හීන හොයන සමනලුන්ට පාර කියන ඇය

හීන හොයන සමනලුන්ට පාර කියන ඇය

5 October 2018 06:13 am

ඇය ෂෙනිකා ජයවර්ධන. වෘත්තියෙන් ගුරුවරියක්. වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය තොරතුරු තාක්ෂණ ගුරුවරිය ඇයයි.

මෙහෙම කිව්වට ඇයව රටම හඳුනන්නේ නැහැ. හැබැයි ඉතින් රටේ ගුරුවරු, මව් පියවරු, දරුවන් ඇයව හඳුනා ගැනීම සහ ඇයව කියවීම වැදගත් යැයි සිතූ නිසාම අපි ඇය ගැන ඔබට කියන්න හිතුවා.

ksanika 1අපි හැමදාම රට ගැන, රටේ අනාගතය ගැන, රටේ ආඩම්බරකම ගැන කතාකරනවා. විවිධ කෂේත්‍රවල විවිධ දක්ෂතා තියෙන පුද්ගලයන් ගැන කතා කරනවා. හඳුනාගන්නවා. ඇය හෝ ඔහු රටට සාඩම්බරයක් නම් අත නොහැර අල්ලාගෙන ඉදින්නටත් වෙහෙසක් නොගන්නවා නෙවෙයි.

මේ කතාවත් එවැනි කතාවක්. නිහඬව තමන්ගේ ගුරු සේවය වසර 11 ක් තිස්සේ ඉතා සාර්ථකව කරගෙන ආ ඇයව ජාතික මට්ටමෙන් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමින්ම ඇගයෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීත් ඇගේ සක්‍රීය මැදිහත්වීමත් ඈ සතු තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ හසල දැනුමත් ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයට අද සිසිලසක් දෙන ආලෝකයක් බවට පත්වෙලා. ඉතාමත් ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ වපුරන තරමට තමයි නෙලාගැනිල්ලත් කියලා. ඉතින් මේ ගුරුතුමියත් සාර කෙතක් වැපිරුවා. අදටත් ඇය නිහඬව තමන්ගේ කාර්ය ඉටුකරමින් ඉන්නවා.

ksanika 7

රටේම ගුරුවරුන්ට ආදර්ශයක් වගේම අලුත් පාරක් පෙන්වමින් ඇය මේ වෙද්දී ලොව අතරට ගොස් හාමාරයි. ලොව පළමු වරට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ගුරුවරුන් ඇගයීම් වෙනුවෙන් පැවැත්වුණු Global Teacher Award සම්මාන උළෙලේදී ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්මානයක් දිනා ගැනීමට සමත් වෙනවා. මේ තමයි ඇගේ ගෙවුණු වසර 11ක ගුරු ජීවිතයේ අස්වැන්න.

ksanika 2"තොරතුරු තාක්ෂණ විෂයත් එක්ක ඉන්න නිසා මට අන්තර්ජාලය ඉතාමත් සමීපයි. මම මේ වගේ අවස්ථාවන් ගැන උනන්දුයි. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඒ වගේ අවස්ථාවන් මගහරවා ගන්න අවශ්‍ය නැහැ. අපි ජයග්‍රහණය කළොත් එය අපේම දෙයක් විතරක් නෙවෙයි. එය රටේම ජයග්‍රහණයක් බවට පත්වෙනවා. ඉතින් මට Global Teacher Award එක ගැන දැනගන්න ලැබුණා. පසුගිය මාර්තුවේ තමයි මේකට ඉල්ලුම්පත් කැඳවලා තිබුණේ. ඒ අනුව මම මේ සඳහා ඉදිරිපත් වුණා."

ඇගේ ආත්ම විශ්වාසය සුළුපටු නැහැ. ලොව පුර විසිරි පැතිරි තිබෙන රටවල් 28ක විවිධ වූ විෂයධාර යටතේ ගුරුවරු 4600ක් සමඟ ඇය සිය ඉලක්කය සොයා ගොස් තිබුණා. අවසාන සිය දෙනා අතරින් සම්මානයට හිමිකම් කීමට ඇයට හැකි වුණා.

ksanika 4ගුරුවරුන් ඇගයීමේ කර්තව්‍යයක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමක් නිසා විශේෂයෙන් විෂය ධාරාවන් රැසක් ගැන අවධානය යොමුවෙනවා. ඒ වගේම දරුවන් මූලික කරගෙන සිදුකරන විෂය බාහිර ක්‍රියාකාරකම් කියන්නේ සංකීර්ණ කාරණයක්. එවැනි පසුබිමක් තිබෙන ක්ෂේත්‍රයක ඇගයීමක් කියන්නෙම මහා බරක්. විධිමත්භාවය, විනිවිදභාවය අදාළ කරගනු ලබන ක්ෂේත්‍ර ගැන ඉතා සැලකිලිමත් වීමට මෙහිදී සිදුවෙනවා. මේ හැම අභියෝගයක්ම ජයගැනීමට අපේ කතා නායිකාව සමත් වෙන්නේ මේ ගැන සිය සහෝදර ගුරුවරුන්ගේත් අපේක්ෂාවන් දල්වමින්.

"පුළුල් පරාසයක කාරණා මෙතැනදී සැලකිල්ලට ගෙන තිබුණා. සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සිසුන් විභාගවලින් සමත් කිරීම. ඒක පහසු කාරණයක් නෙවෙයි. අතේ ඇඟිලි 10 ගත්තොත් දහ විදිහක්. දරුවෝ කියන්නෙත් එහෙම තමයි. හැමෝම එකම මට්ටමේ අය නෙවෙයි. එතැනදී විශේෂයෙන් දුර්වල සිසුන් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්.එතැනදී මගේ දායකත්වය ගැන ඇත්තටම මට නිහතමානී සතුටක් තියෙන්නේ. ප්‍රථිපල පැත්තෙන් ගත්තොත් 100%ක් කියල මට කියන්න පුළුවන්. "A" සාමාර්ථ ගොඩක් එක්ක හැම දරුවම වගේ මගේ විෂය සමත් වෙලා ඉන්නේ.

ksanika 3අනිත් පැත්තෙන් ගත්තොත් විෂය බාහිර කටයුතුවලදී පාසලේ බොහොමයක් වැඩවලට මම සහය දෙනවා. ඩිජිටල් පැත්තෙන් වැඩක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ දායකත්වය ලැබෙනවා. විවිධ ප්‍රසංගවල ඉඳලා ත්‍යාග ප්‍රදානෝත්සව දක්වාම මම මැදිහත් වෙලා වැඩ කරනවා. ඒ වගේ හැමපැත්තෙන්ම දායකත්වය දෙන්න මම මැදිහත්වෙනවා.

ඒ වගේම තමයි මම කතෝලිකයෙක් විදිහට කතෝලික දහම් පාසලේ දැන් අවුරුදු 22ක් විතර ගුරුවරියක් විදිහට සේවය කරනවා. පහුගිය වසර දෙකක කාලය තුළ මම එහි විදුහල්පතිවරිය විදිහට සේවය කළා. එතනදීත් මම හැකි හැම පැත්තෙන්ම දරුවන් වෙනුවෙන් වැඩ කළා. මම හිතන්නේ ඒ හැම දෙයකම ආශිර්වාදය අද මට ලැබිලා තියෙනවා."

මේ ගුරුතුමියගේ කතාව ඇතුළේ වැදගත්ම කාරණයක් තමයි ගුරුවරියක් විදිහට ඇගේ දැක්ම. ඇය, ඒ ගැන මෙහෙම කතාවක් කියන්නේ.

"ගුරුවරයෙක් වශයෙන් මම හැම තිස්සෙම දකින දෙයක් තමයි මේ එන්නේ මගේ ළඟට හීන. අම්මා, තාත්තගේ හීන. සමාජයේ හීන. කවදාහරි දවසක මේ හීන තමයි සමාජය ගොඩනගන්නේ. ඒ නිසා මේ හීන කොයි විදිහටද ගොඩනගන්නේ කියන කාරණය ගැන මම හැම මොහොතකම හිතනවා. ඒ අනුව තමයි මගේ ඉගැන්වීම් සැකසෙන්නේ."

සමාජයක් යහපත් ආකාරයෙන් ගොඩනගන්න අත්තිවාරම දාන්නේ ගුරුවරු කියන එක අපි හැමදාමත් පිළිගන්නවා. අම්මා, තාත්තගේ තුරුළෙන් ඇඳුරු තුරුළට එන්නේ සමාජයක අනාගතය. එය ඔපමට්ටම් කරන්නේ මෙවැනි වූ ගුරුවරු. ඉතින් මෙවැනි සුන්දර මිනිසෙකු ළඟ සැලසුම් වන අනාගතය සහතික වශයෙන්ම අඳුරේ අතපත ගාන්නක් නම් නොවෙයි.

"මම උසස් පෙළ කළේ විද්‍යා විෂය ධාරාවෙන්. ඒ පැත්තෙන් මට ඉදිරියට යන්න ලැබුණේ නැහැ. ඒ වෙද්දී ලංකාවට අලුතින් හඳුන්වා දී තිබුණ දෙයක් තමයි පරිගණක විද්‍යාව. මට ආසාවක් ඇතිවුණා පරිගණක විද්‍යාව හදාරන්න. ඉගෙන ගන්න කාළෙත් මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් Batch Top වුණා. මම ඉගෙන ගන්න ගමන්ම මට කතා කළා Instructor කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් අවුරුදු 19, 20 කාලේදී Instructor කෙනෙක් වුණා. එතනින් උසස් අධ්‍යාපනය ලබලා UK qualification දක්වා මම ගියා. එතනින් මම Software Engineering පැත්ත හැදෑරුවා. ඊට පස්සේ පෞද්ගලික අංශයේ වසර 07ක් රැකියාව කළා. ආරම්භය සැකසුණේ එහෙම."

ඒ තමයි අපේ ගුරුතුමිය තොරතුරු තාක්ෂණ විෂය පැත්තට නැඹුරු වෙන්න අවස්ථාව සැලසුණ ආකාරය.

කොහොම නමුත් ඇය මේ වෙද්දී නිවැරදිම තෝරා ගැනීම තුළ රැඳෙමින් සිටිනවා.

ksanika 5එක අතකින් සම්මානය ලැබුණු සතුට වගේම අනෙක් අතින් පුංචි වේදනාවකුත් ඈ සමඟ පොරබදනවා. මේ ගුරුතුමිය අහන ප්‍රශ්නය තමයි ඇයි මෙවැනි ඇගයීමක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම ගුරුවරු වෙනුවෙන් ජාතික මට්ටමෙන් පවත්වන්න බැරි කියලා. ජාත්‍යන්තරයට යන්න කලින් තමන් ජීවත් වන භූමියෙන්ම මෙවැනි පිළිගැනීමක් ලැබෙනවා නම් එය ඉතා ප්‍රසංශනීය දෙයක් බවයි ඇය සඳහන් කරන්නේ. ගුරු දිනයේදී පමණක් ගුරුවරු ගැන කතාකිරීම, ඔවුන් ගැන අවධානය යොමුකිරීම සෑහේද යන්න ඇය ප්‍රශ්න කරනවා.

"මම කැමති නැහැ මේක වෘත්තියක් විදිහට දකින්න. මේක සේවාවක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක උදේ 7.30- දවල් 1.30 රාජකාරියක් කියලා. නැහැ. ගුරුවරුන්ට ඉතා විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. දවසේ වැඩි කාලයක් ගතකරන්නේ දරුවන්ගේ ඉගැන්වීම් හා එය සැලසුම්කිරීම් සමඟ. මේ පිළිබඳ සාධනීය තැනකට සමාජය පැමිණෙන්න අවශ්‍යයි."

ඇය, ඇය වෙනුවෙන් පමණක් නොවෙයි සමස්ත ගුරු පරපුර වෙනුවෙන්ම පෙනී සිටිනවා. ගුරු ජීවිතය තුළ ගොඩනැගෙන අභිමානය හැමෝම එක්ක බෙදාගන්න උත්සහ කරනවා. දරුවන්ගේ හීන වලට කතාකරනවා. නේක වර්ණ, හැඩතලයන්ගෙන් යුතු ඒ හීන අතනෑර එය හඹායන්න තමන් වෙත එන දරුවෝ සන්නද්ධ කරනවා.

ඉතින් මෙවන් සුන්දර මිනිසුන් වෙත නොලැබෙන ගරු බුහුමන් කුමට?

ksanika 6

ආශිකා බ්‍රාහ්මණ
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න