ඩුබායි උනත් හේග් උනත් ICC අපට එපා - Lanka News Web (LNW)

ඩුබායි උනත් හේග් උනත් ICC අපට එපා

දවසක් මම දකුණු පළාතේ එක්තරා ගමක් මැදින් ඇවිදගෙන යමින් හිටියා. මේ වෙලාවේ වැට මායිමක් ලඟ දෙපැත්තේ දෙපිරිසක් රණ්ඩුවක් වුනා. දෙපැත්තේම තරුණ, කාන්තා වැඩිහිටි පිරිස් හිටියා. මේ අතරේ මැදට පැන්න එක තරුණයෙක් අනෙක් පැත්තේ හිටිය තරුණයන්ට කිව්වා, "මේ බොලාට මම හොඳින් කියන්නේ. බොලා අපේ දේවල්වලට ඇඟිලි ගහන්න එන්න එපා. බොලාගේ දේවල්වලට ඇඟිලි ගහන්න අපි එන්නෙත් නෑනේ. බොලා බොලාගේ දේවල් බලා ගනිල්ලා. අපි අපේ දෙවල් බලාගන්නම්. සුද්ද සිංහලෙන්ම කියන්නම් බොලාගෙ අම්මලාගේ කටයුතු බොලා කරගනිල්ලා. අපේ අම්මලාගේ කටයුතු අපි කර ගන්නම්. මේ අන්තිම වතාවට බොලාට කියන්නේ"යි කියලා. 
 
මට මේ කතාව මතක වුනේ  "අපේ වැඩවලට කවුරුත් ඇඟිලි ගහන්න එන්න එපා. අපේ ප්‍රශ්න අපි විසඳා ගන්නම්" කියලා ජනාධිපති සිරිසේන ලෝකේ ලොක්කාගේ රටටම ගිහින් කියලා සතියක්වත් ගෙවුනේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැතිනම් ICCය අපේ සදාදරණීය මාතෘභූමියට කඩා වැදිලා, අපේ සිංහ පැටව් නැතිනම් ආදරණීය ක්‍රිකට් විරුවන්ට චෝදනා කරමින් පරික්ෂණයකුත් පවත්වලා. 
 
විදේශිකයෝ මෙහෙම අපේ රටට ඇඟිලි ගහන එක අපේ සදාදරණීය මාතෘභුමියේ ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට බරපතල තර්ජනයක්. එහෙම වුනත් විමල් විරවංශ, ගම්මන්පිළ, මහින්ද රාජපක්ෂ , වාසුදේව, තිස්ස විතාරණ, ගු. අමරසේකර, මදුමාධව අරවින්ද, නලීන් සිල්වා, රාවණා බලය වගේ මෙකී නොකී හැට හුටහමාරක් දේශප්‍රේමියෝ වගේ වගක් නැතුව ඉන්නේ ඇයි ? ඩොලර් කුට්ටි ලැබිලාද ? 
 
එවගේම "දිවයින, මව්බිම, දෙරණ, හිරු " වගේ දේශප්‍රේමී මාධ්‍ය ආයතනත් ඒවායේ රස්සා කරන දේශහිතෛෂී, දේශප්‍රේමියෝත් නොදැක්කා සේ ඉන්නේ ඇයි ? ඩොලර් කුට්ටි ගිල්ලාද කියන කාරණාවත්  වහාම සොයා බලන්න ඕන. සමහරු කියන්නේ හිටපු නාවික හමුදාපතිගෙන් තවම කට උත්තරයක් ගන්න නුදුන් ජනාධිපතිවරයා, මාධ්‍යවල මේ මේ සිද්ධිය වාර්තා වුනා නොදකින්න ඇති කියලා. සමහරවිට විදේශිකයන් රටට රිංගලා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්තලා එතුමාටයි, අගමැතිතුමාටයි,  ක්‍රීඩා ඇමැතිතුමාටයි වාර්තාවක් බාර දුන්නයි කියලා සෝෂල් මීඩියා සහ සමහර වෙබ් අඩවිවල තිබුනු ගොසිප් දකින්න නැතිව ඇති.
 
ලෝකයේ ICC දෙකක් තිබෙනවා. එකක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය. අනෙක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. මේ මොනවා ජාත්‍යන්තර මට්ටමේ තිබුනත්  "අපි ඒ කිසිවකට අපේ සදාදරණීය මාතෘභූමියට ඇතුල් වීමට නොදෙන්නෙමු"යි දැඩි තීරණයක සිටින ආඩම්බරකාර රටක්. 
 
"මව්බිම" පත්තරේ නම් කියලා තිබුනේ "බොහොමයක් වර්ල්ඩ් ක්ලාස් තරගවලදී අල්ලපු රටට හරහට හිටියෙ අපේ ටීම් එකනේ. ඒක එක හේතුවක්. අනෙක මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්ත ටීම් එක පහුගිය දවස්වල එයාලගේ ගෙදරටම ගෙන්වගෙන ගහපු ගැහිල්ල ගැන අල්ලපු රටේ අයට හොඳට රිදිලනේ තියෙන්නෙ. අපිට මතකයි හැම වාරයකදිම ලෝක කුසලානයක් ළං වන විට කවුරු හෝ අපිට ලෙඩක් අදිනවා. ඒ නිසා මෙවර මේ ලෙඩේ දැම්මෙ අල්ලපු රටකින් කියන එක දැන් සැකයට භාජන වෙලයි තියෙන්නෙ. හේතුව අපේ කොල්ලෝ ටික ආයෙමත් පණ ගහල එයි කියන බය වෙන කාටත් වඩා අල්ලපු රටට තියෙනවා"යි කියලා. 
 
නමුත් ඒ කතන්දරේ පිළිගන්න බැරි මේක ඉන්දියානු කුමන්ත්‍රනයක් නම් මහින්ද, විමල් , ගම්මන්පිලලාට හොරෙන් ඒක කරන්න බෑ. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නම් වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ටක්කෙටම දන්නවා. ඒ නිසා මේ සිද්ධිය ටිකක් සංකීර්ණයි.
 
සමහරක් විට මේක අපේ ථෙරවාදී බුදුදහම විනාශ කරන්න කරපු කුමන්ත්‍රනයක් වෙන්න පුළුවන්. මොකද මිලිනා සුමතිපාල කියන්නේ බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනිය. එතුමියගේ පුතාවන තිලංග සුමතිපාල ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙලා හිටිය කාලේ මැච් ෆික්සිං, පිච් ෆික්සිං කළා කිව්වාම.
 
තවත් අය කියනවා මෙහෙම දිගටම මැච් පැරදිලා අවධානය වෙනතකට යොමු කරලා 2019 වර්ල්ඩ් කප් එක උස්සන්න සාකච්ඡාවක් තිබුනා කියලා කියනවා. ක්‍රිකට් ටීම් එක ඇතුලේ හිටිය "නාමල් කුමාර" වගේ කෙනෙක් ඩොලර්වලට ඒ රහස පාවා දුන්නා කියලත් කතා වෙනවා. ඒත් රට ජාතිය වෙනුවෙන් සටන් කරන කට්ටියක් එහෙම කරාවිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා.
 
මේ රටේ මිනිස්සු වේලක් කාල, වේලක් නොකා හරි, බස් එකේ ෆුට් බෝඩ් එකේ යන ගමන් හරි, තෙමි තෙමී කෝච්චියේ එල්ලිලා යන ගමන් හරි රෑට සතුටෙන් නිදාගන්න සැනසීමකට තිබුනේ දෙකයි. එකක් හමුදාව. අනෙක ක්‍රිකට්. දැන් ඒ දෙකටම චෝදනා. යකඩ මල්ලට ගුල්ලෝ ගැහැව්වානම් පන් මල්ල නොබලාම විසි කරපන් කිව්වාලු.
 
මේ නිසා අපි බලන්න ඕන "අපේ ප්‍රශ්න අපි විසඳා ගන්නම්" කියලා ජනාධිපති ලෝකෙටම කියලා තිබෙද්දීත් මොවුන්ට රටට ඇතුල්වෙලා, විමර්ශන කරන්න හයිය ආවේ කොහෙන්ද කියලා. මේ රටේ එක ICCය කට එන්න දෙන්නත් අනෙක් ICC එකට එන්න නොදෙන රාජ්‍ය ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. අපේ සදාදරණීය මාතෘභූමියට ඇතුල් වී මාතෘභූමියේ ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට බරපතල තර්ජනයක් කරපු මේ ICC කාරයෝ ඔක්කොම පළමුව අත්‍අඩංගුවට ගන්න ඕන. එහෙම කරලා ජනාධිපති කොමිසමක් දාලා අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න ඕන. ඔවුන්ගේ වාර්තා ප්‍රසිද්ධියේ ගිනි තියන්න ඕනෑ . 
 
එහෙමෙ කරන්න බැරිනම් ඩුබායි ICC යත් එපා. හේග්  ICC යත් එපා. ඩුබායි ICC යට එන්න දෙනවා නම් හෙටම හේග් ICC කට්ටියටත් රටට ඇතුල් වෙන්න කියලා ආරාධනා කරන්න ඕන.  

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

රනිල්ගෙන් ලියුම අරන් එන්න පැයෙන් වැඩේ කරනවා

ඔක්තෝබර් 9, 2018

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමත ලිපියක් රැගෙන එන්නේ නම් අමාත්‍යධූරයක්...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...