දේශපාලනික දේ පුද්ගලිකද වේ - අපේක්ෂාභංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ - Lanka News Web (LNW)

දේශපාලනික දේ පුද්ගලිකද වේ - අපේක්ෂාභංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ

‘මගේ රට නැවත පාවා දී තිබේ’- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්)
රනිල් වික‍්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කෙළේ මන්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රතිපත්තිමය සහ පුද්ගල වෙනස්කම් ගෙනහැර පාමිනි. ඔහුගේ කතාව විමසා බලන විට, ප‍්‍රතිපත්තිමය හේතුවලට වඩා පුද්ගල හේතු වඩා ප‍්‍රබල බව පෙනී යයි. ඒ පුද්ගල හේතු බෙහෙවින් දේශපාලනික බවත් පෙනී යයි. ජනාධිපති සිරිසේන ජාතිය අමතා කළ කතාව පුරවැසියන්ගේ මතකයට නංවන්නේ, ඔහුගේ හිටපු දේශපාලනික හාම්පුතා වූ මහින්ද රාජපක්ෂ අතහැර ඒමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් 2014 අවසාන භාගයේ ඔහු කළ පැහැදිළි කිරීමයි. එදාත්, පුද්ගලිකත්වය දේශපාලනික විය. ඔක්තෝබර් 26 වැනිදායින් පසු, දේශපාලනික වීම පුද්ගලික වන්නේ කෙසේද යන්න, වැඩියත්ම මා සම්බන්ධයෙන් එය කම්පන සහගතව පුද්ගලික වන්නේ මන්ද යන්න පෙන්නුම් කිරීමට මේ ලියවිල්ලෙන් මම උත්සාහ කරමි.
 
ඔක්තෝබර් 26 සිකුරාදාවකි. මා මිථ්‍යා විශ්වාසවල එල්බගෙන නැතත්, ඒ වැහිබර මූසල සිකුරාදා දිනය මගේ මතකයේ ඇඳී ඇත්තේ මා පුද්ගලිකව පාවා දුන් බවට හැඟීමක් මා තුළ ජනනය කළ දවසක් වශයෙනි. මේ රටේ පුරවැසියන්ගේ, වැඩියත්ම මේ රටේ තරුණ පරම්පරාවේ, දේශපාලනික අපේක්ෂාවේ සංකේතයක් වශයෙන් තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේනව සැලකීමට මට පුළුවන් කමක් නැත. ඒ සිකුරාදා ඔහුගේ ක‍්‍රියාකලාපය මගින් සනිටුහන් කෙරුණේ, 2014 නොවැම්බර් 21 වැනිදා පටන් මූර්තිමත් කළ දේශපාලනික ප‍්‍රාර්ථනාවේ සහ ප‍්‍රතිඥාවේ සංවේගකර ඛේදනීය නිමාවයි.
 
2015 ජනවාරි ජනාධිපතිවරණයට සිරිසේන මහතාව ඉදිරිපත් කළ, අලුතින් පිහිටවූ විපක්ෂ පෙරමුණ වෙනුවෙන් මම සක‍්‍රීයව දායක වීමි. මා වැඩියත්ම එසේ කෙළේ, සිරිසේන මහතා, පසුව අප ආරේට ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගත් මෛත‍්‍රී, නිසාය. එදා ජනාධිපති අපේක්ෂකයා වුණේ රනිල් වික‍්‍රමසිංහ නම්, මහින්ද රාජපක්ෂට විරෝධය පෑමක් වශයෙන් ඔහුට මගේ ඡන්දය දී පැත්තකට වෙනවා මිස, ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මා සක‍්‍රීයව කටයුතු නොකරනවා ඇත. නැවත වතාවක් මැතිවරණ දේශපාලනය ගැන මා උද්‍යෝගීමත් කෙළේ මෛත‍්‍රීය. ඒ, චන්ද්‍රිකා සහ රනිල් ඇතුළු බොහෝ නායකයන් පිළිබඳ සුන් වූ අපේක්ෂා පෙරදැරිව සිටි කාලයකි. රනිල් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම, මා සම්බන්ධයෙන් ගත් විට, හුදෙක් උපයෝජ්‍යතාවාදී විය. අනිත් පැත්තට, මෛත‍්‍රී වෙනුවෙන් වැඩ කිරීම, දේශපාලනික-සදාචාරමය වගකීමක් විය.
 
මා පමණක් නොව. තමන්ට විශ්වාසය තැබිය හැකි, තමන්ට අනන්‍ය විය හැකි, තමන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය දේශපාලනික දෛවයන් භාර දිය හැකි මිනිසා අවසානයේ තමන්ට හමුව ඇතැයි ශ‍්‍රී ලාංකික ඡන්දදායකයන්ගෙන් සියයට 51.28 ක් විශ්වාස කළහ. දේශපාලන විද්‍යාඥයන් වන අප ‘ඇට්ටර බලාධිකාරවාදය’ නැතහොත් ‘දෘඪ අධිකාරවාදය’ වශයෙන් හඳුනා ගන්නා මාවතක එදා පැවති රජය ගමන් කරමින් සිටි වෙලාවක ඇත්තෙන්ම ඔහු ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන අපේක්ෂාව විය.
 
ඒ දරුණු සිහිනය සැබෑ වීම නතර කිරීමට ආණ්ඩු වෙනසක් අවශ්‍ය කෙරුණි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහට වඩා විශ්වසනීය ජනාධිපති අපේක්ෂකයෙකු අවශ්‍ය කෙරුණි. අපේ පුරවැසියන්ගේ අනාගත පරම්පරාවන්හි, විශේෂයෙන් තරුණයන් සහ ප‍්‍රථම ඡන්දදායකයන්ගේ, ප්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනික ප‍්‍රාර්ථනා මූර්තිමත් කළ හැකි පිරිමියෙකු හෝ ගැහැනියක් අවශ්‍ය කෙරිණ. අලුත් නායකයා, ආණ්ඩු නායකයෙකු වශයෙන් දේශපාලන බලය කලින් විඳ නැති, එබැවින්, දූෂණය, බල අපයෝජනය, මනෝන්මාදය, (ආත්මාඩම්බරය) පුද්ගල කේන්ද්‍රීය පාලනය සහ අසීමිත දේශපාලනික උන්නතිකාමයෙන් තොර කෙනෙකු විය යුතුව තිබුණි.
 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ අපේක්ෂා වට්ටෝරුවට සපුරා ගැලපුණි. දේශපාලනික අපේක්ෂාභංගත්වයේ සහ නරුමවාදයේ මහා ප‍්‍රවාහය ඔහුට නතර කළ හැකි බව පෙනුණි. මගේ හිතෙත් වැඩ කළ එක් ප‍්‍රාර්ථනයක්, හිනිදුම නෙළුව ග‍්‍රාමයේ තරුණ එළවළු වෙළෙන්දන් දෙන්නෙකු 2014 නොවැම්බර් අවසානයේ දවසක සරළ භාෂාවෙන් කීවේ මෙසේය: ‘මෛත‍්‍රී ඇරෙන්න වෙන කා ගැනද අපිට විස්වාසයක් තියන්න පුළුවන් ?’ ඉතා බරපතල පුද්ගල අවදානම් දැරීමට එදා මෛත‍්‍රී පසුබට වූයේ නැත. දැන් ඔහුගේ දියණිය සිය පියාගේ දේශපාලනික චරිතාපදානය තුළ එ්වා විස්තරාත්මකව සංගෘහිත කොට තිබේ.
 
2015 විශිෂ්ටතම දේශපාලනික සෞන්දර්යය රැඳී තිබුණේ, ජනාධිපති අපේක්ෂක සිරිසේනගේ පණිවිඩයේ පැවති ආචාරධර්මිකත්වයේය. උන්නතිකාමය වෙනුවට දේශපාලනික සදාචාරය අගයන, බලයේ නිර්දය භාවය වෙනුවට දයාව අගයන අලුත් නායකයෙකු ශ‍්‍රී ලංකාවට අවශ්‍ය විය. 2015 ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ දේශපාලනික පරිකල්පනය ඇවිළුණේ මෛත‍්‍රීගේ යහපාලන සටන් පාඨයේ පැවති දේශපාලනික සදාචාරයෙනි.
 
2015 වනවිට මට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී නොතිබුණි. එක වරක් පමණක් මා ඔහු දැක තිබුණේ, කොළඹ විශ්ව විද්‍යාලය අසළ ශාන්ති විහාර් ආපන ශාලාවේදීය. ඒ කාලයේ ඔහු බලයේ නොසිටියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විය. ඔහු කලිසමක් සහ අත් දිග, තරමක් ලොකු සුදු කමිසයක් හැඳ සිටියේය. මා දැන සිටි, පොලොන්නරුවේ හිටපු දිසාපතිවරයෙකු සහ තවත් දෙන්නෙකු කෑම මේසයේ වාඩි වී උන්හ. හිටපු දිසාපතිවරයා සමග මා වචනයක් දෙකක් කතා කරන අතරේ සිරිසේන මහතා මා සමග යාන්තමට සිනාසුණි.
 
සිරිසේන මහතා සමග කිසි පුද්ගල දැන හැඳුනුම් කමක් නොමැති වීම, මා තුළ ඔහු කෙරෙහි පුද්ගල ප‍්‍රසාදයක් ලියැලීමට බාධකයක් වුණේ නැත. පුද්ගල ස්වභාවයෙන් ගත් විට මා ඔහු දුටුවේ, සෞම්‍ය ගති පැවතුම් ඇති, ආචාරශීලී පුද්ගලයෙකු වශයෙනි. දරුණු දේශපාලනික උන්නතිකාමයෙන් තොර, තැන්පත් පුද්ගලයෙකු වශයෙනි. මගේ බොළඳකමට එදා මට හැඟුණු ඒ චරිත විනිශ්චය මත පදනම් වෙමින් මම දේශපාලනික නිගමනයකට පැමිණියෙමි: ඒ නම්, දරුණු පාලකයෙකුවීමට තරම් අභ්‍යන්තරික හැකියාවක් නැති, මධ්‍යස්ථ මනස් ප්‍රකෘතියකින් යුත්, ආචාරශීලී කරුණාවන්ත පිරිමියෙකු හෝ ගැහැනියක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත්‍රීය උන්නතියේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් මූර්තිමත් කැරවීම සඳහා අපට අවශ්‍ය කරන බවයි. අවසානයේ ගත් විට, ප‍්‍රජාතන්ත්‍රවාදය යනු, දේශපාලනික බලයේ සීමාවන් පිළිබඳ දැනුවත්ව සහ ඒවාට අවනතව එම බලය භාවිත කරන මැදහත් පුද්ගලයන්ගේ ආණ්ඩුවකි.
 
ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලඥයෙකුට තිබිය යුතු වූ එවැනි හරවත් පුද්ගලික ගුණාංග තිබියදීත්, බොහෝදෙනා කෙළේ සිරිසේන මහතාව අපවාදයට ලක් කිරීමයි. හෑල්ලුවට ලක් කිරීමයි. සමහර විරුද්ධවාදීහූ පරිභවකාරී විකට නම් පටබැඳ ඔහුට ගැරහුවෝය. ඒ සියල්ලන්ම, ඔක්තෝබර් 26 වැනිදායින් පසුව, සාවද්‍ය වූත් අතිශය අවස්ථාවාදී වූත් හේතු මත ඔහුව වර්ණනා කිරීමට පටන්ගෙන තිබේ. ඔහු තුළ මහා දේශපාලනික සුචරිතයක් දැකීමට පටන්ගෙන තිබේ.
 
ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වූ පසු මට සිරිසේන මහතා හමු වී ඇත්තේ, සමහර විට පස් වතාවකට අඩුවෙනි. එහිදී ඔහු මට පෙනී ගියේ ප‍්‍රියමනාප, සහෘද දේශපාලන නායකයෙකු වශයෙනි. කොළඹ දේශපාලන ප්‍රභූ පැලැන්තියේ පුහු සාටෝපවලින් දූෂ්‍ය නොවූ පුද්ගලයෙකු වශයෙනි. මා මුලින්ම ඔහුව මුණගැසුණු දවසේ, එ් දක්වා හිතේ තිබූ තවත් බොළඳ මායාවක් යළි පිබිදුණේය: එනම්, ග‍්‍රාමීය සමාජ පසුබිමකින් එන, නාගරික මාන්නයෙන් සහ විදග්ධතාවෙන් දූෂ්‍ය නොවූ දේශපාලඥයෙකු වඩාත් යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු විය හැකි බවයි.
 
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව ගොඩනැගූ ආණ්ඩුව ගෙන යාමට ප‍්‍රමාණවත් තරමේ ස්ථායී කාර්ය සබඳතාවක් ගොඩනගා ගැනීමට දෙදෙනා අසමත් වූ බව අපි දැන සිටියෙමු. එසේම 2015 දී ඔවුන්ව බලයට ගෙනා ජනතා වරමට ප්‍රමාණවත් තරමින් ඔවුන් සංවේදී නොවූ බවත් අපි දැන සිටියෙමු. තවද, සභාග ආණ්ඩුව තුළ මතු වූ ගැටුම් දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමට බැරි තරමට මේ නායකයන් දෙන්නාම ළාමක වූ බවත් අපි දනිමු. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩගැනීමේ ක‍්‍රියාවලියට ඔවුන්ගෙන් අනතුරක් සිදු නොවනු ඇතැයි අපි උදේ හවා බලාපොරොත්තු වීමු.
 
තතු එසේ වුවද, අගමැතිවරයා සමග අප‍්‍රසන්න දේශපාලනික සහ පුද්ගල ප්‍රශ්න මොනතරම් තිබියේ වී නමුත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ ගැනීමේ සහ තහවුරු කර ගැනීමේ ගමන ජනාධිපති සිරිසේන තමාගේ තනි මතේට ආපසු හරවතියි මා කිසි විටෙක බලාපොරොත්තු වුණේ නැත. ඔහු එසේ කෙළේ, මා ව්‍යවස්ථාව වටහාගෙන ඇති පරිදි, එහි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වචන මෙන්ම සාරයත් උල්ලංඝණය කරමිනි. එ් උල්ලංඝණය යුක්ති සහගත කර ගැනීම සඳහා ඔහුට නීති උපදෙස් දී ඇතැයි සිතෙන සමහර දෙනා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සාරයට සහ ආත්මයට පරම හතුරුව සිටි අයවළුන්ය. තවත් අය, දේශපාලනික ගැත්තෝය. ව්‍යවස්ථා නීතියේ සූක්ෂම තැන් ගැන වැඩි අවබෝධයක් නැති ජනාධිපතිවරයෙකුගෙන්, තමන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනික ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට වැඩි ඉඩක් ඇතැයි ඔවුන් සිතුවාට සැක නැත.
 
ඒ සියල්ලටමත් වඩා අපේ දුර්භාග්‍යය වන්නේ, රටේ දූෂිත දේශපාලනය ඉවරයක් කරතියි අප සිතූ පුද්ගලයාම, අපේ දේශපාලන වාංමාලාවට යහපාලනය යන වචනය හඳුන්වා දුන් පුද්ගලයාම, දැන් දේශපාලනික දූෂණයේ නිරතව සිටීම සහ හැරෙන හැරෙන පැත්තට මහ පරිමාණව මන්ත‍්‍රීවරුන්ව දූෂ්‍ය කරන සැටි බලාගෙන සිටීමට අපට සිදු වීමය. තමාගේ වාසියට ගැනෙන තාක්, දේශපාලනික දූෂණය සුජාත මෙවලමකැයි ජනාධිපති සිරිසේන සිතන සෙයකි.
 
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, ජනාධිපති සිරිසේනගේ මෙන්ම මගේද දරු මුණුපුරන් අයත් තරුණ පරම්පරාවේ ප‍්‍රජාතන්ත‍්‍රීය අනාගතයටත්, ඔක්තෝබර් 26 වැනිදා හැන්දෑවේ කරන ලද සහ තවමත් කරමින් සිටින හානිය, මාව පුද්ගලිකව සංවේගයෙන් කම්පනය කළ පසුබෑමකි. මෙතැන් පටන්, ශ‍්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාව සඳහා ප‍්‍රජාතන්ත්‍රවාදය ගොඩ ගැනීමට මත්තෙන්, බරපතල ප‍්‍රජාතන්ත‍්‍රීය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණයන්, පසුබෑම්, ප‍්‍රචණ්ඩත්වයන්, ප්‍රතිරෝධයන්, සහ අපේ අවාසනාවට, සමහර විට ලේ වැගිරීම් සහිත තවත් අවදියක් පසු කිරීමට සිදු විය හැකිය.
 
එබැවින්, මා සම්බන්ධයෙන් ගත් විට, දේශපාලනික දේ පුද්ගලිකද වන්නේය.
 
2018 නොවැම්බර් 4 වැනිදා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ, ‘Political is Personal- An Essay in Despair’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...