න පටන් ගත්තේ කුඩා කාලේ ඉඳන්. මෙහෙ ආවම නිර්මාණ කරල ඒවා පල කරන්න තැපැල් කරන්න පට්ට කාන්තාරේ අපහසු නිසා මුහුණු පොතට ඇබ්බැහි වුණා. මිතුරන් ගේ දිරිමත් කිරීම නිසා කවිත්, පසුව ඒවා ගී බවටත් පත්වුණා. මේ සිමෙන්ති, කම්බි, වැලි, කොන්ක්‍රීට් අතරේ හිරවෙච්ච මට හිතට දැනුන දේවල් ඔහේ ලිව්වා. හම්බ කරන්න මේ කාන්තාරේ ලොකු කැපකිරීමක් කරන්න ඕන. ලියන්නේ මට දරාගෙන ඉන්න බැරි වුණාමයි.

#. සාහිත්‍යය ගමනේ මෙතෙක් ආ දුර ගැන කෙටියෙන් යමක් කිව්වොත්?

මා ලියූ කවි එකතුවක් 'අකුරක් හොයමි' නමින් 2016 දී පළ කළා. ඒ වගේම ගී පද රචනා 83 ක් එකතු කොට 'තිසාවැව ළඟ රළපනාවේ' කෘතිය 2018 දී පළකළා. පහුගිය කාලෙ 'සත්හඬ' පුවත්පතට 'වන්නිගේ කොලම' නමින් තීරු ලිපි මාලවක් ලිව්වා. ඒ තමා ඉතාම කෙටියෙන් විස්තර.

#. කවියද ගීතයද වඩා ප්‍රබල?

ඒක නම් කෙටියෙන් කියන්න අමාරුයි. මං මෙහෙම කියන්නම්. අපේ රටේ කවිය තමා ප්‍රබලව පොදු ජනතාව අතර ගැවසුණේ. ජනකවි හරහා නිරායාසයෙන්ම ජනතාවගේ හදවත ගැහෙන රාවය කවිය තුල ප්‍රබලව දක්නට ලැබුණා. මේ ජනකවි තුළ පොදු ජනතාවගේ දාඩිය සුවඳ වගේම අව්‍යාජ සැබෑ චින්තනය නියෝජනය වුණා. මේවා කටවහරින් පරම්පරාවෙන් පරම්පරාවට සමාජගත වුණා. ඒත් පසුකාලීනව සාක්ෂරතාවය මත පුස්කොල පොත් හා සම්භාව්‍ය කාව්‍ය හරහා ලියැවුණේ එක්තරා ප්‍රභූ කුලකයක අදහස් පමණයි. මේ කවිවල රාජ උෂ්ණය, නාරි ලාලිත්‍යය, ආගමික ප්‍රවර්ධනය හා පරිසර වර්ණනා හැරුනුකොට දාඩිය සුවඳ නම් දැනුණේ නෑ. කොළඹ යුගයේ කුමාරගම ආදී කවියන්, ඊටපසුව සේකර, රත්න ශ්‍රී ආදී කවියන් මේ හයිජැක් කල කවිය වගේම ගීතයත් ආපහු ජනතාවට පවරාදෙන්න බොහෝ නිර්මාණ කළා. අද අප ගමන් කරන්නේ ඔවුන් හෙළිපෙහෙළි කළ මාවතේ. ගීත කලාව නම් අද පවතින්නේ මාධ්‍ය මාෆියාව අතේ. මේ යුගයේ ගී නිර්මාණ කෙසේ වෙතත් කලින් කළ හොඳ නිර්මාණවලට පවා දැඩි අසාධාරණයක් වෙලා. ජනතාවට ආමන්ත්‍රණය නොකරන, ජනතාවගේ හුස්ම නොදැනෙන කිසිදු කලාවක් ප්‍රබල වෙන්නේ නෑ .

#. නයනසේන වන්නිනායක කියන්නේ ජේවිපිකාරයෙක්ද?

මා කුඩාකල සිටම සමාජ සූරාකෑම හා අසාධාරණ ක්‍රමයේ ගොදුරක්. පැරණි වාමාංශය දියවී ගියපසු ජවිපෙ විතරයි මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න 'සක්‍රීයව' දායක වුණේ. ඒ වෙනුවෙන් ඔවුනට මගේ ගෞරවය එදත් තිබුණා, අදත් තියෙනවා. මා ජවිපෙ සාමාජිකයෙක් වෙලා නෑ. හැබැයි හදවතින්ම ඔවුන්ට ආදරය හා ගරු කරනවා. මේ ටික කියන්නේ මා දුටු හා අත්විඳි කටුක අත්දැකීම් මත පදනම් කරගෙන. ගාමක බලයක් හැටියට ජවිපෙ ඇති ශක්තිය හා ජවය අමතක කරන කිසිදු දේශපාලන ක්‍රියාවලියකට අනාගතයක් නැහැ කියන එක මා දැඩිව විශ්වාස කරනවා.

#. පොදුවේ ශ්‍රී ලංකාව කියන රට ගැන ඔබේ කියැවීම මොකද්ද?

තක්කඩි, චෞර දේශපාලකයින් විසින් මංකොල්ල කාපු නෞකාවක්.

#. එතැනින් ගොඩඑන්න කුමක් කළ යුතුද, මොකද්ද ඔබේ යෝජනාව?

රට මේ අගාධයෙන් ගොඩ ගන්න දැක්මක්, සැලසුමක්, ප්‍රතිපත්තියක් ඇති විනය ගරුක පාලනයක් ඇති කරන එක ඇරෙන්න විසඳුමක් නැහැ. කලින් කලට පුම්බන පුද්ගලයන්ට හා මේ පැරණි කාලකන්නි ක්‍රමය රකින උන්ටම පුදන චින්තනය වෙනස් විය යුතුයි. වෙනස් කළ යුතුයි. අමාරුයි තමා. ඒත් එය කළ යුතුමයි. කළ හැකියි. ඒ සඳහා අවම කොන්දේසි යටතේ එකඟවිය හැකි පොදු පෙරමුණක අවශ්‍යතාවය දැඩිව තියෙනවා.

#. ඉදිරි වැඩ කටයුතු කොහොමද?

ලොකු බලාපොරොත්තු නැහැ. මට දැනෙන දේ ඉදිරියටත් විවිධාකාරයෙන් ලියන්න හිතාගෙන ඉන්නවා. එක අහවල් විදියටද කියල කියන්න අමාරුයි.

සංවාදය - කසුන් සමරතුංග