මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ අදට යෙදී ඇති 91 වැනි ජන්ම දිනය වෙනුවෙන් අප මේ ලිපියේ ප්‍රධාන ඡායාරූපය සහ මෙහි ශීර්ෂපාඨය ලබා ගන්නේ එතුමාගේ පුතණුවන් වන රංජන අමරදේව මහතාගේ මුහුණු පොතෙනි.
‘‘මා මළ පසු සොහොන් කොතේ - දුක් ගීයක් ලියනු මැනවි..‘‘යැයි අමරදේවයෝ එදා මහගම සේකරයන්ගේ පදවැල් මියුරු හඬින් ගයා තැබූහ. මහගම සේකර නමැති අප්‍රමාණ පද රචකයාගේ ගේය පදවැල්වලට ජීවය දුන් ජීවකයා වූයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ය. පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයන් නොවන්නට මහගම සේකරයන්ගේ ගේය පදවැල් ද කාලයේ වැලි තලාවෙන් සදහටම වැළලී යන්නට ද ඉඩ තිබිණි.
ඒ අනුව,
මේ ලොව යම් කිසිවෙකු..
මා හට පෙම් කළ බව..
එතකොට ඒ ගී රාවය..
හීන් හඬින් මට කියාවි.. යැයි පණ්ඩිත් අමරදේවයන් මියුරු හඬින් එදා ගැයුවත්, මේ මුළු ලොවම ඔහු හට පෙම් කළ බව - කරන බවට ලකුණක් වශයෙන් මේ කෙටි සටහන ලියා තබමු.
මේ ඡායාරූපයේදී විමලා අමරදේවයන් සිය ස්වාමියා වූ ද, හෙළයේ මහා ගාන්ධර්වයා වූ ද පණ්ඩිත් අමරදේවයන්ට වෙන් වූ හිස් අසුනට යාබද අසුනේ සිට මන්දස්මිතයකින් යුතුව වේදිකාව දෙස බලා සිටින්නීය. මේ මොහොතේ ඒ වේදිකාව අමරදේවයන්ගේ ය.
පුතු රංජන ද අමරදේවයන් සමග වේදිකාවේ ය.
මේ 2014 හෝ 2015 වසරේදී අනුරාධපුර නගරයේ වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද ‘රසවින්දන‘ වැඩසටහනේදී සහන් අනුරාධ බස්නායක විසින් කාච ඇසට හසුකර ගත් ඡායාරූපයකි.
සහන් අනුරාධ බස්නායක සිය මුහුණු පොතේ මෙසේ කියා ඇත. ‘‘මේ දිනය පැමිණේවි කියා මා කිසිදා සිතුවේ නැහැ..“
දුක්බර වුවද අනියත දිවියේ නියත විවරණය එයයි. 2016 නොවැම්බර් 02 වැනිදා පටන්ම ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ පිය බිරිඳ විමලාවන්ට උදා වන්නේ එවැනි දිනයන් ය. ඒ දිනය දැන් දිනපතා උදා වෙයි. ඇය අසල ඔහු නැති හිස් අසුනකි. නමුත් සැබවින්ම ඒ අසුන මතු නොව වේදිකාවද, හෙළ සුභාවිත ගී කෙත ද ඒ අප්‍රමාණ මිනිසා විසින් සදහටම පුරවා දමා තිබේ. එනිසා, මාළිගාව අඳුරු වුවද, කාරණාව බුදු වූ හෙයින්, සැබෑ යසෝදරාවක් වුවද ඇයට, යසෝදරා වතෙහි දැක්වෙන ලෙසින් දොම්නස් වන්නට කාරණාවක් නම් නැත.
ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ප්‍රවීණ ගේය පද රචක ගයා රම්‍ය අල්විස්, රංජනගේ ෆේස්බුක් සටහනට එක් කළ කවි සටහනක කොටසක් තුළ, ඔහුගේ වියෝවෙන් විමලාවන් දොම්නස් වන්නී නම්, එවිට ඔහු ඇයට ලබාදෙන පිළිතුර අපට හමු වේ.
මෙතැන මේ මුඳුන මත මා විඳින
සැහැල්ලුව ඔබද හෙට ලද යුතුය
මට පළමු සුදන ගන තබා ගිය
මිණි පහන් පෙනේ තැන තැන දිලෙන (- ගයා රම්‍ය අල්විස්)
- රදිකා ගුණරත්න
විශේෂ ස්තූතිය - රංජන අමරදේව Ranjana Amaradeva | අමරදේව පදනම amaradevafoundation
ප්‍රධාන ඡායාරූපය - සහන් අනුරාධ බස්නායක Sahan Anuradha Basnayaka