ට්‍රම්ප් අතිශය බිය විය යුතු - ඇමරිකාවේ බලවත්ම ගැහැණිය - නැන්සි පෙලොසි

ට්‍රම්ප් අතිශය බිය විය යුතු - ඇමරිකාවේ බලවත්ම ගැහැණිය - නැන්සි පෙලොසි

7 January 2019 03:23 am

ට්‍රම්ප් ගෙදර යවන දෝෂාභියෝගය විවාදයට ගැනෙන්නේ නැන්සි පෙලොසිගේ කොංග්‍රසයෙන්  විය හැකිය.

දෑඅවුරුද්දක් තිස්සේ ට්‍රම්ප් ධවල මන්දිරය සහ ඇමරිකාවේ ආයතත පාලනය කළේ වගක් නැති කුළු මීමෙකු සේ ය. කිසිවෙකු මේ අවුල අවසන් කළ යුතුව තිබිණි. 2018 මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බහුතර බලයක් තහවුරු කර ගත්තේ ඒ අතර ය. ඩිමොක්‍රටික් පක්ෂයේ දීර්ඝකාලීන සහ ජ්‍යේෂ්ඨතම සාමාජිකාවක වන නැන්සි පෙලොසි, කොංග්‍රසයේ නව කථානායිකාව බවට පත්ව තිබෙන්නේ ට්‍රම්ප්ගේ ඒ විකාරජනක පරිච්ඡේදය අවසන් කරන්නටද?

2019 ජනවාරි 3 වැනිදා ඇය 8 අවුරුද්දකට පසු කථානායක අසුනට නැවත පැමිණියාය!

එදා 2007 වසරේදී කැලිෆෝනියා ජනපදයේ ඩිමොක්‍රටික් නියෝජිතවරිය වූ ඇය, ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් කොංග්‍රසයේ කථානායිකාව බවට පත්වන්නේ ඇමරිකානු ඉතිහාසයේ කථානායක අසුනේ හිඳගත් පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වෙමිනි. 2011 වසර දක්වා කථානායක ධුරය දැරූ ඇය, නූතන ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම වැදගත් පනත් ලෙස සැලකෙන Affordable Care Act, Dodd–Frank Wall Street Reform and Consumer Protection Act, Don't Ask, Don't Tell Repeal Act, American Recovery and Reinvestment Act, 2010 Tax Relief Act යනාදී සමාජ සුබ සිද්ධිය සඳහා හේතුවන පනත් ගණනාවක් සම්මත කිරීමට හා සංශෝධනය කිරීමට මුල් වූවාය. නැන්සි පෙලොසිගේ නියම ස්වභාවය හෙළි වූයේ මේ කාලයේදී ය. ඇය නොකඩවා රැස්වීම් පැවැත්වූවාය. දිවා රෑ වෙනසක් නැතිව වැඩ කළාය. දුරකථනයෙන් අදාළ පාර්ශවයන් සමග නොකඩවා කතා කළාය. කොංග්‍රසයේ සහ සෙනෙට් මණ්ඩලයේ නායකයන්, ජනාධිපති මේ හැම කෙනෙකුටම කතා කරමින් ඔවුන් සියලු දෙනා තමන්ගේ පැත්තට නම්මා ගැනීමට සමත් වූවාය.

එකල ඇමරිකාව මුහුණ දී තිබූ විශාලතම අභියෝගය වූයේ උද්ධමනයයි. නමුත් මේ වන විට, 3 වන වතාවටත් ෆෙඩරල් ආණ්ඩුව අය වැය සම්මත නොවීම හේතුවෙන් අක්‍රිය වී ඇති අවස්ථාවක, ඇයට විශාල අපරරූපියෙකු (monster) සමග සටන් වදින්නට සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ මේ මොහොතේ අවසන් බලාපොරොත්තුව ඇය යැයි ද කියන්නට පුළුවන.

වයස 78 ක් වන නැන්සි පෙලොසි, ඇමරිකාවේ වඩාත්ම ලිබරල් අහුමුළුවල පවා දැකගත හැකි චරිතයකි. ප්‍රසිද්ධ වේදිකාවේදී ආකර්ෂණීය කථිකයෙකු වන ඇය, දශක එකහමාරක ඩිමොක්‍රටික දේශපාලනයේ සංකේතයක් බවට දැන් පත්ව සිටින්නීය. ‘‘ඇයව වසර ගණනක් තිස්සේ ජනතාව විසින් අවතක්සේරු කර තිබුණා.‘‘ යැයි 2008 වසරේදී ඇගේ ජීවිතකතාව ලියූ මාධ්‍යවේදී එලයින් පොවිච් පවසයි. ‘‘ඇය පරදීවි කියා කවදාවත් ඔට්ටු අල්ලන්න එපා. ඇය අතිශයින්ම සංවිධානාත්මක, වඩාත්ම වෙහෙස වී වැඩ කරන, විශිෂ්ට ඡන්ද රැස් කරන්නියක්..“

BBC පුවත්සේවය වරක් මෙසේ කියයි. ‘‘ට්‍රම්ප් යනු, දේශපාලනික වශයෙන් විසූවියස් ගිනිකන්දකි.‘‘ ට්‍රම්ප් කොයි වේලාවේත් පුපුරාගත් ගමන් ය. නිතර අළු සහ දූලි අහසට විසි කරයි. අභාග්‍යයකකට මෙන් තවමත් රිපබ්ලිකන් නියෝජිතයෝ ට්‍රම්ප් වෙනුවෙන් කොංග්‍රසයේ පෙනී සිටිති. එය ඔවුන්ගේ යුතුකමක් වැන්න. ඔවුන් කලහකාරී වන්නට ද පුළුවන. එනිසා මේ සියලුම ගෙරවිලි අකුණු බිම්ගත කළ යුතු අකුණු සන්නායකය බවට පත්ව සිටින්නේ ඇයයි.

රිපබ්ලිකානුවෝ දැනටමත් ඇගේ දේශපාලනය ‘සැන්ෆ්‍රැන්සිස්කෝ ලිබරල්‘ යැයි කියති. එයින් අදහස් වන්නේ ඇය සමාජ ප්‍රශ්න කෙරෙහි අසංවේදී විය හැකි බවයි. නමුත් සැබෑව අනෙකකි. ඇගේ ජීවිතයේ මුල් විහිදී තිබෙන්නේ සැන්ෆ්‍රැන්සිසිකෝවට බෙහෙවින් ඈත, එකල කළු ජාතික වහලුන්ගේ වධකාගාරයක් බවට පත්ව තිබූ බැල්ටිමෝරයේ ය. ඇගේ මුදුන්මුල පිහිටා තිබෙන්නේ උතුරු ඇමරිකානු මහද්වීපයේ අනෙක් පැත්තේ පිහිටා තිබෙන මේරිලන්ඩ් ජනපදයේය. ‍

ඇය උපන්නේ සහ හැදී වැඩුණේ ද දේශපාලන පවුලක ය. ඇගේ පියා බැල්ටිමෝරයේ නගරාධිපතිව සිටියේය. ඇය, පවුලේ එකම දියණිය සහ පවුලේ බාලයා ය. විසිවන සියවසේ බැල්ටිමෝර දේශපාලනය ට ඩිමොක්‍රටික් පක්ෂයේ ‘පරණ ඉස්කෝලය‘ යැයි ද කිව හැක. වාසි ලබාදෙන්නේ වාසි ලබාගන්නට ය. උදව් කළ යුත්තේ කාටද, හානි කළ යුත්තේ කාටද කියා කල් ඇතිව දැන සිටිය යුතුය. දෙකම එකවිට කරන්නේ කෙසේද යන්න ද දැන සිටිය යුතුය. පෙලොසිගේ නිවසට දුරකථන මාර්ග 8 ක් සම්බන්ධ කර තිබුණේ දේශපාලනය සම්බන්ධ කටයුතුවලට ය. ඒ දුරකථන මාර්ග 8 ම හැසිරවූයේ ඇයයි.

යාබද වොෂින්ටන් ජනපදයේ අධ්‍යාපනය ලබා, මූල්‍ය විශේෂඥයෙකු වූ පෝල් පෙලොසි සමග විවාහ වන නැන්සි, මැන්හැටන් නගරයේ පදිංචියට ගොස් එතැනින් සැන් ෆ්‍රැන්සිස්කෝව වෙත ගියාය. ඇගේ දේශපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝව ඈඳෙන්නේ ඊට පසුව මිස පෙර නොවේ. 1976 දේශපාලනයට පිවිසි ඇය, ප්‍රාථමික මැතිවරණ හරහා ඩිමොක්‍රටික් පක්ෂයේ විවිධ නිල තල ලබා, අවසානයේ එහි සභාපතිවරිය බවට ද පත් වූවාය. 1988 වසරේදී කොංග්‍රස් ආසනයක් සඳහා ප්‍රථම වරට තරග කර ජය ලැබුවාය.

ඇය සැන්ෆ්‍රැන්සිස්කෝවලින් එන කෙනෙක් නම්, ඔව්, ඇය සැන්ෆ්‍රැන්සිස්කෝ හි අත්දැකීම්වලින් මනා පන්නරයක් ලැබුවාය. එහි ජීවත් වන්නේ ප්‍රධාන වශයෙන් සමරිසි ප්‍රජාවයි. එවිට ඇය, ඒඩ්ස් පර්යේෂණ සඳහා අරමුදල් සැපයීමට ප්‍රමුඛත්වයක් ලබාදුන්නාය. වසර ගණනක රාජ්‍ය තාන්ත්‍රික සටනක් කර සැන් ෆ්‍රැන්සිස්කෝවෙන් හමුදා කඳවුර ඉවත් කර එය ජාතික උද්‍යානයක් බවට පත් කළාය.

2003 වසරේ ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කළ විට එයට එරෙහිව නොබියව කථා කළ ඇමරිකානු දේශපාලනඥයන් කිහිප දෙනාගෙන් කෙනෙකි, නැන්සි පෙලොසි. රිපබ්ලිකන් ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් 2005 වසරේදී සමාජ ආරක්ෂණ විශ්‍රාම වැඩසටහන පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහය ද ඇය සාර්ථක ලෙස මැඬපැවැත්වීමට දායක වූවාය.

12 වසරකට පසු ඩිමොක්‍රටික් පක්ෂය 2006 වසරේදී කොංග්‍රසයේ බහුතර බලය දිනාගත් විට, කථානායක ධුරයට පත් කිරීමට සුදුසු තැනැත්තා වශයෙන් ඒකමතිකව නම් වූයේ ඇයයි. නමුත් සිව් වසරකට පසු ඩිමොක්‍රටික් පක්ෂයට නැවත කොංග්‍රසයේ බහුතර බලය අහිමි විය.

මෙසේ චණ්ඩ දේශපාලන රැළි අතර උස් පහත් වීම්වලට මුහුණ දුන් නැන්සි පෙලොසි, ඇතැම් විට මැතිවරණ පරාජයන් ද ලැබුවාය. නමුත් ඇය වැටෙමින් නැගිට්ටාය.

ඇමරිකානු කථානායකගේ බලතල

ඇමරිකානු කොංග්‍රසයේ කථානායකගේ බලතල ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා තිබේ.

ඇමරිකාවේ කථානායක කාර්යාලය පිහිටා තිබෙන්නේ කැපිටල් රොටුන්ඩා හි ය. මහේශාක්‍ය පෙනුමැති මේ ගොඩනැගිල්ලේ බැල්කනියට, ඇමරිකාවේ පළමු ජනපති ජෝර්ජ් වොෂින්ටන්ගේ පිළිරුව පෙනේ.

විවාදයට ගත යුත්තේ/සම්මත කිරීම සඳහා විමසිය යුත්තේ කුමන පනත් කෙටුම්පත්ද යන්න නිශ්චය කළ යුත්තේ ඇය සහ ඇගේ කමිටු සභාපතිවරුන් ය. පාර්ලිමේන්තු න්‍යායපත්‍රය සැකසීම සහ විවාදය මෙහෙයවන රීති නිර්මාණය කිරීම පැවරෙන්නේ ඔවුන්ට ය.

යම් හෙයකින් වසර 2020 ට පෙර ඇමරිකාවේ ජනාධිපති සහ උප ජනාධිපති යන දෙදෙනාම ධුරය හැර ගියහොත්, ව්‍යස්ථාව ප්‍රකාරව ස්වයංක්‍රීයවම ඇමරිකාවේ ජනපතිනිය වන්නේ ද නැන්සි පෙලොසි ය.

පෙලොසි පරාජය හොඳින් හඳුන්නනියකි. 2015 වසරේදී ද ඇමරිකානු මාධ්‍ය විසින් ඇයව හඳුන්වා දී තිබුණේ, ‘‘ආපසු ඒමක් ගැන සිතිය නොහැකි දේශපාලඥයෙකු‘ වශයෙනි. 2011 වසරේදී ඇයව රූපවාහිනිය මගින් අවස්ථා 15,000 කදී ප්‍රවෘත්තිය බවට පත් කරගෙන තිබිණි. ඇය පරාජය වෙමින් සිටි නිසා ඒ බොහෝ වාර්තා, ඈ පිළිබඳ ගෙන ආවේ සෘණාත්මක වාර්තාවන් ය. නමුත් 2019 ජනවාරි 4 වැනිදා ඇය ඒ සියලු අනාවැකි බොරු කර තිබේ.

පෙලොසිගේ කොංග්‍රසය

මේ වන විට ඇමරිකාවේ ‘ට්‍රම්ප් දේශපාලනයේ‘ කේන්ද්‍රීය ආන්දෝලනය බවට පත්ව තිබෙන්නේ ට්‍රම්ප්ට එරෙහිව ක්‍රියාත්මක වන මුලර් විමර්ශනයයි. මේ වන විට කොංග්‍රසය තුළ පවතින්නේ ට්‍රම්ප් බලයට එන දිනවල පැවති තත්වයට හාත්පසින් වෙනස් තත්වයකි. ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී උරුමය සහිත ඇමරිකානු කාන්තාවන් දෙදෙනෙක් කොංග්‍රසයේ දිවුරුම් දුන්හ. කොංග්‍රසයට හිජාබයක් පැළඳගෙන පැමිණි ප්‍රථම කාන්තාව බවට ඉල්හාන් ඕමාර් (Ilhan Omar) පත්වූවාය. තෝමස් ජෙෆර්සන්ගේ නාමයෙන් බයිබලය මත නොව, කුරානය මත අත තබා රෂිදා ත්ලායිබ් (Rashida Tlaib) දිවුරුම් දුන්නාය. ක්‍රිස්ටෙන් සිනෙමා (Kyrsten Sinema) ඇමරිකානු කොංග්‍රසයට ආ පළමු ද්විරිසි බවට පත්වූවාය. ඇය ආගමික ග්‍රන්ථයක් මත අත තබා දිවුරීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත අත තබා දිවුරුවාය.

Ilhan_Omar,_official_portrait,_116th_Congress
ඉල්හාන් ඕමාර් - හිජාබයක් පළඳින පළමු කොංග්‍රස් කාන්තාව | Wikipedia

පලස්තීන සම්භවයක් සහිත රෂීදා ත්ලායිබ්, බයිබලය මත නොව කුරානය මත අත තබා දිවුරුම් දුන්නාය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන් ද්විරිසි බව ප්‍රසිද්ධියේ පිළිගන්නට එඩිය තිබූ කාන්තාවක් ඇමරිකානු කොංග්‍රසයට - ක්‍රිස්ටෙන් සිනෙමා | AZCentral.com

පෙලොසි අභිනව කථානායිකාව ලෙස වැඩ පටන් ගත්තේ ජනපති ට්‍රම්ප්ට කෙටි ලිපියක් ලියමිනි. එහි දැක්වුණේ ජනපද රාජ්‍ය කතාව (State of the Union address) ජනවාරි 29 වැනිදා කළ යුතු අන්දම පිළිබඳ උපදෙස් ය! එහි දැක්වෙන එක වාක්‍යයක් මෙසේ ය. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ශාඛාවන් ආණ්ඩුවේ සම ශාඛාවන් වශයෙන් ස්ථාපිත කර තිබේ..“ මෙය ජනාධිපති කෙනෙකුට කියන්නටත් දෙයක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. නැත. එය අවශ්‍යෙයන්ම ට්‍රම්ප් වැනි කෙනෙකුට සිහිපත් කර දිය යුතුය. බාගවිට ඔහු එය නොදන්නවා වන්නට ද පුළුවන!

පෙලොසි අදහස් කරන දෙය පැහැදිලි ය. කොංග්‍රසය දැන් ඇගේ වසමයි. ඇය එය ප්‍රජාතන්ත්‍රීය ලෙස මෙහෙයවනු ඇත.

පැහැදිලිවම දැන් ට්‍රම්ප් මුහුණ දිය යුතුව තිබෙන්නේ රිපබ්ලිකන් කථානායක පෝල් රයන් කොලුවාගේ ‘සෙල්ලම් කොංග්‍රසය‘ට වඩා හාත්පසින්ම වෙනස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකට ය. එහි අනුමැතිය රහිතව ඔහුට කිසිවක් කළ නොහැකි වනවා ඇත. ලංකාවේ මෙන් පරම විධායක බලය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට පිළිගන්වා නැත. ඔහු අනිවාර්යයෙන්ම දැඩි සංවරණයන් සහ තුලනයන්ට ලක්විය යුතුය. එනිසා ඇමරිකානු කොංග්‍රසයට ජනාධිපතිවරයා ව ඉවත් කිරීමේ ද බලය තිබේ. මුලර් විමර්ශනයේ ප්‍රතිඵල ලැබෙන තෙක් තමන් බලා සිටින බව නැන්සි පෙලොසි දැනටමත් කියා තිබේ. ඒ අනුව ඇය විසින් දෝෂාභියෝගයක් ගෙන ආ යුතුදැයි තීරණය කරනු ඇත. ට්‍රම්ප්ව දෝෂාභියෝගයට ලක් කළ යුතුදැයි තීරණය කරන්නේ ද කොංග්‍රසයයි. දැන් පවතින දේශපාලන වාතාවරණය අනුව ඩේවිඩ් මැක්කොනෙල්ගේ ප්‍රධානත්වයෙන් යුත් සෙනෙට් සභාව පවා මෙවැන්නකට අකුල් හෙළතැයි සිතිය නොහැක.

තමන්ට කොංග්‍රසයේ රීති අදාළ නැතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් සිතා සිටියේය. නමුත් ඇත්ත වශයෙන් ම මෙතෙක් සිදුවූයේ, කොංග්‍රසය විසින් ඔහුට එම රීති අදාළ නොකිරීමයි. අවසානයේ සියල්ල වෙනස් වෙමින් තිබේ. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇමරිකානුවන් ගරු කරන නිසා, 2019 වසර, ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිපුරම බියපත්විය යුතු වසරයි. නව කථානායිකා නැන්සි පෙලොසි, මේ ලෝකයේ ඔහු වැඩිපුරම බිය ගන්වන කාන්තාව බවට ද මේ නිසා නිරායාසයෙන් පත්ව තිබේ.

ප්‍රධාන ඡායාරූපය : New Speaker of the US House of Representatives, the Democrat Nancy Pelosi, opens the 116th Congress at the Capitol last week. Photograph: Saul Loeb/AFP/Getty Images

තවත් ලිපි සඳහා පිවිසෙන්න..

- අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com