නිහඬ උසාවියක නොනිමි දෝංකාරය - උපේක්ෂා නුවන්ශ්‍රීනි - Lanka News Web (LNW)

නිහඬ උසාවියක නොනිමි දෝංකාරය - උපේක්ෂා නුවන්ශ්‍රීනි

අධිකරණය යනු රටක පවතින උත්තරීතරම ආයතනය වන අතර එහි උත්තරීතරත්වය කිසියම් හෝ කතිපයාධිපති දේශපාලන විචල්‍යයන් පවතින රටක නූගත් මිනිසුන් අතට පත් වූ කල සැබැවින්ම උසාවිය නිහඬය, එමෙන්ම බිය දනවන සුළුය. වික්ටර් අයිවන් මහතා සිය ‘නොනිමි අරගලය‘ නම් වූ කෘතිය තුළින් අධිකරණ විනිසුරුවරයෙකු අතින් ස්ත්‍රීන් දෙදෙනෙකු දූෂණය වීම පිළිබඳ සිදුවීම මුලින්ම මේ රටේ සමාජීය කථිකාවකට ගෙන එනු ලැබුවේය‍. ලෙනින් රත්නායක නම් වූ මෙම සීරියල් ස්ත්‍රී දූෂකයා වටා තිබෙන්නේ මෙරට අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි සාමාන්‍යය මිනිසෙකු තුළ අතිවිශාල බියක් දැනෙන කරුණු සමුදායකි. එම කරුණු සමුදාය සිනමාව තුළින් කරලියට පැමිණියේ ප්‍රසන්න විතානගේ මහතාගේ උසාවිය නිහඬයි යන සිනමාපටය තුළිනි. ලෙනින් විසින් වාර්තා චිත්‍රපටයට එරෙහිව උසාවි ගියද ඒ වෙනුවෙන් වාරණ පැනවුවද අවසානයේ ප්‍රසන්න විතානගේ ජය ගත්තේය. නමුත් නඩුකාරයෙකු අතින් දූෂණය වූ ස්ත්‍රීන් දෙදෙනාට අත් වූයේ පරාජය මිසක අන් කවරක්ද?.

කෙසේ වුවද ප්‍රසන්නගේ සිනමා සිත්තම සහ වික්ටර් අයිවන්ගේ ‘නොනිමි අරගලය’ කෘතිය හරහා සමාජය තුළ සංවාදයක් බිහි වූ අතර උපේක්ෂා නුවන්ශ්‍රීනි විසින් ද මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කොට ‘ඇය තවම නිරුවතින්’

යන කෘතිය රචනා කොට තිබේ. මෙම සංවාදය දිග හැරෙන්නේ එම කෘතිය රචනා කොට තිබෙන උපේක්ෂා නුවන්ශ්‍රීනී සමඟයි. ඇය ලංකා නිව්ස් වෙබ් අඩවිය සමඟ මේ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වූවාය.

“පුද්ගල සාපරාධීත්වය යනු තවදුරටත් හුදකලා ක්‍රියාවලියක් නොවන බැවින් ඊට පදනම් වූ සමාජ ආර්ථික සහ දේශපාලන කරුණු විමර්ශනය කිරීම මෙම අධ්‍යයනයෙහි එක් අරමුණක් විය“ (ඇය තවම නිරුවතින් - පිටුව iii)

‘උසාවිය නිහඬයි' සිනමා වාරණය හා බැදුණු පශ්චාත් සමාජ කතිකාව සම්බන්ධයෙන් සිදුකළ ඔබගේ ‘ඇය තවම නිරුවතින්' නමැති විමර්ශනාත්මක කෘතියෙහි අරමුණ කුමක්ද?

මීට දශක කිහිපයකට එපිට මහව දිසා අධිකරණයෙහි විනිසුරුවරයාව සිටි ලෙනින් රත්නායක විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සිදුවීම් ද්විත්වයට එරෙහිව ‘රාවය' කතෘ වික්ටර් අයිවන් විසින් හුදකළාව ගෙන යන නෛතික අරගලය නිමවෙන්නේ විත්තිකරු වැඩ තහනමකට ලක් වී අඩ වැටුප් ලබන්නකු බවට පත් කොට, ‘නොනිමි අරගලය' යනුවෙන් අද්විතීය කෘතියක් ද ඔහු අතින් රචනා වීම තුළිනුයි.

ඊට පස්සෙ තමයි ප්‍රසන්න විතානගේ කියන සිනමා අධ්‍යක්ෂවරයා තමන්ගෙ පළමු වාර්තා සිනමාපටය වික්ටර් අයිවන්ගේ ‘නොනිමි අරගලය' කෘතිය තුළින් ‘උසාවිය නිහඬයි' මැයෙන් නිර්මාණය කරන්නේ. දෙවන අතුරු සිදුවීම හටගන්නේ එම සිනමාපටය වෙත අතුරු වාරණ නියෝගයක් පැනවීමත් එක්කයි. එය අවසන් වන්නේ වාර්තා සිනමාව සහ සිනමා වාරණය සම්බන්ධව පරිශීලනය කළ හැකි ප්‍රගතිශීලී නඩු තීන්දුවක් ද, නොයෙක් පැති කඩ ආවරණය වන සේ නිමැවුණු පුළුල් සමාජ කතිකාවතක් ද සමාජය වෙත ශේෂ කිරීමෙන්. ‘ඇය තවම නිරුවතින්' කෘතියෙහි ප්‍රධාන අරමුණ වූයේ 'උසාවිය නිහඬයි' සිනමාපටය හරහා ඇති වූ පශ්චාත් සමාජීය කතිකාවෙහි මූලික ස්වරූපයන් අධ්‍යයනය කරමින්, සමාජ සංසිද්ධියකදී ගොඩනැගෙන මිනිසුන්ගේ කතිකාමය ලක්ෂයන් කොතෙක් දුරට මුඛ්‍ය ප්‍රස්තුතය හා බැඳී පවතින්නේද යන්න වැඩිදුර අධ්‍යයනය කිරීමයි.

මෙම කෘතිය තුළින් ඔබ සමාජගත කිරීමට අදහස් කළ මතවාදය කෙබඳුද?

ලෙනින් රත්නායක සිදුවීම කියන්නේ තනි පුද්ගලයකුගේ හුදකළා සංසිද්ධියක් නොවෙයි. සමාජීය ජීවියකු වන නිසාම මිනිසකුගේ හැඩය තීරණය වන්නට ඔහු උපන් ප්‍රදේශය, වකවානුව, එ කල වූ සමාජීය, ආර්ථීක සහ දේශපාලන වෙනස් වීම් යන සියළු සාධක විසින් විශාල බලපෑමක් සිදු කරනව. ‘උසාවිය නිහඬයි' සිනමාපටය ගොඩ නංවන්නෙ සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යෙයක අධ්‍යයනයකට පමණක් සීමා වෙලා. නමුත් සාමාන්‍ය පෙළ හයයි තුනක් පමණක් තියෙන කෙනෙක්, රක්ෂණ සංස්ථාවේ මූල්‍ය වංචාවකට අහුවෙලා බ්ලැක් ලිස්ට් දාපු කෙනෙක්, කලක් අප්‍රසිද්ධව ඉඳලා එක්වරම විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දීම සහ ඉන් පසු සිදුවූ සෑම විෂමාචාරයකදීම නිසි දඩුවම් නොලැබීම කියන්නේ කිසිසේත්ම හුදකළා සංසිද්ධීන් නොවේ. නමුත් ‘උසාවිය නිහඬයි' සිනමාපටය අතුරු වාරණ නියෝගයක් ලැබුවට පස්සෙ සිදුවුන සමාජ කතිකාවෙන් මේ පුළුල් සමාජීය කාරණා සාකච්ඡා වුණේ ගොඩක් අඩුවෙන්. මන්ද එහි දිශානතිය වැඩි වශයෙන්ම යොමු වී තිබුණේ සිනමා වාරණය සහ ප්‍රකාශන නිදහස කියන කාරණා කෙරෙහි පමණයි. මෙම කෘතියෙහි මතවාදාත්මක අරමුණ වූයේ පෙර සංකථන ඔස්සේ මග හැරුණු කරුණු කාරණා ඔස්සේ ලෙනින් රත්නායක චරිතය වෙනසක් සහිතව කියැවීම සහ ඔහුගෙන් අගතියට පත්ව මෙතෙක් සාධාරණයක් ඉටු නොවූ වින්දිත ස්ත්‍රීන් දෙදෙනාට යුක්තියක් ඉටු වීමේ මාර්ගයක් සම්බන්ධයෙන් නව මානයක කතිකාවක් පාඨක සමාජය තුළ ඇති කිරීමයි.

ලෙනින් රත්නායක යනු නඩුකාරයෙක්ද? නැතිනම් ස්ත්‍රී දූෂකයෙක්ද?

ලෙනින් රත්නායක යනු ස්වකීය පුද්ගල නාමයේ සිට නිල ධූරාවලියේ බලාත්මක වීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය සහ සිවිල් සම්බන්ධතා සියල්ල තුළත්, ආරෝපිත සංකේතීය අගයන්ගෙන් පෙනී සිටිය කෙනෙක්. සත්‍ය නාමය රත්නායක බංඩා වන ඔහු මහව දිසා අධිකරණයෙහි ස්ත්‍රී දූෂණ සිදුවීමෙන් පසු ලෙනින් රත්නායක බවට ආරෝපණය වීම ම ව්‍යාජයක්. එපමණක් නොවෙයි ඔහු අගතිකාමී ලෙස ව්‍යාජ තනතුරකින් සමාජ ගත වූ අයෙක්. එබැවින් ඔහුව ‘නඩුකාරයකු' ලෙස නිල වශයෙන් හැඳින්විය නොහැකියි.

මනෝ වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා ලෙනින් රත්නායකගේ මානසික තත්ත්වය සම්බන්ධව ඉදිරිපත් කරන වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය තුළ, ඔහු පීතෘ වියෝග කාන්සාව (Paternal Deprivation) කියන මානසික තත්ත්වයෙන් පෙලන බව නිගමනය කොට තිබුණා. මෙම සමස්ත සිදුවීම අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන කාරණාවක් වන්නේ ලෙනින් රත්නායක විසින් සෑම කාන්තාවක්ම අපහරණයට පත් කොට ඇත්තේ අධි ලුබ්ධියටත් වඩා (High Lubido) තමා තුළ පවතින හීනමානතා සාධකය සහ ශුන්‍යභාවී හැගීම් පරාජය කිරීම සඳහා බවයි. ඒ නිසා ‘ස්ත්‍රී දූෂකයා' කියන තනි පර්යාය පදයෙන් ඔහු හැඳින්වීම අසීරු සහ අසාධාරණ බව මගේ හැඟීමයි.

ලංකාවෙහි සිනමා වාරණය කියන කාරණාව තුළ ‘උසාවිය නිහඬයි‘වාර්තා චිත්‍රපටය වාරණය කිරීම ඔබ ස්ථානගත කරන්නේ කෙබඳු තැනකද?

මෙරට සමාජීය සංස්කෘතික අගයන්, ආගමික හරය සහ ආරක්ෂක තත්ත්වය වගේ දේවල් ගැන විවේචනාත්මකව සිදු කළ සිනමා නිර්මාණ මින් පෙර වාරණයට ලක්වෙලා තිබෙනවා. නිදසුන් ලෙස ප්‍රසන්න විතානගේ ගේ ‘පුරහඳ කළුවර', සුනිල් ආරියරත්නගේ ‘සසර පෙර නිමිති', අශෝක හඳගමගේ ‘අක්ෂරය' යන සිනමාපට මෙන්ම රූපගත කිරීම් අතරමග වාරණය වූ ධර්මසිරි වික්‍රමරත්නගේ ‘නහී වේරේන වේරානි', නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ 'දේ ඩාන්ස් අලෝන්' කියන සිනමා කෘති දැක්විය හැකියි. සිනමාපටයකට ප්‍රස්තුත වූ චරිතයක් විසින් තමාට අවමානයක් වෙතැයි යන අදහසින් වාරණ නියෝගයක් ඉල්ලා සිටි අවස්ථාවන් ලෙස ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද' චිත්‍රපටයට එරෙහිව නඩු පැවරීම සහ තමාට අපහාස වන බවට චෝදනා ගොනු කොට මොහාන් නියාස්ගේ ‘ගිණි සිළුව' සිනමාපටය නිර්මාණය කිරීමට එරෙහිව සුසන්තිකා ජයසිංහ විසින් නීති මාර්ගයට එළඹීම දැක්විය හැකියි.

නමුත් ‘උසාවිය නිහඬයි' සිනමාපටයෙන් ඉදිරිපත් වන්නේ වංචනික සහ සාපරාධී ලෙස අගතිකාමී සිදුවීම් තුනකට සම්බන්ධ වී එම චෝදනා තුනටම පැවති විවිධ විමර්ශන සහ අභියාචනාධිකරණ තීන්දු සියල්ලෙන්ම වරදකාරී වුවද මෙතෙක් පැවති කිසිදු රජයක් යටතේ නිසි පරිදි දඬුවමකට යටත් නොකළ පුද්ගලයකු සම්බන්ධව, මෙතෙක් පැවත ආ නෛතික සහ ලිඛිත සාක්ෂි සහ කිසිදු වාරණයකට ලක් නොවූ වික්ටර් අයිවන්ගේ ‘නොනිමි අරගලය' කෘතිය ද පදනම් කර ගනිමින් තනන ලද වාර්තා සිනමාපටයකට චූදිතයා විසින් සාවද්‍ය ලෙස කරුණු ගොනු කරන ලද අතිශය දුර්වල නඩුවක් මගින් අතුරු වාරණ නියෝගයක් ඉල්ලා සිටීමයි. මෙසේ නෛතිකව තහවුරු වූ සාක්ෂි මත පදනම් වූ සිනමාපටයකට නඩු දැමීමේ ඔහුගේ මුඛ්‍ය අරමුණ වන්නේ නිදහස් මරණයක අපේක්ෂාවයි. එනම් නඩුවක් පවතින අතරතුර ස්වකීය මරණය සිදු වුවහොත් සමාජය විසින් තමාව විනිශ්චය කිරීමට පෙර ඉන් නිදහස් වනු ඇතැයි යන සිතිවිල්ලයි. එතැනින් මෙම සිදුවීම මගේ කෘතියෙහි සමාජීය සහ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය සමග හේතු ඵල මූලධර්ම සමග යළි බද්ධ වෙනවා.

ලෙනින් රත්නායක සම්බන්ධ සම්පූර්ණ සිදුවීම අධිකරණ පද්ධතියෙහි විෂමතාවක් පමණක් හඟවන්නක්ද? එසේ නැතිනම් ඔහුට එරෙහි නඩුවේ සත්‍යය තීන්දුව කුමක් විය යුතුයි කියලද ඔබ හිතන්නෙ?

සමස්ත සිදුවීම නිරීක්ෂණය කළාම අධිකරණ පද්ධතිය පැත්තටම ඇගිල්ල දිගු නොවන්න හේතුවන කාරණා කිහිපයක් තියෙනවා. ලෙනින් රත්නායක විෂමාචාර ක්‍රියාවන් තුනකට චූදිත වී, විනය පරීක්ෂණ සහ නඩු විභාගවලට පෙනී ඉඳල තියෙනවා. පළමු කොටම ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ තුන්වන් ශ්‍රේණියේ ලිපිකරුවෙක් ලෙස සිටියදී මුදල් වංචාවකට වරදකරු වී 1985.10.25 වන දින සේවයෙන් පහ කරනවා. ලෙනින් රත්නායකට එරෙහිව වික්ටර් අයිවන් විසින් පළමු වතාවට චෝදනා ගොනු කළ අවස්ථාවේදී, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයේදී ඉහත කාරණා තහවුරු වෙනවා. නීතිපති වූ සරත් එන් ද සිල්වා මෙහිදී සිදු කළ යුතුව තිබුණේ ව්‍යාජ තනතුරකින් රජයේ සේවයෙහි රැඳී සිටීම උදෙසා ලෙනින්ගේ වැඩ තහනම් කොට මෙතෙක් සේවයෙහි යෙදී සිටියදී ලද වැටුප්, සහ දීමනා ආදිය නැවත අයකර ගැනීමයි. නමුත් ඒ කිසිවක් සිදු නොකළා පමණක් නොව අවසානයෙහි ස්ත්‍රී දුෂණ සිදුවීම් ද්විත්වය සදහාද ලෙනින් රත්නායක වැරදිකරු වූ විටත් සරත් එන් ද සිල්වා විසින් සිදු කළේ ඔහුගේ වැඩ තහනම් කොට අඩ වැටුප් ගෙවීමයි. ඉන් ද නොනැවතී විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රම ගැන්වීමයි. සාමාන්‍යයෙන් වැඩ සහනමකට ලක් වූ පුද්ගලයකුට අඩ වැටුප් ගෙවනු ලබන්නේ මූලික විමර්ශනයක් පවතින වකවානුවෙහි පමණි. නමුත් සියලු චෝදනාවලින් වැරදිකරුවකු බවට ඔප්පු වූ පසුවත් ලෙනින් රත්නායක විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම ගන්වන්නේ කෙසේද යන්න ගැටලුවකි. අගතියට පත් කාන්තාවන් දෙදෙනා සම්බන්ධ නඩුවේ සත්‍ය තීන්දුව විය යුත්තේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුගතව, එම පැමිණිල්ල විභාග කරනු ලබන මහාධිකරණ විනිසුරුවරයාගේ අභිමතය පරිදි එක් ස්ත්‍රී දුෂණයකට වසර 7-10 හෝ 7-20 ලෙස ,ස්ත්‍රී දුෂණ දෙකට වෙන වෙනම දඩුවම් හිමිවීමයි. මෙම සමස්ත සිදුවීම සම්බන්ධව සාරාංශයක් සකස් කොට යලි සමබර විමර්ශනයකට පැමිණෙන මෙන් අධිකරණ සේවා කොමිසම් සභාව වෙත බල කිරීමේ වගකීම තවමත් ජනතාව වෙත ඉතිරි වී පවතිනවා.

ස්ත්‍රී දූෂණ සමාජගත නොවී සඟවා තැබීම යන කාරණාවට මෙරට මිනිසුන් බෙහෙවන්ම මුහුණ දෙනවා. ඔබ හිතන්නෙ කිසියම් හෝ ලිංගික අතවරයක් ස්ත්‍රියකට සිදු වුවහොත් සිදු කළ යුතු නිවැරදිම දේ කුමක්ද කියලද?

මෙබඳු අවස්ථාවකදී අනුගමනය කෙරෙන සාමාන්‍ය නෛතික ක්‍රියා පටිපාටිය වන්නේ අගතියට පත් වූ අය වැඩිහිටි කාන්තාවක් නම් පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදු කිරීමත්, ළමයකු සම්බන්ධ අපහරණයක් නම් ළමා රක්ෂණ අධිකාරියටත් පැමිණිලි කිරීමයි. ඉනික්බිති පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කොට, සාධනීය කරුණු මත පිහිටා නඩුවක් ගොනු කොට සැකකරු අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. ඉන් පසු ඉදිරි කටයුතු සඳහා ඩී.එන්.ඒ වැනි පර්යේෂණ ආදියද භාවිතා කරගෙන විද්‍යාත්මකව කරුණු තහවුරු කර ගන්නවා.ස්ත්‍රී දූෂණයක දී චූදිතයකු සම්බන්ධව කටයුතු කරන නීත්‍යානුකූල පටිපාටිය මේක වුණත් ලෙනින් රත්නායක සිදුවීම විමසීමේදී අපට දැනෙන හැඟෙන දේ තමයි නීතිය ඉටුකරන්න තිබෙන තැනින් අගතියට පත් වූ විට කාන්තාවක යන්නේ කොතැනටද කියන එක. අද දවසේ වුණත් මෙබඳු සිදුවීමකදී බල යාන්ත්‍රණය සෘජුව මැදිහත් වී තිබෙන විටක විනිසුරුවරයකුට, මන්ත්‍රීවරයකුට එරෙහිව පොලීසියක් පැමිණිලි ලියාගන්නවද කියන එක. අන්න ඒ නිසා තමයි මෙම සිදුවීමේදී මහව කාන්තාව පත්තර කන්තෝරුවකට ගොඩවෙන්නේ. ඇයගේ ඒ ප්‍රවේශය අධිකරණය ස්වාධීන වීම කියන කාරණාව සම්බන්ධයෙන් ඉතා වැදගත් එකක්. නාන කාමරයක දොරක් අගුළු ලන්නවත් නොදැන සිටි නූගත් ගැමි ගැහැනිය අධිකරණ ක්‍රමය වෙනුවට විකල්ප ආයතනයක් ආදේශකයක් ලෙස භාවිතා කිරීම කිසිසේත්ම නොසලකා හැරිය යුතු සරල කරුණක් නොවෙයි. ඇය අපට කියන්නේ ‘නඩු කාර හාමුදුරුවෝ’ කියලා රාජ්‍ය තානාන්තර වන්දනා කළ යුගය අවසන් බවත්, අධිකරණය නීතිය නිදහස සම්බන්ධව තව දුරටත් සංකේතීය අගයක් නොගන්නේ නම්, ඒ සඳහා වෙනත් ක්‍රියාත්මක අගයන් සාමාන්‍ය සමාජය තුළින් සොයා ගන්න මිනිසුන් වශයෙන් ඔවුන් පෙළඹ සිටින බවයි. කෙසේ වෙතත් නීත්‍යානුකූලව පැවත එන පද්ධතික ව්‍යුහයක පවතින බරපතල ගැටලු මහජන මැදිහත් වීමෙන් ශෝධනය කිරීමේ සීමාවන් ද පවතින බැවින් මෙවන් සිදු වීමකදී ලාංකීය කාන්තාවගේ යුතුකම වන්නේ පීඩිත ස්ත්‍රිය හුදකළා නොකිරීම, ස්ත්‍රීවාදීත්වය යනු පිරිමි අනුකාරක ආකෘතියකැයි යන වැරදි වැටහීමෙන් පළමු කොට බැහැර වීම සහ තමන්ගේ සැමියා ද අපරාධකරුවකු වශයෙන් හඳුනාගත් අවස්ථාවක ඔහුගෙන් පීඩනයට පත් ස්ත්‍රීන්ගේ පළමු පීඩක උපකරණය තමා නොවී සිටීමයි.

සාකච්ඡා කළේ - බාසුරු ජයවර්ධන

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb